Thursday, August 29, 2013

ඕ ලෙවල් සිංහළ පොත



රෝගී වෙලා සා/පෙළ දරුවෙකු      මෙදින
නැවතී සිටින විට සිංහළ පොත         බලන
ඒ දැක මසිත දස වසරක පෙර          මිහිර
දෙදහස් තුනට නොදැනිම හෙමිහිට     ඇදුන

ඉසා සනා පබිලා එකිනෙක             ගැටෙති
නිතරම ඇදෙති නැවතෙති යති නැවත      එතී
සුන්දර හාමි නැත කම්මුල් රතට            හැරී
ගන්තුන තුලානෙන් නුවරට එවා            ඇතී

කෙළතොල්ලා මූඩය කත් ඇදි           පුමයා
නොමැති නිසා අනන්ත ජින යන        මිතුරා
වාට්ටුවේ අයිනක දුකසේ                  සතපා
උපක තෙමේ ඇත අඩකින් විලි        නොවසා


යවැටෙන් රතුව ඇස් බබලන ඒ         කොනින
රා කළ හතක් බිව් නාලා ගිරි               ලෙසින
යන එන එවුන් බහුතරයකි මෙහි            දකින
ඉඳ හිට නිල්ල මෙත් පතුරන නෙත්         දකින


එදවස පොතක සිටි උන් හැම ඇත        මෙතැන
පපුවට යොමා ඇසුවිට උන් හද             ගැහෙන 
තාදිඟු තෙතඟු කවි මා කන වැකෙන            විට
තවමත් නොමළ මා ඇත මා සිත           කොනක

Saturday, August 24, 2013

කතා තුනක්



1.පුහුණු වන වෛද්‍යවරයෙකු ලෙස මා පේරාදෙණිය රෝහලේ 8 වාට්ටුවේ ගතකල සතිය,
වේලාව සවස හතර හමාරට පමණ විය.උදෑසන තේ කෝප්පයට අමතරව තවමත් කිසිදු කෑමක් බීමක් නැතිව එක දිගටම වැඩ කරන්නට සිදුවී තිබුනි. බත් පාර්සලය රැගෙන කැන්ටිමට යාමට හැදුවා පමණි, අනේ සර් අපිට ගොඩක් දුර යන්න තියනවා, බස් දෙකක යන්න ඕනේ රෑ උනාම බස් නෑ,(හැබැයි ඒ ලෙඩාගෙ ටිකට් එකේ ඇඩ්‍රස් තිබ්බේ නුවර ) රිපෝට් බලලා හොඳ නම් ටිකට් කපනවා කිව්වා,අනේ ඉක්මනට බලලා යන්න හදලා දෙනවද? අනේ පින් සිද්ද වෙයි.කුමක් කරන්නද ඉතින්, යටි සිතින් බැන බැන බඩගින්නේම ලැබ් එකට ගිහින් රිපෝට් හොයාගෙන ඇවිත්, ඩිස්චාර්ජ් කාඩ් එකත් ලියලා දීලා,පින් ගොඩාක් අරගෙන, කැන්ටිමට ගිහින් පිළුණු වුන උදේ බත් එක විසි කරලා තේ එකක් බීලා ආයෙත් වාට්ටුවට ගියා.

දෙවෙනි කතාව

මෝටර් සයිකලයෙන් ගෙදර එන ගමන්, පේරාදෙණිය මහනුවර අළුත් පාරේ.බයික් එකේ ස්පාක් ප්ලග් එකේ කාබන් බැඳිලා තිබ්බේ, ඩෝං ඩෝං ගගා පුපුරණවා හිටපු ගමන්.ස්පාක් ප්ලග් එක ගලවන්න 14 යතුරක් නෑ බයික් එකේ. දෙයියන්නේවෙල හරියේදි බයික් එක නැවතුනා , ඉස්ටාට් වෙන්නේම නෑ.තල්ලු කරා ළඟ තිබ්බ ගැරජ් එකට. මෙන්න බොලේ අර බස් දෙකකින් යනවා, දුර ඉන්නවා කියපු ලෙඩා ගැරජ් එකේ වැඩ.මම ගිහින් කිව්වා මේකේ ස්පාක් ප්ලග් එක සුද්ද කරලා දෙන්න පුළුවන්ද කියලා. ගත් කටටම මේ යකා කියපි දැන් බෑ මහත්තයා මම වැඩක්, මේක ඉවර කරල කාල එන්න යනවා, පැය එක හමාරකින් එන්න.විනාඩි පහේ වැඩට මේ යකාගෙ ගනන් ඉස්සිල්ල.( මට ඒ වෙලාවෙ හිතුනු දේවල් මෙතන ලියන්න බෑ) මොනවා කරන්නද ඉතින්, බයික් එක නුවර ඉස්පිරිතාලෙ අපි බයික් දාන තැන දාල ගෙදර යනවා කියලා හිතාගෙන තල්ලු කරගෙන ආවා.

