Wednesday, October 21, 2015

අමාරුම කාර්යය


වාට්ටුවට අවුරුදු හැට ගනනක රෝගියෙක් ඇතුලත් කළා.හුස්ම ගන්න අමාරුයිලු.පෙනහළු වල සද්දය වෙනස් (හාර්ට් ෆේලියර් Heart Failure හෙවත් හදවත නිසි පරිදි වැඩ නොකිරීම ) ඊසීජී එකක් ගත්තම පපුවේ අමාරුවක ලකුණු තියනවා, ට්‍රොපොනින් කියන රුධිර පරීක්ෂණයත් කළා හර්දයාබාධයක් කියලා තහවුරු වුනා. ඒ සඳහා නියමිත ප්‍රතිකාර නොපමාව පටන් ගත්තා. මේ රෝගියාට වකුගඩු අමාරුවක් තියනවා, දියවැඩියාව හා අධික රුධිර පීඩනයත් (ප්‍රෙෂර් ) තියනවා. කොහොමහරි හෘදයාබාධයට ප්‍රතිකාර හැටියට හෙපරින් කියන බෙහෙත පටන් ගත්තා.

ලෙඩා පොඩ්ඩක් අමාරුවෙන් හිටියේ, විශේෂඥ වෛද්‍යතුමාත් බලලා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. හවස වෝඩ් රවුන්ඩ් එකේදිත් මේ ලෙඩා එච්චරම හොඳ තත්වයක හිටියේ නෑ. රුධිර පීඩනය හෘද ස්ඵන්දන වේගය ඔක්සිජන් සංතෘප්ත(O2 Saturation ) වීම එහෙම ඔක්කොම හොඳයි. අවශ්‍ය බෙහෙත් වැඩි කිරීම සිදු කළා. ලෙඩාගේ පුතා ලෙඩා ලඟ හිටියා. පුතා එක්ක මම කතා කළා. රෝගියාගේ තත්වය පැහැදිළි කරන්න ප්‍රවේශයක් ගන්න ඒක හොඳ මගක්. මේ රෝගියා පෞද්ගලික අංශයේ පොඩි රැකියාවක් කරලා තියෙන්නේ. එකම දරුවයි ඉන්නේ, ඒ මේ ලෙඩා ලඟ ඉන්න පුතා. මේ පුතාත් සාමාන්‍යපෙළ කරල  ඊට පස්සේ පෞද්ගලික අංශයේ පොඩි රැකියාවකට ගිහින්. ආර්ථික ප්‍රශ්නත් තියනවා. කොහොමහරි මේ පුතා මගේ වයසේමයි. රෝගියාගේ තත්වය ගොඩක් අමාරු බව මම පැහැදිළි කරලා දුන්නා. රෝහලේ නැති බෙහෙතක් ගෙනත් දෙන්න කියලා තුන්ඩුවක් ලියලා මේ පුතා අතට දුන්න. දැන්මම මේ බෙහෙත ගෙනත්  දුන්නා නම් ඉක්මනට ලෙඩාට දෙන්න පුළුවන් කියලා කිව්වා. හොඳයි කියලා මේ පුතා පිටත් වුනා.

මට නිකම් මහා අමුත්තක් දැනුනා, මේ පුතා  දැන් බෙහෙත ගෙනෙන්න ගිය ටිකට ලෙඩාට අමාරු වෙලා මොකක් හරි වුනොත් ??? එහෙම වෙයිද දන්නෙත් නෑ කියලා හිතලා මම වාට්ටුවේ වැඩ කරගෙන ගියා.

විනාඩි දහයක් ගියේ නෑ, හෙද නිළධාරියෙක්  කතා කළා  H.D.U එකේ ලෙඩෙක් ඇරෙස්ට් වෙලා කියලා.මේ ලෙඩා , හෘදවස්තුව නතර වෙලා, හෘද තෙරපුම් හා ඇම්බු බෑග් එක මගින් කෘතිම ස්වසනය  (CPR & Ambu ventilation)දෙන්න පටන් ගත්තා, අදාල හදිසි වෙලාවට දෙන බෙහෙත් දුන්නා.පැය බාගයක් විතර ආපහු පන ගන්න මහන්සි වුනා.නමුත් වැඩක් වුනේ නෑ. ඒ වෙනකොටත් ඒ ලෙඩා අවසන් ගමන් ගිහින්.

