Wednesday, August 19, 2015
ආච්චියි මුණුපුරායි
හතරේ වාට්ටුව කියන්නේ කාන්තා රෝගීන් ඉන්න වාට්ටුව. අගෝස්තු 14 වෙනිදා හතරේ වාට්ටුවට ඕ . පී. ඩී එකෙන් වයස හැත්තෑ පහක ආච්චි කෙනෙක් ඇතුලත් කරලා. ඇතුලත් කරන්න හේතුව තමයි ආච්චිගේ රුධිර පීඩනය හොඳටම වැඩි වීම. මේ ආච්චි කලින් ඉඳලා අධික රුධිර පීඩනයට බෙහෙත් බොන කෙනෙක්. ඉතින් හදිසියේම ප්‍රෙෂර් වැඩි වුනේ මොකද?
දැන් කතාව දහය වාට්ටුව දිහාට හැරෙනවා. දහය වාට්ටුව කියන්නේ පිරිම රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුව. මේ ආච්චි වාට්ටුවට ගෙනෙන්නට පැයකට විතර කලින් අවුරුදු දා හතක විතර කොල්ලෙක් දහයේ වාට්ටුවට ඇතුළත් කරලා. හේතුව තමයි ගැහැණු ළමයෙකුගේ ප්‍රශ්නයක් නිසා සිය දිවි නසාගන්න උත්සහ කරලා. මේ කොල්ලා මැරෙන්න කියලා හිතලා බීලා තියෙන්නේ ආච්චිගේ ප්‍රෙෂර් පෙති ටික. අර නාකි උන්දෑට ක්ලිනික් එකෙන් මාසෙකට බොන්න දෙන බෙහෙත් ටික මේ කොල්ලා හොරෙන් අරන් එක පාර බීලා මැරෙන්න හිතාගෙන.
ඒ කොල්ලාට දහයෙ වාට්ටුවෙන් ප්‍රතිකාර ලැබෙන අතරේ, හතරේ වාට්ටුවේ හිටපු ආච්චිට ප්‍රතිකාර කිරීම ඇරඹුවා. බෙහෙත් දීලා ප්‍රෙෂර් එක පාලනය කරලා එහෙම ආච්චිගෙන් ඇහුවා මොකද වුනේ කියලා. බලාගෙන යනකොට දහයේ වාට්ටුවට ඇතුළු කරලා තියෙන්නේ මේ ආච්චිගේ මුණුපුරා.
කතාව ටිකක් දුරයි. මේ තරුණයාගේ අම්මාගේ අම්මා තමයි මේ ආච්චි. මේ තරුණයා පොඩි කාලේම ඔහුගේ අම්මා මිය ගිහින් තියනවා, ඊට පස්සේ ඒ තරුණයාගේ තාත්තා වෙන කසාදයක් කරගෙන තියනවා, ඒ කුඩම්මා මේ කොල්ලාට හරියට වෙනස්කම් කරලා තියනවා. ඒ කුඩම්මාටත් දරුවෙක් ලැබිලා තියනවා. කාලය ගෙවෙද්දි ඒ කුඩම්මා වෙනත් කෙනෙක් එක්ක පැනලා ගිහින්, මේ තරුණයගේ පියා අධිකව බීමට ඇබ්බැහි වෙලා. බීමට ඇබ්බැහි වුනු ඒ පියා පස්සේ මිය ගිහින් තියනවා.
අන්තිමට ආච්චි මේ මුනුබුරාව හදාගෙන තියනවා.ඉස්කෝලෙ එහෙමත් යවලා. කොහොම කොහොම හරි මේ කොල්ලගෙත් යන්තම් රැවුල එහෙම එන කාලේ වෙනකොට ගෑනු දැරිවියකට හිත ගිහින්, හැබැයි ඒ ප්‍රේම කතාවේ දුෂ්ටයා තමයි ඒ කොල්ලාව පොඩි කාලේ ඉඳලා හදාගත්ත ආච්චි. වැරදිද හරිද කියන්න නම් දන්නේ නා. කොල්ලාගේ අන්තිම තීරණය වෙලා තිබුනේ පෙම් ලොව බාධා හින්දා ජීවිතය නැති කර ගැනීම.
ජීවිතය නැති කර ගන්න මේ කොල්ලා කරලා තිබුනේ ආච්චිගේ මාසයක ප්‍රෙෂර් පෙති ටික එක පාර බිව්ව එක. බෙහෙත් ටික නැති නිසාත් මුණුපුරා කරගත්ත ගොන් වැඩේ හින්දයි අර වයසක උන්දෑගේ ප්‍රෙෂර් එක සෑහෙන්න ඉහළ නැගලා.
කොහොම හරි ආච්චිගේ ප්‍රෙෂර් එක ටිකක් අඩු වුනාම නොන්ඩි ගගහා දහයේ වාට්ටුවට ගිහින් මුණුපුරාව බලලා එනවා මම දැක්කා.
හොඳම වැඩේ ඊටත් පස්සේ, ආච්චි ටිකට් කපාගෙන ගෙදර යන්න කලබලේ ( අගෝස්තු ) 15 වෙනිදාම, මොකද කියල බැළුවම 17 වෙනිදා චන්දේ දාන්න යන්න. විශේෂඥ වෛද්‍ය තුමාටත් ආච්චි කිව්වා යන්න ඕනේ කියලා හේතුවත් එක්කම. ප්‍රෙෂර් එක ඒ වෙන විට අඩු වෙලා තිබුන නිසා ආච්චිව ගෙදර යැව්වා, මේ පාර බෙහෙත් ටික පරිස්සම් කරගන්න කියලත් කිව්වා ගෙදර යනකොට.
(ඇත්ත කතාවක් )
Monday, July 6, 2015
සමහරු මිය යන්නේ වසබී....
මිනිස්සු වස බොන්නේ මැරෙන්න හිතාගෙන. මැරෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා.සිය දිවි නසාගැනීමත් සියදිවි නසාගැනිමට උත්සහ කිරීමත් මානසික රෝගයක්.ඒ කියන්නේ ලෙඩක්, ඒ කියන්නේ බෙහෙත් කරන්න පුළුවන්. බෙහෙත් කරලා උපදේශන සේවයට යොමු කරලා සිය දීවි නසාගැනීමට සිතීම උත්සහ කිරීම හොඳ කරන්න පුළුවන්.
