Thursday, December 25, 2014

හැමෝම එහෙම නෑ

එකම සතියේ එකම වාට්ටුවේ සිටි සමාන නමුත් අසමාන තිදෙනෙක්

මේ තුන් දෙනාම තමන්ගේ පළමු දරු ප්‍රසූතියට වාට්ටුවට ඇතුළු වී සිටිය අය. තුන් දෙනාම සිසේරියන් සැත්කම් වලින් දරු උපත් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා. සිසේරියන් කිරීමට හේතු නම් එකිනෙකාගෙන් වෙනස්.

පළමුවැන්නිය මුස්ලිම් ජාතික කාන්තාවක්. වයස විස්සක් විතර වෙන ගෘහණියක්. බොහොම සන්තෝෂයෙන් වාට්ටුවේ සිටියා. දරුවා ලැබෙන්න කලින් ඒ ගැන හෙදියන්ගෙන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් එක එක ප්‍රශ්න අහමින් හිටියා මම දැක්කා. ඇයි බබාලා උපදිනකොට අම්මලා කෑගහන්නේ? රිදෙනවාද? කොහොමද ඒ වෙලාවට ඉන්න ඕනේ විදිහ? මොකද කරන්න ඕනේ විදිහට මේ අම්මාට පොඩි පොඩි ප්‍රශ්න ගොඩායි. හැබැයි හෙදියන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ ප්‍රශ්න අහන එකට හරිම කැමති. මොකද කවුරුවත් එහෙම අහන්නෙත් නෑ. හැම පොඩි පොඩි දේම නිරාකරණය කරගත්තාම හෙදියන්ට,පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට මේ අම්මාගෙන් වාට්ටුවේදී චෝදනා පැමිණිලි කන් කෙඳිරි නෑ, කොටින්ම කිව්වොත් මේ අම්මා වදයක් වෙන්නේ නෑ.
කොහොමහරි මේ අම්මාට බබා ඉපදුනා. කිසි පැමිණිල්ලක් නෑ, හොඳට බබාව ඔතලා කිරි දෙනවා. බබා ටිකක් පොඩියි, බර අඩුයි හැබැයි ලොකු ගැටළුවක් නෑ. ලෙඩ්ඩු බලන වෙලාවට මේ අම්මාගේ නෑදෑයෝ බර ගානක් එනවා බලන්න. වරකට ලෙඩ්ඩු බලන්න දෙන්නේ පාස් දෙකයි. ඉතින් ඒ පාස් දෙක මාරු කරගනිමින් නෑදෑයෝ ගොඩක් අය මේ අම්මාව බලන්න ආවා. ටිකට් කපලා යනකොටත් වැඩිහිටි කාන්තාවෝ හතරදෙනෙකුයි කාන්තාවගේ සැමියයි ඇවිත් හිටියා. බඩු මළු ටික තුන් දෙනෙක් අරගෙන යනකොට බබාව තව එක්කෙනෙක් වඩාගෙන යනවා. මේ කාන්තාවගේ සැමියා එයාව අල්ලගෙන යනවා. යන ගමන් " ගිහින් එන්නම් , ගොඩක් ස්තූතියි  " කියලා අපිටයි නර්ස් නෝනලාටයි කියලත් යන්න ගියා.