එකම පුතා තමන්ගේ තාත්තා ඇස් ඉදිරිපිටම අවසන් ගමන් යන දිහා බලාගෙන හිටියා. ඒ පුතාගේ මුහුන බලන්න බෑ ඒ වෙලාවේ, පැයකට විතර කළින් ලෙඩාට අමාරුයි කියලා මම කිව්වා තමයි නමුත් මෙච්චර ඉක්මනට ගෙනා ආයුෂ ඉවර වෙයි කියලා මම හිතුවේ නෑ.
අන්තිමට අමාරුම කාරිය, අපිට ලෙඩා බේරගන්න බැරිවුනා කියලා මගේ වයසේම කෙනෙකුට, මියගිය කෙනාගේ එකම පුතාට කියන එක. බොහොම අමාරුවෙන් වචන ගලපාගෙන ඒ පුතාට පැහැදිළි කරලා දුන්නා. ඒක අහලා ඒ පුතා කෑ ගහලා අඬලා එතන දෙවනත් කළා නම් දුකක් නෑ. ඒ වෙනුවට මේ පුතා ඒ තාත්තාගේ අත අල්ලගෙන අනික් අතින් ඔලුව අතගාන්න පටන් ගත්තා. ඒ පුතාගේ කටින් එක වචනයක්වත් පිට වුනේ නෑ, කටින් කියන්න ඕනේ ඔක්කොම දේවල් ඇස් දෙක දෙපැත්තෙන් ගලාගෙන එන ජල ධාරාවන් දෙකක් මහා හයියෙන් කෑගහල කියනවා කියලා මට දැනුනා. බලා සිටිය නොහැකි හෙයින් එතනින් ඉවත් වුනා.
වෛද්‍යවරු කියන්නේ දෙවියන් නෙවෙයි, එහෙම වුනා නම් මේ රෝගියාට පණ ආපහු දෙන්න දෙපාරක් හිතන්නේ නෑ.

වෑන් දෙකක වෙනස



පොඩි සටහනක්
අමාරු ලෙඩෙකුට හදිසියේ එකෝ පරීක්ෂණයක් කරගන්න ඕනේ වුනා. ඒ සඳහා පහසුකම් තියන ළඟම රෝහල මහනුවර මහ රෝහල. ඉතින් ගම්පොල රෝහලේ ඉඳලා ගිලන් රථයකින් මේ ලෙඩාව මහනුවර අරගෙන යන්න පිටත් වුනා. අමාරු ලෙඩෙක් නිසා මගදි අමාරු වුනොත් එහෙම කියලා වෛද්‍යවරයෙක් සහ හෙද නිළධාරිණියකුත් මේ ලෙඩා එක්ක යන්න පිටත් වුනා. සාමාන්‍යයෙන් හැමදාම වෙන විදිහට ගිලන් රථය සයිරන් දමාගෙන ලයිට් දාගෙන ගියත් ත්‍රීවීල් ප්‍රයිවට් බස් ඇතුළු කිසි දවසක ලෙඩ වෙන්නේ නැති මිනිසු සත පහකට ගනන් ගන්නේ නෑ, පාරේ ඉඩ දෙන්නේ එහෙමත් කෙනෙක් තමයි.

කොහොම හරි පේරාදෙණිය හරියට එනකොට බිබිල රෝහලෙන් ආව ගිලන් රථයක් අපේ පිටිපස්සෙන් එනවා. ගැටඹේ හන්දියේ වට රවුමෙන් හරවලා අළුත් පාරට ( විලියම් ගොපල්ලව මාවතට ) දැම්මා, ඇම්බියුලන්ස් දෙකම දැන් රේස් එකක් වගේ. වැඩක් නෑ, අඩි කීපයයි යන්න පුළුවන් වුනේ, දුම් රිය එන හින්දා මහ පාර හරහා තියන ගේට්ටුව වහලා.  වාහන පෝලිමකට අහු වුනා. එතන ට්‍රැක් හතරක පාර, වාහන පෝලිම් දෙකයි.