සමහරු මැරෙන්න හදන්නේ කවුරුත් එපා කියලා.හැබැයි ඒ අය මැරෙන්න කලින් ලියුමකුත් ලියනවා ආදරණීය....... වෙතයි කියලා.
මිනිස්සු මැරෙන්න විවිධ ක්‍රම හොයාගන්නවා, ගඟට පනිනවා කෝච්චියට බෙල්ල තියනවා එල්ලෙනවා හැබැයි මේ කට්ටිය ඔක්කොම එකේ වාට්ටුව ගාවින් නතර වෙනවා.එකේ වාට්ටුව කියන්නේ ශල්‍ය වාට්ටුව.
අමහරු වස විස බීලා මැරෙන්න උත්සහ කරනවා, එයාලා තව ටිකක් උඩහට ඇවිත් දහය වාට්ටුවට එනවා. අද කතාව වස බීම හා සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම ගැන.
මිනිස්සු මැරෙන්න හිතාගෙන බොන සමහර දේවල් ඇහුවම හිනා යනවා මුන් මෙච්චර මෝඩද කියලා (හික්ස් එහෙම හිනාවෙන්න හොඳ නෑනේ )
වස බීල වාට්ටුවට ගෙනාවම ඒ ඒ වස හෝ බීපු වර්ගය අනුව කරන ප්‍රතිකාරය වෙනස්, නමුත් මේ හැම එකටම පොදු අංග කීපයක් තියනවා.වස බීපු වෙලාව අනුව බෙහෙත් කිරීම වෙනස් වෙනවා.හොඳට සිහිය තියනවා නම් සබන් වගේ දියරයක් බොන්න දීලා වමනය කරවනවා, නැත්නම් එන් ජී බටයක් දාලා බීපු ද්‍රව්‍ය අවශෝෂණයට කලින් අයින් කරනවා (NG suction). ඊට පස්සේ සක්‍රීය කාබන් (Activated charcoal ) බොන්න දෙනවා එතකොට ඒකට විශ අංශු අධිශෝෂණය වෙනවා.
කතාව ඕක නෙවෙයි.
එක දවසක ආවා අවුරුදු 18 ක කොල්ලෙක්. කොණ්ඩෙ එහෙම අමුතු විදිහට කපලා, මෝස්තර කාරයෙක් වගෙයි බැලූ බැල්මට.මොනවද බීලා තියෙන්නේ. හාපික්. ඔව් ඔව් අර රොජර් සෙනෙවිරත්න ටීවී එකේ ගෙවල් ගානේ ගිහින් ටොයිලට් හෝදන්න කියලා ඇඩ්වටයිස් කරන්නේ හාපික්, ඒවා තමයි. මේ කොල්ලා ළඟදි කෙල්ලෙක් එක්ක යාළු වෙලා, මේකට අම්මා අකමැති වෙලා. අම්මව බය කරන්න මැරෙන්න තමයි හාපික් බීලා තියෙන්නේ.
දැන් අර යාළුවෙච්ච කෙල්ල හින්දි පිචර් එකක වගේ කඩාගෙන බිඳගෙන අඬාගෙන හොටු පෙරාගෙන කොල්ල බලන්න දුවගෙන එයි කියලානේ හිතන්නේ? ඇවිත් උකුලේ ඔළුව තියාගත්තම කොල්ල අන්තිම වචන ටික කියලා මැරෙයි කියලානේ හිතන්නේ. ....... තමයි. අර අහිංසක අම්ම තමයි බත් එකත් අරගෙන පුතංඩියා බලන්න එන්නේ.හාපික් බිව්වට මැරෙන්නේ නෑ සාමාන්‍යයෙන්. (බඩේ පණුවො නම් මැරුනද දන්නේ නෑ ) ඉතින් මේ කොල්ලව අපි මනෝවෛද්‍ය ප්‍රතිකාර වලටත් යොමු කරලා යහතින් ගෙදර යැව්වා.ඒකාටම ලැජ්ජයි අන්තිමට කරපු දේ ගැන
දෙවැනි කතාව,
මේක වුනේ රෑ 11ට විතර. ඇමතුමක් ආවා. ගිහින් බලනකොට අවුරුදු 16 ක කොල්ලෙක්. ඉස්කෝලෙ යන කොල්ලේක් ගෑනු ළමයෙක්ගේ සම්බන්ධයකට ගෙදරින් විරුද්ද වුනා කියලා පැනඩෝල් (පැරසිටමොල් ) බීලා. මේක නම් සෙල්ලමක් නෙවෙයි. පැනඩෝල් යම්කිසි ප්‍රමානයකට වඩා බීම මාරාන්තිකයි. ඊට අඩුවෙන් බිව්වම අක්මාවට හොඳටම හානිකරයි.එතකොට ටික ටික ලෙඩ වෙවී මැරෙන්නේ විඳවලා. ( මේ ප්‍රමාන කියන්නේ නැත්තේ හිතාමතාමයි ) මේ කොල්ල අවිත් තිබුනේ අම්මයි තාත්තයි අක්කයි එක්ක. අම්මයි තාත්තයි හොඳවයින් කොල්ලට අමතනවා.මනෝ උපදේශනය උපරිමයට දෙනවා. අක්ක අඬනවා, මල්ලිට බනින්න එපා කියනවා. අක්ක විතරයි කිව්වේ අනේ ඩොක්ටර් මල්ලිව බේරලා දෙන්න කියලා. අවශ්‍ය ප්‍රතිකාරය කළා, සෙල්ලමට පොඩි දේටත් පැනඩෝල් බීලා ආවම පන බේරලා හෙන්න දෙන බෙහෙත් ටිකට ආණ්ඩුව ලක්ෂ ගනනක් වියදම් කරනවා කියලා මේ බොන අයට අපි යනකොට මතක් කරලා දෙනවා.අන්තිමට බලාගෙන ඉන්න බැරි තැන මේ කොල්ලගේ තාත්තට මම කිව්වා දැන් බැන්නා ඇති අපිට බෙහෙත් කරන්න දීලා යන්න කියලා. වස බොනකම් හදාගන්න බැරි උන එකාව මහ රෑ බීලා ආවම හදන්න හදනවා. කොහොමත් මේ කොල්ල දවස් ගනනක් වාට්ටුවේ හිටියා, හැමදවසකම වගේ බලන්න ආවේ අක්කා විතරයි. ටිකට් කපලා යනකොටත් අක්කා තමයි මල්ලිව එක්කගෙන ගියේ. ඉතින් කොල්ල වස බොන්න ඇත්තේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දෙමව්පියෝ දරුවන් ගැන මීට වඩා උනන්දුවෙන්න ඕනේ කියල මට හිතුනේ.