දෙවැනි ලෙඩා වතුකරයේ දෙමළ ජාතික කාන්තාවක්. ඒ අම්මාත් ඇවිත් තිබුනේ පළවෙනි දරු ප්‍රසූතියට. දරිද්‍රතාව උපරිමයි.බොහොම දුර ග්‍රාමීය රෝහලකින් එවලා තිබුනේ. මේ කාන්තාවගේ සැමියාත් වතු කම්කරුවෙක්. හැමදාම මේ අම්මා බලන්න රෝහලට එන්න වත්කමක් නෑ. කෑම ගේන්නත් විදිහක් නෑ. ඉතින් රෝහලෙන් කෑමත් ලබා දුන්නා. වැඩිය සිංහලත් බෑ. බොහොම අහිංසකව දන්න සිංහලෙන් හා දෙමළෙන් සන්නිවේදනය කලා. මේ අම්මටනම් කිසිම ප්‍රශ්නයක් අහන්න තිබුනේ නෑ."බබාව සීසර් කරලා ගන්න වෙනවා " කිව්වම "කමක් නෑ සර්"  "ලේ එකක් ගන්න ඕනේ පරීක්ෂණයකට "කියලා නර්ස් කෙනෙක් කිව්වම ඒකටත් "ගන්න මිසී " කියනවා. කන්න කිව්වම කනවා, ඔපරේෂන් එකට කලින් කන්නේ නැතිව ඉන්න කිව්වම කිසි දෙයක් අහන්නේ නැතිව ඒකටත් හා කියනවා.මේ අම්මාටත් දැන් ඔන්න බබා ඉපදුනා. බබාලා ඉපදුනාම බබාලා ඔතන්න බබාලට අන්දවන්න ඇඳුම් එහෙම වට්ටෝරුවක් දෙනවා මාතෘ සායනයෙන් ( ක්ලිනික් එකෙන් ) මේ අම්මට කොහෙන්ද එච්චර දේවල් ගන්න සල්ලි? ඉතින් වාට්ටුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ටිකක් මේ අම්මට කෑගහලත් තිබුනා බබාට අන්දවන්න ඇඳුම් එහෙම අවශ්‍ය තරම් ගෙනත් නෑ කියලා. ඒවා ගන්න තරම් අතමිට සරු නෑ කියලා මුවින් නොකීවට මේ අම්මාගේ දෙනෙතින් කියවුනා. ටිකට් කපලා යන දවසේ මේ අම්මාගේ ස්වාමිපුරුෂයා ඇවිත් හිටියා.ඒ කියන්නේ ඔවුන්ට එදා දවසේ පඩිය ලැබෙන්නේ නෑ කියන එක. ටියුලිප් මළු දෙකක රෙදි ටිකත් දාගෙන මේ දෙන්නා, රෑ වෙන්න කලින් බස් එකේ ගොඩක් දුර යන්න තියන නිසා ඉක්මනින් ඉක්මනින් අඩි තියමින් යන්න ගියා.

තුන්වැන්නී සිංහළ කාන්තාවක්.වයස විසි හතයි , රජයේ රැකියාවක් කරන මවක්. පළමු දරුවා ලැබෙන්න ඇවිත් හිටියේ. දරුවා සිසේරියන් සැත්කමකින් ඉපදුනා. බබාව අම්මට දුන්නා. මේ අම්මත් කිරි දිදී හිටියා. දෙවෙනි දවසේදී මේ බබා කහ පාට වුනා.( Neonatal Jaundice) ඔන්න දැන් තමයි හොඳම හරිය. මේ කාන්තාවගේ ගම් පලාත ටිකක් දුර, දැන් ඉන්නේ සැමියාගේ නිවසේ. සැමියා රැකියාව කරන්නේ ටිකක් දුර පළාතක.නැන්දම්මා සර්වබලධාරියා.බබා කහ පාට වුන එකට  නැන්දම්මගෙන් චෝදනාවක්. "ඔය කරගත්තේ, කිරි නෑ , ඒකනේ බබාට ඔහොම වුනේ " මරේ මරු නැන්දම්මෙක්. මව් කිරි නිපදවීමට මවගේ පෝෂණය වගේම මානසික තත්වයත් හොඳින් තියෙන්න ඕනේ කියලා පොත පතේ තියනවා . ඉතින් මේ අළුත මව් පදවිය ලත් අම්මා බොහොම දුකට පත් වෙලා සිටියා, කිරි නෑ කියලා නැන්දම්මා චෝදනා කරනවා. මේ අම්මා අඬනවා, නිතරම කලන්තේ වගේ කියනවා, කෑම රුචිය නෑ කියනවා. ඉතින් ප්‍රතිපලය මව් කිරි තවත් අඩු වීම, බබාව දැන් දැම්මා බේබ් කාමරය හෙවත් ( SBU / Special Baby Unit  )
දැන් වැඩේ තවත් උග්‍රයි.අවාසනාවට මේ කාන්තාගේ නෑනලා දෙන්නම නර්ස් නෝනලා. (නල්ලමලේ නර්ස් නෝනලා ) වෙලාවට ටිකක් දුර පැත්තක වැඩ කරන්නේ. මුන්දැලා දෙන්නත් මේ අම්මට කතා කරලා තව තව බනිනවා. කිරි පිටි පොවන්න වැඩේ කලා නේද කියලා. අන්තිමට මේ අම්මා බොහෝම අසරණ වෙලා. මේ අස්සේ දුරින් නෑදෑ වෙන මිඩ් වයිෆ් කෙනෙකුත් ලෙඩ්ඩු බලන වෙලාවේ නැතිව අවේලාවේ ඇවිත් තවත් දෝස්මුරයක් දාලා ගිහින් කිරි නෑ කියලා.