බිබිල රෝහලේ ඇම්බියුලන්ස් එක අළුත් හයි එස් KDH හයි රූෆ් වෑන් එකක්, WP නොම්මර තියන එකක්. ඊට එහා පැත්තෙ ට්‍රැක් එකට ආවා තව ඒ ජාතියෙම වෑන් එකක්, ඒකත් WP නොම්මර තියෙන්නේ. ජෙට්වින් ට්‍රැවල්ස් එකේ වාහනයක්. විදේශිකයන් පිරිසක් බොහෝම සුව පහසුවට වාවි වෙලා ඒ සී එහෙම දාගෙන. එකම ජාතියේ වාහන දෙකක්, නොම්මරය විතරයි වෙනස්. හැබැයි ඒ දෙකේ යන මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන දේවල් අහසට පොළව වගේ ඇති. අඩි දෙකක පරතරයක්, එකම පාට එකම ජාතියේ වාහන දෙකක් නොම්මරය විතරයි වෙනස් එකක තව විනාඩියක් හරි ජීවත්වෙන්න ජීවිතය විඳවන පිරිසක්, අනෙකේ ජීවිතය විඳින පිරිසක් .( ටොයෝටා කොම්පැනියටවත් මෙහෙම හිතෙන්න නැතිව ඇති ) විදේශිකයෝ අතරින් එක්කෙනෙක් ඇම්බියුලන්ස් දෙකම පොටෝ එකක් ගන්නව මම බලාගෙන හිටියා .
කෝච්චිය ගියා  ඇම්බියුලන්ස් දෙකට යන්න අනික් වාහන ඉඩ දුන්නා, අපි දෙපිරිසම සයිරන් දමාගෙන මහනුවර රෝහල බලා පිටත් වුනා.



Thursday, October 1, 2015

වංසෙ කබල් ගෑම.



මේ කතාව හතරෙ වාට්ටුවේ ඇත්තම සිදුවිමක්.හතරේ වාට්ටුව කියන්නේ කාන්තා වාට්ටුව. එක දවසක රෑ අටට විතර, වයස අසූවක විතර ආච්චි කෙනෙක් වාට්ටුවට ගෙනාවා. හේතුව වමනය යන්න පටන් අරන් හවස ඉඳලා. කලින් ඉඳලා ප්‍රෙෂර් සහ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්. මේ ආච්චිව එක්කගෙන ආවේ ආච්චිගේ ලොකු දුව හා ලොකු දුවගේ මහත්තයා.ලොකු දුවට වයස හැටකට විතර කිට්ටු ඇති.