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු (ඉස්පිරිතාලෙට අපි එකට යමූ )
පේමයෙන් මන රංජිත වූ නන්දිත වූ අවුරුදු 16ක ඉස්කෝලෙ යන ජුලියට් කෙනෙක් හා ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා රස්සාවකුත් කරන 18ක රෝමියෝ කෙනෙකුයි, ගෙවල් වලින් අකමැති කියලා, පෙම් ලොව බාධක හින්ඳා මතු සංසාරේ උපදීවා අප මතු අත් භවයක මිනිස් හඬින් තොර පාළු දූපතේ කියලා කොල්ලා මල්ලිගේ පෙනිසිලින් ටික බීලා (මල්ලි රුමටික උනට පෙනිසිලින් බොන කෙනෙක් ) කෙල්ල පිරිටන් 10ක් බීලා මැරෙන්න හිතාගෙන. දෙන්න ගැහැනු හා පිරිමි වාට්ටු දෙකට වෙන වෙනම ගෙනත් දැම්මා.ප්‍රතිකාර ටික කෙරුනා. ඉතින් දෙපාර්ශවයේ නෑදෑයෝ නැකැත් එහෙම වාට්ටුවේදීම මාරු කරගන්න ඇති කියලා මට හිතුනා. දෙගොල්ලෝ මංගල කටයුතු ඔක්කොම වාට්ටුවේදීම කතා බහ කර ගන්න ඇති. :D
මේ කියන දේවල් නිකම් විහිළු වගේ කිව්වට මේ ලෙඩ්ඩු ඉස්සරහ බොහෝම සීරියස්, මොකද කියල කියනවා නම් සියදිවි නසාගැනීම හෝ උත්සහ කිරීම මානසික රෝගයක්. රෝගයකට හිනාවෙන්න හොඳ නෑ.ඒකට බෙහෙත් කරන්න ඕනේ.මානසික වෛද්‍ය සායනයටත් යොමු කරවලා මේ පිරිඅ ගෙදර යැව්වම ආපහු මෙහෙම දෙයක් නොකරගනී කියල පොඩි හරි විශ්වාසයක් අපිට තියනවා.
Sunday, July 5, 2015
ගමන
තවත් දවසක්, දහය වාට්ටුවේ කලබලකාරී උදෑසනක්.අවුරුදු තිස් ගානක එක් දරු මවක් බොහොම කළබලයෙන් ට්‍රොලියක පටවාගෙන ඇවිත් වාට්ටුවට ඇතුලත් කළා. කලින් මීමැස්මොරය ( Epilepsy) රෝගයට බෙහෙත් ගත්ත කෙනෙක්, බෙහෙත් නවත්තලා අවුරුදු දහයක් විතර , ෆිට් එක්ක ඇවිත් නෑ අවුරුදු දහයකටම, ආපහු එදා පාන්දර ෆිට් එකක් ඇවිත්.
කොහොම හරි ලෙඩාට අවශ්‍ය ප්‍රතිකාර කලා, වාට්ටුවේ ඉන්නකොට ආපහු ෆිට් එකක් ආවේ නෑ.විශේෂඥ වෛද්‍යතුමා මේ රෝගියා බලලා ඊ ඊ ජී පරීක්ෂණයක් කරගන්න කියලා උපදෙස් දීලා අයදුම්පතකුත් අත්සන් කරලා දුන්නා.
එදා දවස ගෙවිලා ගියා. හවස ලෙඩාව බලනකොටත් කිසි ප්‍රශ්නයක් නෑ, හොඳට කාලා බීලා ලෙඩා නිදා ගන්නත් ලෑස්ති වෙනවා.
වාට්ටුවේ වැඩ ටික ඉවර කරලා නිලනිවසට (කාමරයට ) ගියා, රෑ දහයට විතර මෙන්න ආපහු වාට්ටුවෙන් කතා කරනවා. මේ ලෙඩාට ෆිට් එකක් ඇවිත්. මගේ කාමර සගයා තමයි එදා ඔන් කෝල් (ඒ කියන්නේ ඇමතුමකදි වාට්ටුවට මුලින්ම වාර්තා කරන්න ඕනේ ) යාළුවා එක්ක මමත් ගියා ලෙඩා බලන්න. ෆිට් එකක් ඇවිත් තමයි. අදාල හදිසි ප්‍රතිකාරය දුන්නට පස්සේ වැඩේ හරි.
කතාව පටන් ගන්නේ ඊට ගොඩක් පස්සේ. පාන්දර තුනට විතර ආපහු මේ ලෙඩාට ෆිට් එකක් ඇවිත් , ඒක ලේසියෙන් නැවතිලා නෑ. බෙහෙත් වලට නැවතිලත් නෑ, ජේෂ්ඨ වෛද්‍ය නිළධාරි අයියත් ඇවිත් බැලුවා, හරි ගියේ නෑ, අන්තිමට විශේෂඥ වෛද්‍යතුමියටත් කතා කරන්න වුනා, ඒ උපදෙස් අනුව වැඩ කරලත් ෆිට් එක නැවතුනේ නෑ, අන්තිම පියවරට යන්න සිදුවුනා, ඒ තමා ලෙඩාව සිහි නැති කරලා කෘතිම ස්වසනය නලයක් මගින් දෙන්න, සමහරවිට ඔබ දැකලත් ඇති ඇම්බු බෑග් (Ambu) කියලා බෝලයක් වගේ එකක් මගින් කෘතිම ස්වසනය දෙනවා. බෙහෙත් කීපයකුත් දිගටම යනවා, දැන් යන්තම් ෆිට් එක පාලනය වුනා. වැඩ කරන එකම මොනිටරයක්වත් නැතිව, ඕන කරන බෙහෙත් වාට්ටුවේ හරියට නැති හින්දා ඉස්පිරිතාලේ වාට්ටු ගනනේ ගිහින් ඉල්ලගෙන ඇවිත් හදිසි තත්වයක් පාලනය කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි, කාඩියැක් මොනිටර් (Cardiac monitor) එහෙම හරියට වැඩ කරන්නේ නෑ, ඒවා සපයන්න ලොකු තැන් වලට උවමනාවකුත් නෑ, බොහෝම අඩුපාඩු මැද කාර්යමණ්ඩලයේ කැපවීම මත ලෙඩ්ඩු බේරෙනවා. ඉතින්
මෙහෙම බටයක් දාලා වාට්ටුවේ දිගටම කෘතිම ස්වසනය දිදී තියාගන්නත් බෑ, ඒකට දැඩි සත්කාර ඒකකයකට යවන්න ඕනේ යාන්ත්‍රිකව කෘතිම ස්වසනය දෙන්න.
