Sunday, June 30, 2013

සිනමාවකි ජීවිතය



නිවසට දෙවැනි නිවසක් බඳු හුරු       පුරුදූ
පේරාදෙණි වෙද පියසකි හද            බැඳුනූ
කාලය මැදින් රෝගී දන හා              රැඳුනූ
සිනමාවකි දිවියම දුක සැප               රැඳුනූ

පෙනහළු නහර ලේ කැටියක් විත්     සිරවූ
සිව් දරු මවකි ඇය රෝහල් ගත     කෙරවූ
දූදරු සොයුරු ඇය වට කර සුව       සැනසූ
වැලපෙයි ඔවුන් හැර පලමුව යනු      සිතුණූ

පිට රට මෙන්ම අගනුවරද රජ         කරවූ
ඇටකටු දුබල මව ගැන කිසිදා     නොබැලූ
දරුවන් ගැනම ගුණ වැයුමකි මට      පැවසූ
සැමියා නිසා ඇය නැත පස් යට         ගැඹුරූ

වම් පස දුබල අව සිහියෙන් කෑ                  ගසනා
කැත කුණු මවුන් හද බැතියෙන් ගෙන      ඇදෙනා
තනිකඩ හැටක දියණිය මව් පණ              රකිනා
ඇයටද පපුව රිදුමකි ඔසු මත                 යැපෙනා

මා වැනි වයස් තරුණෙකි දොර ළඟ        රැඳෙනා
ආදර පියා නැති  තනි බර ඔහු                  අදිනා
දෑතින් රැගෙන රෝගි මව් මෙහි             ඇදෙනා
ඒ මව් නෙතට මා දැක කඳුලක්               නැඟුනා

(පේරාදෙණිය රෝහලේදී ලද සත්‍ය අත්දැකීම් ඇසුරෙනි )











Sunday, June 23, 2013

වැටකේ මල







හතර පෝයටම වැඳගෙන සිල්               රකිනා
තුන් දොර නිවුණු සැදැහැති මිනිසෙක්      උන්නා
සවසක දිනක් පන්සල වෙත ඔහු            ඇදෙනා
ඒ යන අතර වැටකේ පඳුරක්                 දැක්කා

නියරෙක මඩක ඉහලට නිසලව            නැඟෙනා
පත් අග විසැති කටු තියුණුව දිග            හැරෙනා
ඒ මැද සුදට සුළඟට නොසැලී              පෙනෙනා
වැටකේ මලකි පුදනට හැකි නම්               අගනා

දනක් යටට ගොහොරු මඩක ඔහු          එරුණා
නෙලනු නොහැක තියුණු තුඩට ලේ       හැලුනා
පුදසුන රැඳෙනු එ මලට පින් මදි              සිතුනා
හිස් මලසුන වැඳ එ මලට පින්                 දුන්නා





Sunday, June 16, 2013

ජීවිතය ගංගාවක්




බිඳකින් ඇරඹී
හෙමින් ගල ගලා
ගල් පර මතිනැද
අවුරා ගමනද
බැඳුනද උස් බැමි
ගලයි ගලයි ගඟ
සෙමින් හිනාවී
ගල් පර සානුද
වියළුනු තැන්නද
මග හැර නොගියේ
ඉවුරම පමණකි
සීමා මායිම් හඳුනන 
ගං දිය
මිතුදම පමණකි
ළබැඳිම ඉවුරට
නොබිඳින ගං දිය
ඉවුරද මිතුරුය
ගං දිය ගමනට 
හැඩතල රැකදෙන
සයුරට යන එක

Saturday, June 15, 2013

නූතන කුරුටු ගී


මා ගර්භාශ බිත්තිය විය
නුඹ කළල බන්ධය විය
දරුවා බිහිවූ පසු

මදකුදු නොරැඳී පිටවිය

අවසාන කවිය



තුඩඟ පන්හිඳ අවදි කරනට
තවත් බිඳු නැත රුහිරු මා හට
බිහිරි ඇතුනට වයන වෙණ බඳු
තවත් කුමටද ගොතන කවි පද