මේ අම්මා අඬ අඬ ඉන්නකොට මොකද කියලා ඇහුවම මුළු කතාන්දරයම කිව්වා. මේ ප්‍රශ්නයට විසඳුම දුන්නේ ළමා රෝග අංශයේ පළපුරුදු වෛද්‍යවරියක්. ඒ අම්මට තේරෙන බාසාවෙන් පැහැදිළි කරලා දුන්නා  අන්තිමට මෙහෙමත් කිව්වා "අම්මා ඔය බය වෙන්න එපා ඔයාට කිරි කළ හතකටත් වඩා තියනවා, කවුද කියන්නේ කිරි නෑ කියලා. අපි ඉන්නවනේ උදව් කරන්න, ආයෙ  ඔයාට කිරි නෑ අරක මේක කිව්වොත් නැන්දම්මවයි නෑනලාටයි මාව හම්බවෙන්න කියන්න, මම උන්දැලාට අමතන්නම්කෝ " ඉතාම ප්‍රායෝගික විදිහට සිදුවුනු මේ උපදේශනය දිගු කාලීන පලපුරුද්දෙන්ම ආව එකක් වෙන්න ඕනේ.
මේ අම්මා දවස් ගනනාවක් ඉඳලා ටිකට් කපලා පිට වුනා. හැබැයි සතුටට කරුණක් තිබුනා, ඒ තමයි ටිකට් කපනකොට මේ අම්මාට බබාට හොඳට කිරි දෙන්න පුළුවන් වෙලා තිබුනා.

පහුගිය සතියේ වාට්ටුවේදී දකපු මේ සිදුවීම් අකුරු කරලා අන්තිමට කියන්න තියෙන්නේ "හැමෝම එහෙම නෑ " කියලා තමයි





Friday, December 19, 2014

කතා කීපයක්

ආපහු කතා කීපයක්. මේවා ඕපාදූප කියලා හිතෙනව නම් එහෙම හිතාගන්න. ඒ වුනාට මේ හැම දෙයක්ම අපි අවට අපි සිදුවෙන අපි නොදකින දේවල්. කතා පොත් වල හෝ චිත්‍රපටිවල තියන දේවල් වගේ වුනාට මේවා ඇත්ත ජිවිතයේ හැමෝම නොදකින අපි දකින සංවේදී සිදුවීම්.

බබාලා උපදින වාට්ටුව හෙවත් ප්‍රසව වාට්ටුව බහුතරයක් අම්මලාට හරිම සතුටුදායක තැනක්.අළුත උපන් පොඩි එකෙක් සුරුට්ටුවක් වගේ ඔතාගෙන (:පී) බොහෝම ආඩම්බරෙන් තමයි බහුතරයක් අම්මලා ඇවිදින්නේ.හැබැයි මේ ආඩම්බරකාර තාත්තලාගේ ආඩම්බරකාර අම්මලා අතර (ආඩම්බරකාර ) තාත්තලා නැති අම්මලා වගේම තව දිග කතාන්දර ගුලි කරගෙන වැදුම් වේදනා නිහඬව විඳින අම්මලාත් සිටිනවා.

පළවෙනි කතාව

මවුන් දුවට කුමක් කියම්ද?