විශේෂඥ වෛද්‍යතුමියත් කොහොම හරි පාන්දර 5.30 විතර වෙනකොට ආවා. දැන් හතර අතේ කතා කරනවා අයි සී යූ ඇඳක් හොයාගන්න. කොහොම හරි අන්තිමට නාවලපිටිය රෝහලේ ඉඩක් තියනවා කියලා හොයාගන්න පුළුවන් වුනා. පොඩි ප්‍රශ්නයක් නැත්තෙමත් නෑ. ඒ මොකද කියනවා නම් මේ ලෙඩාගේ සී ටී පරීක්ෂණයක් එහෙමත් කරන්න වෙනවා.එතකොට මහනුවර හරි පේරාදෙනියේ අයි සී යූ එකක හිටියා නම් වැඩේ ලේසී.
කොහොම හරි විශේෂඥ වෛද්‍යතුමියගේ කැපවීම මත අන්තිමට මහනුවර මහ රෝහලේ අයි සී යූ එකේ ඇඳක් හිස් කරලා ලබාගන්න පුළුවන් වුනා. දැන් ලෙඩාව නුවර ගෙනියන්න හදන්නේ. වෙලාව උදේ හය හමාර විතර ඇති.ලෙඩ්ඩු බලන්න නෑදෑයෝ එන වෙලාව. ලෙඩාගේ සැමියත් ලෙඩාව බලන්න ඇවිත්.මේ ලෙඩාගේ සැමියාගේ මූන බලන්න බෑ, මොකද කියනවා නම් දුක වගේම අවිනිශ්චිතතාවයකින් මූන පුරවාගෙන අහස උසට ලොකු බලාපොරොත්තුවකින් බිරිඳගේ ජීවිතය අපේ අතට බාරදීලා නිහඬව බලාගෙන ඉන්නවා. කොහොමහරි මේ ලෙඩාව ඊට පස්සේ ගිලන් රථයෙන් ගම්පොළ ඉඳලා මහනුවරට ගෙනියනවා. දිගටම කෘතිම ස්වසනය දෙන ගමන් තමයි යන්නේ.
ගිලන් රථය එළි දල්වාගෙන සයිරන් නාද කරගෙන යනවා. මග දිගට මිනිස්සුන්ගේ නොමිනිස් හැසිරීම් දැක්කම කෝපයක් ඇතිවෙන එක වලක්වන්න බෑ.පාරේ බහුතරයක් ත්‍රීවීල් කාරයන්ට නම් කිසි ගානක් නෑ.ඇම්බියුලන්ස් එකක් ලයිට් විතරක් දාගෙන යනවා කියන්නේ අමාරු ලෙඩෙක් ගෙනියනවා හැබැයි ගොඩාක්ම අමාරු නෑ ලොකූ හදිසියක් නෑ.සයිරන් එකත් දාගෙන යනවා කියන්නේ හොඳටම අමාරු ලෙඩෙක් ඉතාම හදිසි කියන එක.(අනික් තැන්වල කොහොමද දන්නේ නෑ, හැබයි ගම්පොල නම් ඇම්බියුලන්ස් රියදුරු මහතා ඒ යන වෛද්‍යවරයාගෙන් අහනවා සයිරන් එක දාන්න ඕනේද කියලා )දෙපාරක් හිතන්න එපා කොච්චර හදිසි වුනත් කමක් නෑ අයින් කරලා පාරේ ඉඩ දෙන්න. සමහරවිට ඔබ නොදැනුවත්වම ඒ ඇම්බියුලන්ස් එකේ යන්නේ ඔබේ ආදරණීයයෙක් වෙන්නත් පුළුවන්.
ඇම්බියුලන්ස් එකක් එනවා දැක දැකත් කහ ඉරෙන් ලතාවට පාර පනින මිනිස්සු, වෙට්ටු දාන ත්‍රීවිල් කාරයෝ වගේම සුපිරි ජීප් රථයක, නලා හඬවලත් ඉඩ නොදුන් කිසිදා රෝගී නොවෙන මිනිසාත් හැරුනම ඉඩ දුන්න හැමෝටම පින් දීලා අපි මහනුවරට ආවා.
මහනුවරට දැන් රෝගියාව ඇතුලත් කළා.මහනුවර හදිසි ප්‍රතිකාර ඒක්කයේදී රෝගියාව පරීක්ෂා කළා, හදිසි සී ටී පරීක්ෂණයක් හා ඊ ඊ ජී පරීක්ෂණයක් කරන්න සැලසුම් කළා. මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ලෙඩාව අපි අරගෙන ගියා තමයි, දැන් මහනුවරින් බාරගෙන තියෙන්නේ, හැබැයි ලෙඩාව සීටී පරීක්ෂණයට ගෙනියන්න කවුරුත් නෑ. ඒකට මහනුවර රෝහල් කාර්යමණ්ඩලය එන්නේ නෑ. අපේ කට්ටියටම ලෙඩාව මේ හැම තැනටම එක්ක යන්න වුනා. කෘතිම ස්වසනය දෙන ලෙඩෙක් තනියම යවන්නත් බෑ, හදිසියක් වුනොත් කියලා වෛද්‍යවරයෙකුත් යන්න ඕනේ.
කොහොම කොහොමහරි ඔය පරීක්ෂණ ඔක්කොම ඉවර කරලා අයි සී යූ එකට ලෙඩාව දානකොට දවල් එකොළහත් පහු වෙලා.පාන්දර ඉඳලා දඟලලා දඟලලා කොහොමහරි ලෙඩාඅගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වුනා. මෙතන කාර්යමණ්ඩලයෙන් නේවාසික වෛද්‍යවරයා වන මම විතරයි පාන්දර ඉඳලා ලෙඩා එක්ක ඉන්නේ, නර්ස් නෝනයි ඇටෙන්ඩන්ලා දෙන්නයි උදේ වැඩට ආව අය.