තුන්වෙනි කතාව.

ත්‍රීවීල් කාරයෙක් කියන නම් පටබැඳුනු, ත්‍රීවීල් පදවන මහත්මයෙක්, ඇයි මල්ලි මොකද බයික් එකට වෙලා තියෙන්නේ? මම ඉතින් ස්පාක් ප්ලග් අවුල ගැන කිව්වා.බලමු ඕක හදන්න පුළුවන්ද කියලා, යතුරු සෙට් එක තියනවාද ඇහුවා. නෑ කිව්වම ත්‍රීවීල් එකේ යතුරු සෙට් එක අරගෙන ප්ලග් එක ගලවලා සුද්ද කරන්න සෙට් උනා. මම සුද්ද කරන්නම් කිව්වාම පොර කිව්වා, මල්ලි මජං ගෑවෙයිනේ මම සුද්ද කරලා දෙන්නම්  කියලා සුද්ද කරලා දුන්නා. බයික් එක එක පාරෙන්ම ඉස්ටාට් උනා.මම ගොඩක් පින් කියලා එන්න ආවා. ඕක මොකද්ද , පොඩි වැඩක්නේ කියලා ත්‍රීවීල් කාරයා (ත්‍රීවිල් රියදුරු මහතා ) යන්න ගියා.
හැරෙන විට දෙනෙත්  
නින්දෙන්
මද නින්දෙන්
නින්ද නොනින්දෙන්
ගෙවුනු තත්පර
වටී රන් ලෙස 
අවදිව ගෙවූ 
දහවලට වඩා

Sunday, August 11, 2013




මොකද්දෝ  අඩුවක්ය
වදන් ගොනු කළ නොහෙන
නෙත පියන ඇරෙන විට
සිතට නිතරම දැනෙන.

අකීකරු සිත් සුළඟ
දුහුල් සලු පටක ලා
බැඳලන්න තැත් කරමි
දැන දැනම නොහැකි බ

විභාග



සමහරු සමත් වෙති
සමහරු අසමත් වෙති
අසමතුන් නැවත ගනිති
නැතොත් අතැර දමති

වාඩි වන තුරු අවිනිශ්චිතය
ලියා අවසනද අවිනිශ්චිතය
ජිල්මාට් වී තිබුනොත්
ප්‍රතිඵලද අවිනිශ්චිතය

බොහෝ විට අපහසුය 
ඉඳ හිට  පහසුය 
අපහසු විභාග සමත් වී
අසමත් වන පහසු විභාගද ඇත

අට පාස් නැති උන්
බෙන්ස් ප්‍රාඩෝ වලින් ඉගිලෙති
ගෙවෙනතුරු සෙරෙප්පු කබල්
උපාධිධාරීන් පයින්ම ගාටති

සෑම සාර්ථක මිනිසෙකුම පිටුපස
සමත් හෝ අසමත්
විභාගයක් ඇත...

Wednesday, August 7, 2013

(අ )මිහිරි



සතුටු විය ලෝකයම
පැළ කලෙන් නා පැලක්
වැඩී මහ ගසක් අද

වාරු නැති දෙපා යුග
ඇදෙයි බැල ගෙඩි සොයා
රකිනු වියතක් නියා

නොවී නුඹ නා රුකක්
උනේ නම් උණ ගසක්




(නිමිත්ත- රෝගී මහළු පියා බැල ගෙඩි කඩමින් දුක සේ ජීවත් වන අතර, වෛද්‍යවරයෙකු වන ඔහුගේ එකම පුතා, වයසක පියාව අමතක කර දමා ඉතා සැපවත් ජීවිතයක් ගත කරයි.අසරණ මහළු පියා වාට්ටුවේදී මා සමඟ දොඩමළු විය.ඒ වදන් අකුරු කිරීමට දැරූ උත්සහයකි )