දිගැටි ගුල්ලන් රිදී කාවන්
රසය හඳුනති ඔබට නොහැඟෙන
අතැර දමනෙමි කහල ගොඩකට
තවත් කුමටද ගොතන කවි පද

සොහොන් කොත් මැද අලිමුඩුක්කුව
එතී රටකජු කඩල හෝ පොරි
නෙතඟ ගැටුනොත් මගේ කවියක්
එපා බලනට එදා මෙන් ඔබ .....

හැර යන්නට පෙර



සරසවි සඳ නුඹ දක්නට
අතැඟිලි ගනනකි අවසර
ධූවිලි සුසුමින් පිස හැර
ආ මග පා යුග මතු කර

හැර යන්නට සිදුවනු ඇත
නුදුරම නුඹ මෙහි තනි කර

කහමල් උතුරන නුබ ගැබ
මල් වැහි මැද එක කුඩයක
අත් පටලා යන උන් මැද
මා නැත ,නොසොයනු පුර හඳ

පා යුග නොදැනිම එසවෙන
මා සතු නැති සරසවියට
නැවතත් සපැමිනි දිනයක
පෙර මෙන් නුඹ හිනැහේවිද?

නූතන සන්දේශ කාව්‍ය.... සිහිනයක් පමනක් වූ පෙම්වතියට


මේකුළු විලස විහිදා අත් තටු                 ගගන
වෙන්කර සුගුණ කිරි ලෙස අඹ මුසු         දියඹ
මින් පෙර සඳැස වැනුවද නිම නැත      සොබන
නිල්වන් නයන සනහන බිම ධෙන           හංස



මග වැනුම...

සිරිපද සිරස වැඳ පැන නැඟ මුදු                 ගුනින
මහවැලි නදිය සිරි දළදා වැඳ                    ගැටඹ
අසබඩ පවන නොහෙලන කොළ බෝ         සමිඳ
වැඳගෙන ඇදෙන හන්තානට විඳ                පවන

නෙක නෙක පැහැති සුවඳැති කුසුමන්             පිපුන
ඔපයද සුවඳ පමනැති නැති මුදු                      සුගුන
රජ මල් උයන හැර පියඹති මද                      නුදුර
රුව ගුන සුවඳ පිරි කුසුමකි නෙත                   දකින

හන්තැන මුදුන පිස මීදුම එන                   හමන
මුල් තැන නිහඬ අබිමන් වෙති වෙද             පියස
මහකඳු ඇදෙන මග තණ බිම මල්              හැලුන
නොම වෙති පළමු රුව ගුන සුවඳැති            නිවුන

සඳෙස...

නිල්මිණි පැහැය පරදන ඉඳුමිනි            දෙනෙත
දිදුලන නෙතඟ නොබලන මග හැර            අවට
මිහිකත නොවන මදකුදු කළබල                දකින
රිසියෙනු දෙනෙත පරදන සුර දෙවි             නයන

නාදළු තොළඟ මද හසරැලි නිති               රැඳුන
සායම් කුමට තොල් පෙති දෙව්  ලිය         විලස
මී වෙණ ගැයෙන නද තොලඟින්           අසන
සීතල පවන ලොබ බැඳ නොම යති            අවට

රිදියෙන් රනින් කළ සුරඟන වත            කමළ
දෙවියන් වුවද ගගනත සිට නෙත           හෙලන
පසු කර ඇදෙන දෙව් ලිය රුව දැක            සලිත
තුරු පෙල පවා නොහෙලති පතකුදු          ලොබින

සනහන දෙරණ මුදු සුසිනිදු පා              හෙලන
මිහිබට ඇදෙන දෙව් ලිය වෙති නෙත       පිනන
දොඩමළු දෙනෙත සඳෙසක කවි කර       යවන
සියොතුනි හරිමි රජ සැප ලැබ ගනු          සුරත