උදේ පාන්දර ඉඳලා මේ ලෙඩා එක්ක ඔට්ටු වෙලා අන්තිමට අයි සී යූ එකට නිරුපද්‍රිතව ගෙනත් බාර දුන්නට පස්සේ මහන්සියයි බඩගින්නයි එක්ක එලියට එන්න හදනකොට මේ ලෙඩාගේ ලඟ උදේ ඉඳන් හිටපු අක්කා මට කතා කළා. "ඩොක්ටර් ගොඩක් පින් කරපු හැමදේටම, උදේ ඉඳලා මහන්සි වුනා, වතුර ටිකක්වත් නෑ නේද,යෝගට් එකක් තියනවා කන්න සර් " කියලා කිව්වා. ඒ වචන ටිකම ඇති බඩ පිරෙන්න. සමහර විට ඒක මේ ලෙඩාට ගෙනාව යෝගට් එක වෙන්න ඇති. මම ඒක එපා කියලා පින් දුන්නට ස්තූති කරලා, ඒ පින කලින් දවසේ නිදිමරාගෙන මේ ලෙඩාව බලපු මගේ මිතුරාටත් ජේශ්ඨ වෛද්‍ය නිලධාරී අයියාටත් , පාන්දරම ඇවිත් වැදගත් තීරණ ඉක්මනින් ගත් විශේෂඥ වෛද්‍යතුමියටත් අනුමෝදන් කරලා එන්න පිටත් වුනා.
Monday, June 8, 2015
හයේ වාට්ටුවේ අන්තිම කතාව
මේ තැනැත්තිය අවුරුදු දහ අටයි, පළවෙනි බබා හම්බවෙන්න බලාපොරොත්තුවෙන් වාට්ටුවේ නැවතිලා හිටියේ. බබා ඉපදුනා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. දැන් ටිකට් කපලා ගෙදර යන්න ඉන්නේ. හැබැයි ටිකට් කැපුවාට ගෙදර යන්න දෙන්නේ බබාගේ උප්පැන්න ලියාපදිංචි කලාට පස්සේ. එහෙම කරන්නේ ගොඩක් අය උප්පැන්න ලියාපදිංචි කරගන්න උනන්දුවක් නෑ, ඔහේ ගෙදර යනවා. ළමයාගේ උප්පැන්න මතක් වෙන්නේ ඉස්කෝලෙ දාන්න මතක් වුනාම. එතකොට ඇවිත් වාට්ටුවේ කරදර කරනවා පරණ වාර්ථා හොයලා දෙන්න කියලා. ඒක කරන්න බැරි වැඩක්.ළමයාගේ උප්පැන්න ලියාපදිංචි කරන්න අම්මගෙයි තාත්තගෙයි හැඳුනුම්පත් විවාහ සහතිකය වගේ ලියකියවිලි අවශ්‍ය වෙනවා.
දැන් ඉහත කී අම්මාව ටිකට් කැපුවට ගෙදර යන්න විදිහක් නෑ, දරුවාගේ උප්පැන්න හදාගන්න විදිහක් නෑ.බැලින්නම් මේ අම්මට හැඳුනුම් පතක් නෑ (අයිඩින්ටිටි කාඩ් එකක් නෑ ) ගෙදර අමතක වුනාද ඇහුවා, නෑ මට අයිඩින්ටි කාඩ් එකක් නෑ කියලා මේ අම්මා උත්තර දුන්නා. මගේ දෙවනි ප්රශ්නය, උපන්දිනය කවද්ද? "මම හරියටම දන්නේ නෑ 1995 කියලා කිරිඅම්මා කියල තියනව ඉස්සර" .
මේ අම්මගේ නොකී කතාවක් ඒ උත්තරය
කතාව මේකයි, මේ අම්මාගේ අම්මයි තාත්තයි නිතරම ගෙදර අඬදබර තිබිලා තියනවා, මේ කතා නායිකාවගේ දෙමව්පියන් කුළී වැඩ කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ පියා බීමට බොහොම තදින්ම ඇබ්බැහි වෙලා ඉඳලා තියනවා. පොඩි කාලේ හරියට කෑමක් බීමක්වත් තිබිලා නෑ.කන්න බොන්න දෙන්නේ නැති අඩදබර තිබුනු ඒ නිවසේ මේ දරුවන්ගේ උප්පැන්න සහතික ගැන කවුරු හොයන්නද? කොහොමහරි කිරිඅම්මා මැදිහත් වෙලා ගමේ පොඩි ඉස්කෝලෙට මේ තැනැත්තියව යවලා තියනවා. මේ කතා නායිකාවට මල්ලි කෙනෙකුත් ඉන්නවා. හැඳි නොගා හදන හොද්දයි තව මොකද්දෝයි හරියට හැදෙන්නේ නෑ කියනවා වගේ ඒ මල්ලි හොරකමකට අහුවෙලා මේ වෙනකොට ඉන්නේ හිරේ ලු.
කාලය ගතවෙනකොට ඒ ගෙදර තත්වය එන්න එන්නම නරක් වෙලා තියනවා. බීමත් පියා ඒ ගෙදර අපායක් කරලා තියනවා. මේ කතා නායිකාවට වයස පහලොව විතර වෙද්දි ඒ බීමත් පියා මිය ගිහින් තියනවා. ඊට පස්සේ මේ තැනැත්තියගේ මව ආපසු කසාදයක් කරගෙන. ඒත් වැඩි වෙනසක් නෑ, ඒ මිනිහත් බේබද්දෙක්, ගොඩක් කරදර වලින් මේ දැරිවිය බේරගෙන තියෙන්නේ කිරි අම්මා. ටික කාලෙකින් කිරි අම්මත් මේ ලෝකේ හැරගිහින්. බේබදු බාප්පයි, දරුවගේ උපන්දිනයවත් නොදන්න අම්මයි බීමට ටික ටික හුරුවෙන මල්ලි කෙනෙකුයි එක්ක ඉන්නකොට අර මිහිපිට අපාය මෙහිම ඇත කියලා කව්දෝ කියපු එක මතක් වෙන්නත් ඇති. කොහොම කොහොමහරි ආර්ථික තත්වයත් හොඳටම නරක්වේගෙන ඇවිත් තියනවා .
