Sunday, September 29, 2013

රේන්ද රාලගේ බල්ලා මැරුණු දා




මහ නායක උන්නාංසෙ
පාංසු කූලය දෙසන්නෙ
අනුනායක උන්නාංසෙ
අඩුවට හූ මිටි තියන්නෙ

බරණැස් සළුවක් දෝතින්
මතක වතට පුද කරන්නෙ
පිළිකන්නේ උජාරුවට
ගමටම මළ බත උයන්නෙ

අමුඩ ගහපු කොන්ඩෙ බැඳපු
ගමේ බයියො වගේද බොල
සතෙක් උනත් පින් කඳක්ලු
සාලෙ මැද්දෙ පැහැරුවාට 

Saturday, September 7, 2013

ලෙඩ්ඩු දෙන්නෙක්...





ස්ථානය පේරාදෙණියේ ශල්‍ය වෛද්‍ය වාට්ටුව, දිනය සැප්තැම්බර් මුල. පොඩි දරුවෙකුට වකුගඩුවක් බද්ධ කරන ශල්‍ය කර්මයක් සිදු වුනා.මේ දරුවා අසීරු අඩියක හිටියේ, ඉක්මනින් වකුගඩුවක් බද්ධ කලේ නැතිනම් ඒ දරුවා මේ වෙනකොට මේ ලෝකේ නොවෙන්නත් ඉඩ තිබුනා.කොහොම උනත් කතාව ඒ ගැන නෙවේ. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මය බොහොම අසීරු, පැය හයක් විතර යන එකක්.ශල්‍ය කර්මය ඉවර වෙනකොට ශල්‍ය වෛද්‍යවරුන්ට හරිම මහන්සියි, පැය හය හතක් එක දිගට වැඩ කරලා.

ඒ හදිසි ශල්‍යකර්මය නිසා වෙනත් වෙනත් ශල්‍යකර්ම කල් දමන්න වුනා. කතාව පටන් ගන්නේ මෙතනින්.

පළවෙනි ලෙඩා-
මෙයා මුස්ලිම් කාන්තාවක්,වයස පනස් ගනනක්, ඇවිත් හිටියේ කකුලේ නහර ගැට ගැහිලා තියන එකට ශල්‍යකර්මයක් කරගන්න.වැඩේ කෙරෙන් නැති බව උදේ නර්ස් කෙනෙක් බොහොම කරුණාවෙන් පැහැදිලි කරලා කිව්වා. වෛද්‍ය ශිෂ්‍යයෝ ගිහින් රෝග විස්තර එහෙම ඇහුවා, මේ ලෙඩා දැන් දිගට හරහට බනිනවා, ශල්‍යවෛද්‍යතුමාට හොඳටම දෙහි කපනවා. රස්තියාදුකරනවා වෙලාවට වැඩේ කරලා දෙන්නේ නෑ කියලා.මමත් ඉතින් කිව්වා  වකුගඩු බද්ධ කරන ශල්‍යකර්මයක් යනවා ඒහින්දා අනික් ශල්‍යකර්ම කල් දමන්න වුනා කියල, ඉතින් මම අහලා බැලුවා මේ ලෙඩාගේ  මේ සා වටිනා කාලය මොකටද ගෙවෙන්නේ කියලා. බලනකොට මේ ලෙඩා නිකම්ම ගෙදරට වෙලා ඉන්න කෙනෙක්.ගේ ඇතුලේ අඩි දහයක්වත් ඇවිදින්නේ නැති කෙනෙක්. හැබැයි හදිසි ශල්‍යකර්මයක් නිසා එතරම් හදිසි නැති ශල්‍යකර්මය කල් දැම්මා කියලා දස අතේ දෙස් දෙවොල්තියනවා.

දෙවෙනි ලෙඩා

මේ කාන්තාව,වයස හැට ගනනක්, විශ්‍රාමික  ගුරුවරියක්, ඇවිත් තිබුනේ පියයුරු පිළිකාවක් නිසා, පියයුරක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට.පිළිකාව අවුරුදු ගනනක්, ශල්‍යකර්මයකින් සුව කරන්න පුළුවන් අවසාන අඩියේ වගේ හිටියේ.මේ ශල්‍යකර්මයත් කල් දමන්න වුනා දවසකට , ඉහත හේතුවටම. කලින් ලෙඩාගේ ප්‍රතිචාරය දන්න නිසා මම බොහොම පරිස්සමෙන් මේ ලෙඩාගේ විස්තර ටික අරගෙන පරීක්ෂා කරල ,ශල්‍යකර්ම කල් දමන්න වුනා කියල කිව්වා. බොහෝම තැන්පත් විදිහට  මේ මාතාව හොඳ උත්තරයක් දුන්නා."මේ පිළිකාව අවුරුදු ගානක් තියාගෙන හිටිය මට දවසක් පරක්කු උනා කියලා මොකුත් වෙන්නේ නැතිවෙයි,පොඩි දරුවෙකුටලු නේද වකුගඩුවක් බද්ධ කරන්නේ ? ඒ දරුවාට ඉක්මනටම සනීප වෙන්න දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබෙන්න ඔනේ "

අන්තිමට මටත් හිතුනේ මේ ලෙඩ්ඩු තුන් දෙනාටම අඩු වැඩි වශයෙන් ඉක්මනටම සනීප වෙන්න දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබෙන්න ඔනේ කියලාම තමා