අහිමි ඇයට



හදේ කොන තෙමා එන
නෙතේ දිය බිඳුව ගෙන
ගොතා අකුරින් අකුර
හිතේ සුසුමන් රැගෙන
ඔතා සුවඳැති කවක
රිදීවන් වලාවක 
යොමා පා කර යවමි

පොඩිම පොඩි බිඳිති ලෙද
දිලෙන තරු දහස මැද
සුදට සුදිලෙන රුවට
තවම බැස නොගිය සුදු
එකම එක එකම එක
පුන් සඳට
වලාවෙන් වැසෙනු පෙර !!!!

අවසාන යථාර්තය


සූතිකාගාරය අබියස



පෑතැටියේ නැකතක් එන තුරු            නො ඉඳ
හිරුට සඳුට රාහුට නොම දී                     දිවිය
රත් පැහැ වතුර ගලනා විට එක             පැහැය
උන්ගේ කොහිද වෙනසක් පෙනුමට        එකය

මොරදෙන මවුන් බැඳ ඇත බැම්මෙන්    පුදුම
නිරුවත පමන ගෙන එන උන් නැත      අරුම
ගොයිගම කරාවද උඩරට නැත           පෙනුම
හොරණෑ දුරා නැත ලියවී හෝ               පදුම

දම්සක නොමැත පපුවේ ලියවී                  පෙනුම
අඩසඳ නොමැත නොවෙනස් වෙති උන්    සැවොම
කුරුසය නොමැත ශිව ලිංගය නැති               අරුම
ලේ රතු පැහැය පමනක් පොදු වෙති             එකම


ට්‍රොලියක බහා දොරටුව පසු කළ          පසුව
උන් වෙති පහත රට උඩරට රට          බෙදුව
කුරුසය තරුව දම්සක පළඳති             පපුව
අරඹති දිවිය අමතක වෙති මුල           හැඬුව

සමහරු බෙදෙති කුලවත් ධනවත්           විලස
තවකෙකු බෙදෙති බස පරබස ලෙස     වෙනස
එක ලෙස ඉපිද කුල මල බල රස           පිනිස
රතු ලේ හෙලති එක පැහැ නුහුලති          අහස

සව් කොල

සුසුම් පවනටත් වැනී
හැඩයට හැඩට ඇලවී
තීරු වලටත් කැපී
තියුණු උණ පතුරට
සෙනෙහෙන් මුවා වී
එළිය සැනසුම ගෙන දී
පොඩිම පොඩි පොදකටත්
තෙමී දියවී බිඳී වැළපී
සුළං රැල්ලේ වෙලී වෙන්වේ

වෙසක් කූඩු



සුදු පාට රතු පාට
නිල් පාට කොල පාට
වෛවර්ණ පැහැයෙනැති
හරි තුනී සව් කොලෙන්
සැකිල්ලක් යාන්තම්
විලි වසා ගෙන උඬගු
හිරු දිලෙන දහවලේ
කිසිවෙකුදු නොම දකින
නිශා යම කළුවරේ
අනුන් දුන් එළියකින්
වැජඹෙනා අපූරුව
මතක නැති වූ ලෙසට
හිස්ම හිස් මුළු සිරුර

සරසවි ප්‍රේමය

ලොකු මාළු පොඩි මාළු
කට ඇරන් වැටෙන තුරු
උඩ බලන් කෙළ හලති
ඊළඟ පොරි අහුරට

නූතන කුරුටු ගී. . .