මේ කතානායිකාවත් දැන් ගෙදරට බරක්වේගෙන ඇවිත් තියනවා. ඉස්කෝලෙ යනවා ඒකත් ඉඳහිට, ඊට වඩා හොඳයි කසාදයක් කරලා දුන්නොත් කියලා ඒ අම්මටයි බාප්පටයි හිතිලා තියනවා. ඉස්කෝලෙ ගමන මගදි නවත්තලා කසාදයක් කරලා දීලා. අඩුමගානේ සාමන්‍යපෙළ වත් කලා නම් අඩුමගානේ අයිඩින්ටි කාඩ් එකක්වත් හැදෙයි.
ඔන්න ඕකයි කතාව. හොඳ පැත්ත තමයි ත්‍රීවීල් රියදුරෙක් වන මේ තැනැත්තියගේ සැමියා මැයව හොඳින් බලාගන්න එක. මේ කතාව කියලා ඉවරවෙනකොට මේ අම්මා අලුත උපන් දුවත් ඔඩොක්කුවේ තියන් ඉකි ගසා අඬනවා.
මේ අම්මගෙන් මම අන්තිමට එක ප්‍රශ්නයක් ඇහුවා. "අම්මට විශ්වාසද ඔයාට වුනු දේ දරුවට නොවෙන්න බලාගන්න පුළුවන්ද කියලා ?" මේ අම්මා කිව්වා "ඔව් සර් මොනවා වුනත් මගේ දුවට හොඳට උගන්වනවා, මහත්තයත් ඉස්කෝලෙ ගිහින් නෑ, ඒ වුනාට එයා බොන්නේ නෑ, ඒකම මට ඇති "
මගේ අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න ඕනේ කියලා හයේ වාට්ටුවෙන් නික්මිලා දහයේ වාට්ටුවේ වැඩ බාර ගන්නකොට මට අන්තිමට ආයෙත් හිතුනා.
Monday, May 25, 2015
තට්ටයාගේ බබා
මැද මෙන් මුලද හිසකෙස් තරමින් අඩුවූ
දුටු විට දසන් විහිදා මදහස දැක්වූ
හමුවී මදක් දොඩනට මා හට සිත් වූ
නමක් නොදත් තට්ටය මට මතක තිබූ
තට්ටය එන තුරුම කල් යල් බලා සිට
පලවෙනි දුවව ලැබුමට රෝහලට හෙට
බිරිඳත් කැටුව විත් අත් බැඳ නමා හිස
තට්ටය නිසා ඒ රුව මට මතක ඇත
දරුවා ලැබුනු පසු දොළහේ කනි සමට
පළමුව දිව ඇවිත් පෙන්වා සතුටු සිත
මල්ලක් පුරා අළුතින් රෙදි පිළිද ගෙන
හේතු නැතත් ඒ තට්ටය මතක ඇත
සවසද හනික දිව විත් පහ වැදුනු විට
නලවා දුවව ඔසවා අත ගගා හිස
කළුවන් කෙසඟ නිල්වන් නෙත බලා සිට
පිය පදවියකි සතුටින් තට්ටයට යට
Wednesday, April 22, 2015
වමනය
මිලත් අගනා තැනත් අගනා
බොජුන් උයනා රජුන් බුදිනා
කුසත් පිරෙනා තවත් සොයනා
සිතක් පිරෙනා තරම් බුදිනා
පුරනා තරම් බස් රථයක මහ සෙනඟ
ගුගුරා අහස කළු කරනා ලෙස දැනින
විඳිනා නොහැකි ලෙස දැනෙනා කුස රිදුම
උතුරා ගලන ලෙස පුපුරා වැව් බැම්ම
දෑසම උඩට ඇදුනා නොදැනී ඉහල
හුස්මත් පහළ නොයවා සිරවුන තරම
හේවිසි බෙර නැටුම් පෙරටුව මග ගමන
ඇදුනා ඉහල රජ බොජුනම යනු පිටත
මහ හඬ නගා රජ බොජුනකි බිම වැඩිය
මදහස නඟා උදරය හෙමිහිට කියන
රජ හට වුනත් හිමි නැතිනම් රජ කිරුල
පොළවට වැටෙයි එම විට සැනසෙයි සැවොම
යමහල
පොළව මත්තෙහි නොම පෙනී
කැකෑරී යට උනු වෙවී
මුවින් ලාවා විසි වෙවී
පිට කලා යමහල ගිනි
මවා හැඩ තල යට ගිනි
ලාවා ගොසින් ගල් වුනි
වියරුවෙන් උන් වද විඳි
යමහල දැන් තුටින් නිදි
ඉක්මවා ගොසින් සීමා
වද දුන් පසු යවා ලාවා
දැනෙන සුව මෙතෙක් වේවා
කියා යමහල සිනා පෑවා
Saturday, April 18, 2015
වීදුරු කටු
යකඩ සපත්තුවෙන්
හැමදාම පාගන
දූවිල්ල අතර
ඉඳ හිට
වීදුරු කටු
ඇති බව
යාන්තමට
ලේ බිඳුවක්
යටි පතුලෙන්
නොදැනුනත්
එළි බහින බව
පෙනෙනතුරු
නොසිතෙන අන්දම
හැමදාම පාගන
දූවිල්ල අතර
ඉඳ හිට
වීදුරු කටු
ඇති බව
යාන්තමට
ලේ බිඳුවක්
යටි පතුලෙන්
නොදැනුනත්
එළි බහින බව
පෙනෙනතුරු
නොසිතෙන අන්දම
Tuesday, April 14, 2015
අළුත් අවුරුද්ද 2015
ජීවිතේ පළවෙනි වතාවට අළුත් අවුරුදු දවසේ ගෙදර නොසිට වැඩට ආවා. ඇයි අනේ මම විතරක් වැඩට යන්නේ, අනික් හැමෝම ගෙදරට වෙලා අවුරුදු සමරනවා.වැඩට යන්න බෑ කියලාමයි හිතුනේ. උදේ අවදිවුනාම ගෙදර ඉන්නමයි හිතුනේ.අවදිවෙන්න පරක්කු වුනාම තාත්තා ඇවිත් නැගිටින්නේ නැදද කියලත් ඇහුවා. උදේ හයට කිට්ටු කරලා අවදි වුනාම අම්මා උදේටයි දවල්ටයි කන්න බත් උයලා, ඒ මදිවට අනික් නේවාසික වෛද්‍යවරු හතරදෙනාටත් අතිවෙන්න බත් මුල් දෙකකුත් බැඳලා. අද අපේ චමරියේ කෑම උයන කෙනා නිවාඩු නිසා අම්මාගේ බත් මුල් දෙක කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. ඒ එක්කම කැවුම් උඳුවැල් ආදී රස කැවිලි පාර්සලයකුත් ඔතලා. දැන් නම් කොහොමත් වැඩට යන්නම වෙනවා.