ආච්චිව බලලා බෙහෙත් එහෙම දීලා, ආච්චිට තනියම ඇවිදින්න එහෙම අමාරු නිසා ළඟ කාටහරි නවතින්න කියලා මම කිව්වා. කාටහරි කියන්නේ ඉතින් ආච්චිගේ ලොකු දුවට ආච්චි ළඟ නවතින්න කියලා තමයි කිව්වේ. දැන් තමයි හොඳම හරිය, සාමාන්‍යයෙන් බහුතරයක් ලංකාවේ මිනිස්සු ලෙඩාට අමාරුවක් තිබුනත් නැතත් බලෙන් ලෙඩා ගාව නතරවෙන්න අහනවා. ඒ මිනිස්සුන්ගේ හිත හොඳකම.
 ඒ වුනාට මේ ආච්චිගේ දුව එහෙම නෑ. මෙයා කැමති නෑ ආච්චි ළඟ නවතින්න. "අනේ ඩොක්ටර් මෙයාට තව දුවලා තුන් දෙනෙක් ඉන්නවා කවුරුවත් බලන්නේ නෑ මම විතරයි බලන්නේ, මමම ඉතින් නතර වෙන්න ඕනේද " " අම්මා කියන්න දොස්තර මහත්තයාට අම්මගේ අනික් දුවලගේ හැටි " කතා ගොඩායි. ඒ අස්සේ ඒ ආච්චි තනියම ඇඳෙන් බැහැලා වැසිකිළියට යන්න හදනකොට වැටෙන්න ගියා, අල්ලගත්තේ ඒ ළඟ හිටපු වෙන ලෙඩෙක්. දුව ඉන්න වෙලාවෙම ආච්චි ඔහොම නම් කවුරුවත් ළඟ නැති වෙලාවක ඇවිදින්න ගිහින් වැටිලා අනතුරක් කරගන්න ඉඩ තියනවා.
ඒකට ටිකක් සැරෙන් මම ආච්චිගේ දුවට කිව්වා "දැන්මම ආච්ච් වැටෙන්න යනවා, අනිවාර්යෙන් කවුරුහරි ළඟ නවතින්න ඕනේ කියලා "
දැන් මේ කතාබහ යන්නේ වාට්ටුව මැද, අනික් ලෙඩ්ඩු ඔක්කොමලා ඇස් කන් විතරක් නෙවෙයි රොයිටර් සී එන් එන් හිටන් ඔන් කරගෙන අහගෙන ඉන්නවා. අම්මයි දුවයි දැන් බැනගන්නවා. අම්මා කියනවා එකෙක්වත් ඕනේ නෑ මම තනියම ඉන්නම් කියලා, දුව කියනවා " තව දුවලා තුන් දෙනෙක් ඉන්නවා එයාලා කවුරුත් එන්නේවත් නෑ  මම ඔක්කොම කරන්න ඕනේ, බෙහෙත් ගෙනත් දෙන්නත් ඕනේ, ළඟ ඉන්නත් ඕනේ කියලා " තව තව කතා ගොඩයි, ඉඩ කඩම්වල මායිම් හිටං අනික් මිනිස්සු දැන ගන්න ඇති.මට නම් මේක හරිම අප්‍රසන්න කතාවක්. ලෙඩක් වුනාම මොන කතාවක්වත් වැඩක් නෑ, ඔය කතා නිදහසේ කවුරුවත් නැති තැනක කළ යුතු පෞද්ගලික කතාවල්. මුළු වාට්ටුවක්ම අහගෙන ඉන්නකොට ඒ අවුරුදු 80 අම්මගෙයි අවුරුදු 60 දුවගෙයි  බැනගැනීම ඉතාම අශෝබනයි.
කොහොමත් මගේ තීරණය අන්තිම තීරණය. ලෙඩා ලඟ කවුරුහරි නවත්තන්න ඕනේ.එච්චරයි. මම ඒ අප්‍රසන්න වාතාවරණයෙන් ඉවතට ගියා. ඇටෙන්ඩන් කෙනෙක් මේ දෙන්නටම "පිළිතුරු දිය යුතු භාෂාවෙන්" මම කිව්වානම් කවුරුහරි ළඟ තියන්න ඕනේ කියලා කියනවා  මට ඇහුනා.

කොහොමහරි බෙහෙත් වලට වමනය යන එක අඩු වුනා.
පහුවෙනිදා උදා වුනා. එදා රෑ අර දුව ආච්චි ළඟ ඉඳලා නෑ. ආච්චිව බලාගෙන තියෙන්නේ වෙන ලෙඩෙක් ළඟ හිටපු කෙනෙක් සහ අපේ වාට්ටුවේ ඇටෙන්ඩන්ලා ටික. පහුවෙනිදා මේ දුව උදේම ඇවිත් තිබුනා. මටති කියලා බලෙන් ටිකට් කපාගෙන ආච්චිව ගෙදර එක්කගෙන ගියා.

යුතුකම් කියලා දෙන්නේ නැතිව හරියට දරුවො හදන්නේ නැති අම්මලාත්, යුතුකම් ඉගෙනගන්නේ නැතිව අම්මලාට නොසලකන දුවලාත් දෙගොල්ලෝම සමාජය ඉදිරියේ අපහාසයට ලක් වීම වලක්වන්න බෑ.