ප්‍රේමය උපාධියකි
කෙල්ලන් යනු සරසවියකි
ආචර්ය මහාචාර්යයවරුද
අප අතරින්ම බිහිවෙති

කළු,සුදු, කළුම කළු වැස්ස



කඳුළු ගස් පෙළ තනිව තුටුවන
අහින හිනැහෙන අනින දෙනයන
බිඳුනු පොල් අතු පැදුර තෙත් කළ
කෙසඟ දරුවන් කුසට තනිකම
තවත් මොකටද වහින කළු වැහි

ලියැදි පිරෙනට දළු හිනැහෙන්නට
තවත් ගුලි වී උදේ නිදනට
කවක් ලියනට
දෙ අත් පටලා එකම කුඩයේ
අනන්තය වෙත ඇවිද යන්නට
අනේ වැහැපන් ලබැඳි සුදු වැහි

අතීතය සුදු වැස්ස බොඳ කල
තනි කුඩය වම් අතට පෙම් බැඳ
මතක මං පෙත තෙමා දිය කර
තවත් වැහැපන් කළුම කළු වැහි

වර්තමානය



පන නල ගිලිහුන සා මුව පොව්වන්
දැක හද තෙත් වූ කේසර නිරිඳුන්
නියඟින් රතු ලේ මිහිකත හෙලමින්
දහඩිය කඳුලැලි ලේ හා මුසු කර

බිම් කැන මියුරස උල්පත් පාදා
ජීවය පිඹිනට දුර්මුඛ සතුනට
නිල් දිය වැව් තල නැවතත් ඇතිකර
කලෙකට පසු යලි නැවතී බැළු කල


කේසර නිරිඳුන් අමතක කරගෙන
නිලමැසි පිරිවර සමගින් සූකර
නඩයම එක් වී දිය බී පස් බිඳ
එතැනම පහරා මොර දෙන අරුමය !!

මව් කිරි කළමණාකරණ හා උපදේශන අංශයේ හෙද සොයුරිය




දසමස් සෙනෙහසින් කුස තුළ       හොවාගෙන
අපමන දුක් කටොළු තනිවම             දරාගෙන
වඳ යන නෑ නොනෑ ගැරහුම්             මරාගෙන
කුමරුන් හඬන දිනයයි මව්              සිනාසෙන


කුමරුන් ඉපිද කිරි ඉල්ලා හඬන        විට
කුළුඳුල් මවුන් තන කිරි නැත පුතුන්    හට
පැසසුම් වෙණ වැයූ නෑයන් බනින       විට
කිරි මව් කව්ද ඈ වෙනුවෙන් සිටින   හෙට

කුසගිනි වෙලා පුතු හඬනා විට         මවට
ලේ කිරි වෙලා ඉතිරී පිට නොයන     විට
නැන්දම්මාද නෑයන් නැත පිහිට      කොට
කවුරුන් පිහිට වන්නද මව්         කුළුඳුලට

නෑයෙකු නොවූවත් බැතිබර       සොයුරියකි
කරුණා බරිත වදනින් මව් දුක          නිවති
කුළුඳුල් මවුන් දරු හට මව් මෙන්     ළබැඳි
මව් මෙන් පුතුන් හට බෝසත් කිරි     මවකි

ඔවදන් දිරිය දී මව් කිරි පුතු          ලබනා
පුතුනට මවුන් කිරි ඉතිරී දොස්       බිඳිනා
හෙදියක වුවත් වැටුපට සේවය      සදනා
මව් ලෙස දහස් පුතුනට ඔබ මට    පෙනුනා

නොපිපි නොපිපි කැකුළු (අතවරයට ලක්වූ වයස අවුරුදු 14ක දැරියක්, දරුවෙකු ප්‍රසූත කරයි - පුවතක්)




නෑඹුල් මල් කැකුළු පෙති දිග හරින්නට
දිවියේ සොඳුරු යුගයට පා නගන්නට
තවමත් නොපිපි මල් කෙළෙසා දමන්නට
කෙළෙසක හැකිද ඒ අසරණ දෙනෙත් යට

මනුසත් ලොවේ තිරිසන් ලෙස උපත ලද
ඒ නරුමයන්  කැකුළු කුසුම්  තලන ලද
නීතිය සොයා දැමුවත් සිර ගෙයට ඇද
කෙළෙසුනු මල් කැකුළු නැවතත් පිපෙනවද?