වෙනදාට මහපාරේ අයිතිකාරයෝ වුනු පෞද්ගලික බස් ඔක්කොම පාර අයිනේ නිදි, මහපාරේ සින්නක්කර ඔප්පු තිබුන ත්‍රීවිල් ඇත්තෙම නැති තරම්. වාහන ඔක්කොම වගේ අත්‍යවශ්‍ය සේවා වලට යන උදවියගේ. මහපාරේ බොහෝම සංවරව වාහන යනවා.
කොහොම කොහොමහරි ගම්පොළ ශික්ෂණ රෝහලට උදේ අටට කලින් ආවා. කියන්න හදන කතාව පටන් ගන්නේ දැන්. මුලින් කී ඔක්කොම වල්පල්. නවයේ වාට්ටුවේ කතාවක්. නවය වාට්ටුව කියන්නේ නාරිවේද (gynecology) වාට්ටුව. වාට්ටුවේ හිටියා සති විසි හයක දරු ගැබක් සහිත අම්මා කෙනෙක්, මෙයා ඇවිත් තිබුනේ බඩ රිදෙනවා කියලා. ස්කෑන් එකක් එහෙම කරලා තිබුනා, බබා හොඳට හිටියා. හැබැයි බඩේ අමාරුව එන්න එන්නම වැඩි වුනා. අන්තිමට මේ අම්මා නියමිත කාලයට පෙර සිදුවෙන ප්‍රසූතියකට ගියා.[Preterm delivery නියමිත කාලයට පෙර ප්‍රසූතිය කියන්නේ අඩු සති ගනනකින් දරුවා ඉපදීම, ඒ සඳහා විවිධ හේතු තියනවා, සමහර හේතු වලට ප්‍රතිකාර කරන්න බෑ. අනික තමයි ලංකාවේ නොමේරු ළදරු ඒකකයක (SBU Special Baby Unit) දාලා බේරගන්න පුළුවන් අඩුම වයස සති විසි අටෙන් උපන් දරුවන්. අද උපන් දරුවා සති විසි හයයි. අතිශය නොමේරූ ළදරුවෙක් (Extreme Preterm). පොතේ හැටියට ලංකාවේ නොමේරූ ඒකකයක ප්‍රතිකාර කරන්න බැරි තරම් පොඩියි. හැබැයි එහෙම කිව්වට නොමේරූ ළදරු ඒකකවලින් ඉඳලා හිටලා සති විසි හයේ හතේ දරුවෝ නිරෝගීව පිටවුනු අවස්ථා නැතුව නෙවෙයි ].
මේ අම්මා දැන් දරුවා ප්‍රසූත කරන්න යන්නේ, හැබැයි සති විසි අටට අඩුයි, ඒ වගේම ඉක්මනින් ප්‍රසූතියකට ගියා (Preterm delivery), සූතිකාගාරයට ගෙනියන්න ගියා නම් දරුවා බිහි වෙන්නේ මගදි ට්‍රොලියේ. පොඩිම පොඩි දරුවෙක් නිසා ප්‍රසූතිය ඉක්මනින් අමාරුවක් නැතිව සිදු වුනා. කතාවේ වැදගත්ම හරිය.මේ වාට්ටුවේ නර්ස් නෝනලා සූතිකාගාර පුහුණුව ලබපු අය නෙවෙයි. ඒ වගේම මේ වාට්ටුවේ මිඩ් වයිෆ්ලා නෑ [මතකයි නේද කාලයකට කලින් ඔය දෙගොල්ලො අතර සූතිකාගාර පුහුණුව ගැන තිබුන ගැටුම. උන් ඕනේ කියනවා, මුන් එපා කියනවා ] එතකොට මේ වාට්ටුවේ මේ සම්බන්දයෙන් ඉන්න වගකිවයුතු හා සුදුසුකම් සහිත එකම කෙනා මේ මම විතරයි.
කොහොමින් හරි ප්‍රසූතිය සිදුවුනා. සති විසි හයයි.බබා පොඩ්ඩක් දඟලනවා. අම්මගේ උදරය මතට දරුවාව ප්‍රසූත කලා. හැබැයි නර්ස් නෝනලා බොහෝම හොඳට උදව් කළා.ජීවානුහරිත රෙදි දාලා දීලා එහෙම හරියට උදව් කළා. බබා හොඳට හුස්ම ගන්නේ නෑ, පපුවත් වැඩ නෑ, බබා ඇඬුවෙත් නෑ.කකුල පොඩ්ඩක් හොල්ලනවා වගේ පේනවා. වහාම බබාට පපුවට පීඩනය යොදලා (Cardio pulmonary resuscitation ), ඔක්සිජන් දීලා බැලුවා. ඇත්තටම කියනවා නම් උත්සහයක් පමනක් වීමට බොහෝ දුරට ඉඩ ඇති වැඩක් තමයි මම මේ කරන්නේ. ටික වෙලාවකින් මෙන්න මේ බබාට පොඩි කැස්සක් ආවා. මෙන්න ටිකකින් හුස්ම ගන්නවා, පොඩි ඇඬුමකුත් ආවා.එච්චර හොඳ ඇඬුමක් නම් නෙවෙයි, හැබැයි හිටපු හැටියට සෑහෙන හොඳ දියුනුවක්.
වහාම ළදරු ඒකකයට කතා කළා. බබාගේ වෙලාව හොඳයි, කවදාවත් අහන වෙලාවට ඉඩ නෑ කියන නොමේරු ළදරු ඒකකයේ ඉන්කියුබේටරයක්ම ඔන්න තියනවලු.
ජීවානුහරිත රෙදිකඩක ඔතපු යාන්තම් හුස්ම ගන්න කිලෝ එකකටත් අඩු, යන්තම් පන ගට ගහගන්න වෙර දරන, තවත් මනුස්ස පරාණයක් දෑතින්ම උස්සගෙන ළදරු ඒකකයට දුවනකොට, ඇටෙන්ඩන් කෙනෙක් ඔක්සිජන් සිලින්ඩරය තල්ලු කරගෙන දුවගෙන ආවා, නර්ස් නෝනා කෙනෙක් ඔක්සිජන් මුහුනු වැස්ම නොගැලවෙන්න අල්ලගෙන දුවගෙන ආවා.