මේ අම්මට වයස අවුරුදු 44යි, අනපේක්ෂිතව තමයි බබෙක් හම්බවෙන්න ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ උපත් පාලන ක්‍රමයක අසාර්ථකත්වයක් හින්දා බබෙක් ලැබෙන්න ඇවිත්. මේ අම්මාට තව දරුවෝ හතරක් ඉන්නවා, ඒ කියන්නේ මේ පස් වෙනියා. කොහොම උනත්  මහා ලොකුවට බෙරිහන් දෙන සිංහල බෞද්ධ රටේ හොරන් හොරෙන් නීති විරෝධි ගබ්සා ඕන තරම් වෙනවා, විශේෂයෙන් මේ වගේ සිදුවීමක් වුනාම බහුතරයක් අම්මලා (හැමෝම නෙවෙයි  ) කරන්නේ ලැජ්ජාවට හෝ දරුවන් ලොකු හින්දා හෝ ඒ දරුවා නැති කරගන්න උත්සාහ කරන එක. ඒක ලොකුම ලොකු පවක් ඒ වගේම දන්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව අපරාධයක්. හබැයි මේ කතාවේ කියන අම්මා නම් දරුවා හදාගන්න තීරණය කරලා පහු වෙලා හරි , හරි විදිහට සායන වලට එහෙම ඇවිත් තිබුනා. කොහොම හරි මේ අම්මට බබා ඉපදුනා.
නිකමට වගේ වෝඩ් රවුන්ඩ් එකේදී මේ අම්මා එක්ක පොඩි කතාවකට වැටුනා. මේ අම්මගේ ලොකුම දරුවා පුතෙක්, වයස 19යි දෙවනියා දුවක් 14යි. මහත්තයා එළවළු ගොවිතැන් කරන්නේ. ලොකූ ආර්ථික අපහසුකමක් නැතත් ඒ තරම් සරු බවකුත් නෑ. ගෙදර තරමක් පිටිසර පැත්තක. මහත්තයාගේ නෑදෑයෝ අමනාපයක් නිසා මේ අයගේ නිවසට එන්නේ නෑලු.මේ අම්මගේ මව්පියන් මිය ගිහින් කාලයක් වෙනවා.
සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකට පස්සේ සංකූලතාවයක් නැතිනම් ටිකට් කපන්නේ පැය 48 කට පස්සේ. මේ අම්මාගේ ටිකට් කපන්න දවසක් තියෙද්දී උදේක අඬ අඬ ලොකූ කතාවක් කෙටියෙන් කියනවා."අනේ සර් මගේ දුව ලොකු ළමයෙක් වෙලා, මට අද ටිකට් කපලා ගෙදර යන්න දෙන්න" "ළමයින්නේ තාත්තා විතරයි ගෙදර, වටපිටාවෙත් උදව්වට කවුරුත් නෑ"
" මේකනේ අම්මා , ටිකට් කපන්නේ පය 48 කට පස්සේනේ. ඉතින් නෑදෑයෝ එහෙම නැද්ද? " මගෙන් අසංවේදී ප්‍රශ්නයක්.
එතකොට තමයි කිව්වේ නෑදෑයොන්ගේ කෙරුවාව. තමන්ගේ දුව වැඩිවියට පත් වුන දවසේ අම්මා බබෙක් ප්‍රසූත කරලා ගෙදර යනකොට ඒ අම්මවයි දුවයි අසරණ කරන්න අපහාස උපහාස කරන්න නම් කීදෙනෙක් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්ද? ගමේ ගෑනු කීදෙනෙක් තැන තැන ඕපාදූප අවලාද කියන්න බලාගෙන ඉන්නවා ඇතිද? හැබැයි උදව්වට ඉන්නේ කීයෙන් කී දෙනාද?
ප්‍රශ්නය සුපුරුදු පරිදි ඉහළට යොමු කළා. පළපුරුදු ජේශ්ඨ වෛද්‍යවරයෙකුට යොමු කළා. එතුමා බොහොම කාරුණිකව මේ අම්මට පැහැදිළි කළා ටිකට් නොකපන්න හේතුව, සිසේරියන් සැත්කමේ බැරෑරුම්කම තේරුම් අරගෙනද කොහෙදෝ නැතිනම් කරන්න දෙයක් නැතුවටද කොහෙදෝ මේ අම්ම තව දවසක් ඉවසාගෙන ඉඳලා පහුවදා ගෙදර ගියා.