දිවි මග දුරක් සතුටින් යා යුතුව ඇති 
මව් පදවියට එළඹෙන්නට කලක් ඇති
අසරණ ඇයට වැලපෙන විලි රුදා හැදී
පිහිටට කවුද හෙට දින කටු පඳුරු  පිරී

මව් පදවිය සතුටකි සැම නිති සැමරිය යුතු
එනමුදු තවම මව් තුරුලේ සුරතල් විය යුතු
ළපටි කැකුළු ඇය තුරුලේ බිළිඳු හඬනු දුටු
නෙතඟ කඳුළු මතුවිය හෙට දිනය සිහිව මතු

දිනක ඇගේ දියණිය ලොව අවමන් විඳ විඳ
සිතින් දහස් මියැදෙනු ඇත මව් ගැන සිත සිත
දිවියෙන් තව දිවියක් අඳුරෙහි ගිල්වන ලද
නිරයක් තව ඉදිවනු ඇත උන් දමනට ඇද 

ගාමන්ට් බස් එක



දෑඟිලි නොමැත සියුමැලි නා දළු     පැහැය
පෙමින් හුයට බැඳි නිය නැත රතු     පැහැය
සියුමැලි දෙපා මැසිමට පුද කර         සවිය
සටනකි වියන රුපියල් ශත යට        දිවිය

දිනකර නැගෙනු පෙර අරඹනු දිවි    ගමන
නිමවන සවස කළුවර ගෙන පා      නගන
ගමනද දිවිය මෙන් කටුකය නැත     පවන
බසයද පමණ සැනසුම දවසම       පෙලන


මැසිමේ දිවිය වියනට හිරු හා          නැගෙනා
නිදිබර දෙනෙත් සන්නාලිය ගෙන     දිවෙනා
උන්ගේ සිතට මද නිවනක් ගෙන     ඇදෙනා
සිතුවේ පෙමින් උන් හා බස් රථ      යෙදෙනා

ඔරලෝසුවේ රුපියල් ශත දිවෙන         වෙලේ
ඇඟලුම් හලේ තත්පර කහවනුව           හැලේ
මොහොතක ඉසිඹුවක් නොවනට දමන    කරේ
තොන්ඩුව මිසක් බසයක් නොව ගලන   සෙනේ

උක් දඬු



                                

ගිනි පිඹින අව් රැල්ල  -   ධූලි මුසු පවනෙන්
   මදක් කොල සෙලවී   -    සිසිල ඉල්ලා වැලපී
         දිය බිඳක් යදිමින්    -   ගගන තලයට වඳිමින්
   පුරුක් ඉහලට නැඟෙමින්   -   හමන සුලඟට වැනෙමින්


             නිර් උදක පස මතින     -    සුවඳ මල් වුව නොපිපෙන
 දෙනෙත පිනවන නොම වන  -    අමිහිරිම වූ දිවිය අවසන
පිරෙන සියොලඟ මිහිරෙන   -    පිදෙන එනමුදු අනුනට

          අවසන අහවර ඉරණම    -     මිරිකෙන තරමට පිරවෙන
     තව තව මිරිකෙන මිරිකෙන  -   තව තව සියොලඟ දියවෙන
             අවසන දිවියද වන නිම   -  පිරවෙන පිරවෙන නොම නිම

රොඩු බොඩු අමතක වන කල  -   අරුමැති බඳුනක ඇසිරෙන
  සීතල කුටියක යන එන    -   මධු යුශ දුර දුර රට යන

     තව තව අළුතින් පැල වන  -    දිවි අග කිසිවකු නොදකින
සියොලඟ අනුනට කැප වන     -     ළපැටිම උක් දඬු පැල පෙල