බබාව ළදරු ඒකකයේ ඉන්කියුබේටරයකට දැමුවා. බබාව බාරදීලා වාට්ටුවට ආවා, මේ දරුවාගේ අම්ම මම බලාපොරොත්තු වූ ප්රශ්නය ඇහුවා. "බබාට කොහොමද ? " අමාරුම නමුත් ඇත්ත උත්තරයක් දුන්නා. "දැනට මොකුත් කියන්න බෑ, බබා ගොඩක් පොඩියි, අපිට තාම බබා ජීවත් වෙයි කියලා 100% සහතිකයක් දෙන්න බෑ. අපි බලමු" කියන්න ලේසියි, නමුත් අම්ම කෙනෙකුට මේක දරාගන්න ගොඩක් අමාරුයි.
නොමේරූ ළදරු ඒකකයට හවස ගිහින් බලනකොට නම් ඒ බබා හුස්ම ගන්නව සුදුමැලි පාටත් ටිකක් අඩු වෙලා ටිකක් හොඳයි. හවස නවයේ වාට්ටුවට ගිහාම මේ බබාගේ අම්මා හොඳ හිනාවක් එක්ක හිටියා.ලොකු ස්තූතියක් පුද කළා, ඉක්මනින් උදේ බබා බේරගන්න (14.04.2015 හවස මේක ලියනකම් ) කටයුතු කලාට. නමුත් මම ඒ ස්තූතිය බාරගන්න ඉක්මන් වෙන්නේ නෑ. ඒකට හේතුව තවම මේ බබා ජීවත්වෙයිද කියලා 100% විශ්වාසයක් නෑ. කොහොම වෙතත් සොබාදහම එච්චරම අකාරුණික නෑ කියලයි මගේ විශ්වාසය.
සොබා දහම ටිකක් කපටියිත් එක්ක, ඒ මොකද කියනවා නම් ජීවිතය ටිකක් පසුපසට යන්නට හිතෙනකොට එහෙම වෙන්න නොදී ඉදිරියටම ගෙනියන්න මොකක් හරි උප්පරවැට්ටියක් ගහන නිසා. උදේ පාන්දර මට දැනුනු කම්මලිකම, නිවාඩු දවසේ වැඩට යාමට වීම නිසා ඇතිවූ අප්‍රසාදය, ඒ හින්දා මොන මගුලකට මෙඩිසින් කලාද කියලා හිතුන සිතුවිලි ඔක්කොම උදේ වාට්ටුවේ වුන සිදුවීම නිසා විනාඩියෙන් නැතිවෙලා ගියා.හවස වෝඩ් රවුන්ඩ් එකේදී ඒ අම්මගේ මූනේ තිබුනු සැනසුම දැක්කම එන සතුට ගෙදර ඉඳන් කිරිබත් කාලා නිදිමත වෙනකොට දැනෙන හැඟීමට වඩා කොච්චර වටිනවද කියලත් හිතුනා.
හවසත් එන ගමන් බේබි යුනිට් එකට ගිහින් ඒ බබාව බලලා ආවා, බුදු සරණින් බෙහෙත් හා රැකවරණයේ පිහිටෙන් දරුවා තාමත් හොඳින්.මාසයක් හරි කමක් නෑ ඉන්කියුබේටරයේ ඉඳලා බබා යහතින් ගෙදර යත්වා කියලා ඒ එන ගමනුත් මම ප්‍රාර්ථනා කළා.
Sunday, April 12, 2015
නොදනිමි වැරදි කවුරුද නිවැරදිද කියා
තේ වත්තේ උදේ හවා වැඩ කරනා
අඟුරු කැටක් දුටු විට මතකය ගන්නා
සුන්දර රාජ් කහ වන් දත් ඇඳි පෙන්වා
වාට්ටුවේ පසෙකට වී ඉඩ දුන්නා
දරු තුන් දෙනෙකු පාසල වෙත නොම ඇදෙනා
ඉඳහිට දිනක තේ වත්තේ වැඩ කරනා
සෙල්වරාණි හැකි ලෙස බත් හොදි පිසිනා
අතරම නිතර හිරු රැස් ගෙබිමට වැටුනා
වළඳට පෙමින් බැඳි ගින්දර නොම දකින
කුසයට නිතර නොනොමෙන ගිනි ඇත දවන
ලිප ගිනි නිවා නිවනට ගිනි කුස දවන
බැල මෙහෙයට සයුරෙන් පිට ඇය ඇදුන
වසරක් දෙකක් මෙලෙසට හෙමිහිට ඇදුන
දරුවන් හැඩට ඇඳ පැහැයට මඟ ඇදුන
අරුනළු එකින් එක ගෙබිමට මුන ගැසුන
ලොකු දුව හෙමින් දීගෙක හොරැහින් ඇදුන
දිනයක හදිසියේ ඈ ගම රට ඇදුනා
වෙනසක් ඇතත් නැති ලෙස හැමටම පෙන්වා
මහ රෑ වේදනාවෙන් ඈ කුස අල්ලා
හඬනා විටදි රෝහල වෙත ගෙන ඇදුනා
දුඹුරු කෙසින් කිරි සුදු පැහැයෙන් දිලෙනා
නිල් වන් දෙනෙත් ඇති කුමරෙකු පෙම් වඩනා
සුන්දර්ගේ කළු පැහැ ඇඹනිය සොබනා
සෙල්ලම්මා සුදු දරුවෙකු බිහි කෙරුවා
සුන්දර රාජ් උරණව ඒ දරු පෙන්වා
කළකී බහට ඈ හට කඳුලක් ඉනුවා
ඉල්ලා දනන් කඳුලට කහවනු පෙන්වා
වෙදදුරු බහට මුදලට දරු නොම වික්කා
සෙල්වා බහට කළ යුතු දේ සිත යොමවා
පරිවාසයට දී දරුවා දුක සඟවා
රහසින් නෙතින් ගිලිහුනු කඳුලක් දුටුවා
නොදනිමි වැරදි කවුරුද නිවැරදිද කියා
ප. ලි
නම් ගම් ඇරෙන්නට අනික් ඔක්කෝම අමූලික ඇත්ත. හයේ වාට්ටුවේ ඇත්තටම වුනු සිද්ධියක් ඇසුරෙනි
Subscribe to:
Posts (Atom)