වෛද්‍ය සහතිකයක් ඉල්ලා පැමිණි සහෝදරයා

මේ කතා නායිකාව අවුරුදු 17 ක අවිවාහක ,දෙමළ, වතු කම්කරු, මාස හතක ගැබිණි මවක්.සායනයට එන කෙනෙක්, එක දවසක ඇවිත් තිබුනේ අයියාත් එක්ක.මේ කාන්තාවට සිංහළ බෑ, අයියාට සිංහළ පුළුවන් (මට කොංජම් කොංජම් පුළුවන් )
දිග කතාවක් කියන්න ගත්තා. මේ කාන්තාව ඇතුළු පවුලේ සාමාජිකයන් වතු කම්කරු ජනතාව.ලැයිම් කාමර වල ජීවත් වෙන්නේ. ලඟපාත ලැයිමක තරුණයෙක් මේ කාන්තාව එක්ක හාදකමක් පටන් අරගෙන. එහි අවසානය වුනේ මේ කාන්තාව ගැබ් ගෙන කියලා දැන ගත්තාම කොන්දක් නැති, පිරිමි කමට නොවටිනා පරිදි ඒ තරුණයා පැන යාම. අන්තිමට මේ අම්මා අප්පෙක් නැති දරුවෙක් කුස දරාගෙන මාස ගනනක් දුක් විඳිමින්  සිටියා. මේ කාන්තාවගේ අයියා ඒ තරුණයා සොයාගෙන ගිහින් තර්ජනය කරලා, අන්ඩකුත් කඩලා තිබුනා, හැබැයි ඒ තරුණයා මේ කාන්තාව බාර ගන්න බෑ කියලා.

කමක් නෑ කියලා මේ අයියා තමන්ගේ නංගිගේ දරුවා බාරගන්නම් කියලා.මේ අයියා පාපැදියකින් ගිහින් මාළු විකුනලා ජීවත් වෙන දුප්පත් හාදයෙක්. මේ කාන්තාවට බැංකු පොතක් තියනවා, දැන් දරුවා ලැබෙන්න කිට්ටුයි, ඉතින් මේ කාන්තාවගේ අයියා රෝහලට ඇවිත් අපෙන් ඔය දිග කතාවම කියලා ඉල්ලීමක් කළා.ඒ තමයි දැන් නංගිට දරුවා ලැබෙන්න යන්නේ, වියදමට සල්ලි නෑ, මේ කාන්තාවට තාම 17යි, බැංකු පොතෙන් තාම සල්ලි ගන්න බෑ, ඉතින් ඒකට මොකඛරි කරලා දෙන්න කියලා.
මේ ප්‍රශ්නයත් දැම්මා විශේෂඥ වෛද්‍යතුමාට.එතුමා තත්වය පැහැදිළි කළා. "අපිට පුළුවන් මේ ළමයා ගර්භනී, අහවල් දවසේ ප්‍රසූත කරනවා, සහ අපේ සායනයට එනවා කියලා වෛද්‍ය සහතිකයක් දෙන්න විතරයි, ඉතිරි ටික ග්‍රාම සේවකට කියලා කරගන්න " ඒ තමයි අපේ සීමාවේ කළ හැක්ක. මම ඉතින් වෛද්‍ය සහතිකයක් නිකුත් කළා.ඒකත් අරගෙන  මේ දෙන්න පිටත් වුනා, ඒ දිහා බලාගෙන හිටපු මට මුල ඉඳළම හිතට වද දුන් කාරනාව නැවතත් හිතුනා. කාටද කියන්න පුළුවන් මේ අයියා නංගිගේ පොතේ සල්ලි ටිකත් අරගෙන ඒකෙන් කටගොන්නක් බීලා ජොලියක් දාලා ඔක්කොම අමතක කරයිද කියලා? කාටද කියන්න පුළුවන් මේ අයියාගේ බිරින්දෑ ඒ සල්ලි ටික අරගෙන ගැබ්බර තරුණිය එළවලා දමයිද කියලා? එහෙම නොවේවා කියලා හිතලා මෙඩිකල් එක ලියනකොට කීප වතාවක්ම මට හිතුනා.