Wednesday, October 26, 2016

අනුරාධපුරේ හිටං (වාඩිවෙලා ) ගාල්ලේ යෑම



අනුරාධපුරේ සිට ගාල්ලට ගිහින් තියනවද? ගිහින් තියනවා නම් යන ගමන් මොනවද හිතුනේ? මොකුත් නැද්ද? පරංගියා කෝට්ටේ ගියා වගේද? යන්නේ කොහොමද? බස් එකේ නම් කොළඹට ගිහින් ගාල්ලට බස් එකක් ගත්තනම් හරි, කෙලින්ම ගාල්ලට යන බස් එකකුට්ත් තියනවා මම හරියටම ඒ ගැන දන්නේ නෑ.
කෝච්චියේ ගමන ඊට වඩා වෙනස්, එක්කෝ නගරාන්තර සීඝ්‍රගාමී දුම් රියක යන්න පුළුවන් ,  එහෙම නැත්නම් වායුසමනය කළ දුම් රියෙනුත් යන්න පුළුවන්. දුම් රියෙත් පලවෙනි දෙවෙනි තුන්වෙනි පන්ති තියනවා ඒ ඒ එක එකක වෙන වෙනම කතා තියනවා.

නමුත් මේ කියන්න යන්නේ කතා අඩුම විදිහ ගැන. ඒ තමයි පෞද්ගලික වාහනයක යනකොට හිතෙන දේ. ඒ කියන්නේ කාර් එකෙන් යනකොට දැනෙන දේ.
කාලෙකට කලින් ගිය ගමනක් මහා ලොකූ දෙයක් නෑ.

අනුරාධපුරෙන් ගාල්ලට යන්න පිටත් වුනාට කොහොමද යන්නේ? යන්න පාරවල් කීපයක් තියනවා. එක එක පාර එක එක විදිහයි. කුරුණෑගල පැත්තේ පාරෙන් යන්න පුළුවන් පුත්තලම පාරෙන් යන්න පුළුවන් දඹුල්ලට ගිහින් යන්න පුළුවන් ඕනෙම නම් මහනුවරට ගිහින් යන්නත් පුළුවන්. යන පාර තෝරාගැනීම ගමනේ යන කෙනාගේ කැමැත්ත. ඒකට විවිධ හේතු බලපාන්න පුළුවන්. පුත්තලම පාරෙන්  රෑ  වෙලා තනියම පොඩි කාර් එකක යන්න එපා කියනවා පාරේ අලි ඉන්නවලු. නුවරට ගිහින් කොළඹ පාරෙන් ගිහින් යන්න පුළුවන් හැබැයි සෑහෙන වෙලාවක් යනවා අහන අය පිස්සුද කියලත් අහන්න ඉඩ තියනවා. දඹුල්ල පාරත් දුරයිද මන්දා. එහෙනම් කොයි පාරෙන්ද යන්නේ? සමහරු කෙලින්ම ගූගල් මැප්ස් බලලා වැඩේ ඉවරයක් කරලා දානවා. සමහරු පාර තොට දන්න කෙනෙක්ගෙන් අහලා බලනවා. සමහරු යන ගමන් පාර අහ අහ යනවා.
කොහොමහරි පාරක් තෝරා ගත්තා කියමුකෝ.

ඔය පාරවල් ඔක්කොම දන්නේ කවුද ඒ හින්දා එක පාරකින් යමු. දැන් යන්නේ කොහෙද ? ගාල්ලේ. නමුත් ඔබ මොහොතක් සිතුවාද? අනුරාධපුරේ අහලක තියා පැත්ත පලාතකවත් ගාල්ලට කියලා පාරක බෝඩ් එකක් තියනවද? නෑ. අපේ ගමන පටන් ගන්නකොට ගමනාන්තය අහලකවත් නැතිවෙන්න පුළුවන්, එහෙම කියලා ගමන අත හරින්න ඕනෙද? ගමනාන්තයට විවිධ පාරවල් තියනවා, කවුරු කොහොම කිව්වත් විවේචනය කළත් මෙහෙම ගියානම් හරි මෙතනින් හැරුනා නම් හරි , අපරාදේ මෙතනින් යන් නැතිව මෙහෙම ගියා නම් හරි කියලා මොන තරම් කතා කිව්වත් යනකොට අපි තනියම ගමනාන්තයට යන්න ඕනේ.
ඇනුරාධපුරය පහු කරගෙන යනකොට තලාව තඹුත්තේගම මුලින්ම හමු වෙනවා. එකම විදිහේ දේශගුණයක් තියෙන්නේ, වැඩි වෙනසක් නෑ. පැත්තකින් විටින් විට දුම් රිය මාර්ගය පෙනි පෙනී යනවා. සමහර වෙලාවකට රතු පාට හරි නිල් පාට හරි දුම් රියක් යාපනේ රතු ළුූණු එහෙම පටවගෙන අපිට විරිත්තගෙන නැත්නම් සමච්චලේට හිනා වෙවී පෙට්ටි ටික කුචු කුචු ගගා යනවා. කලබල වෙන්න එපා, තරහ ගන්නත් එපා. එයා එයාගේ ගමන ගියාදෙන් අපි අපේ ගමන යමු. ආපහු හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ හරියේ කොහේවත් ප්‍රධාන පාර හරහා කෝච්චි පාර යන්නේ නෑ. ඒ හින්දා අපේ ගමන පාඩුවේ යන්න පුළුවන්, හැබැයි අමතක කරන්න එපා. ඉස්සරහට සෑහෙන වාරයක් අපිට කෝච්චියේ ආඩම්බර බල බල ගේට්ටු පොල්ලකට පිටුපසින් නවතින්න වෙනවා. මොකද කරන්නේ ඉතින්.

ඔහොම යනකොට පාදෙනියෙන් හැරෙන්න ඕනේ, අනික් පැත්ත පුත්තලම. ටික දුරක් ගියාම වාරියපොල. නෑ නෑ දන්න කට්ටිය වාරියපොලට නගරයට යන්නේ නෑ, තදබදය මග හැරලා යන්න තියන පොඩි අතුරු පාරෙන් යනවා.
ඊළඟට කටුපොත නාරම්මල. පොඩ්ඩ පොඩ්ඩ දේශගුණය වෙනස් වෙනවා. ඒත් තාම රස්නෙයි.
මේ වෙනකොට කිලෝ මීටර් සිය ගනනක් ඇවිත්. බඩගින්නක් නිදිමතක් එහෙමත් එන්න පුළුවන්.වෙලාව හැටියට බත් කන්න හරි තේ එකක් කාරිය බොන්න හරි නවත්තන්නත්  ඉඩ තියනවා. නැත්නම් පොලිස් මාමලා නවත්තලා ඔබේ ගමනේ වේගය වැඩී කියන්නත් පුළුවන් නැත්නම් වැරදි විදිහට ඉරක් කපලා ඒ කියන්නේ අනුන්ගේ  මායිමකට රිංගලා කියන්නත් පුළුවන්.
කෝ ගාල්ල? තාම හෝඩුවාවක් වත් නෑ. කාගෙන්හරි ඇහුවොත්? අහන අයත් මඤ්ඤං වෙන්නත් පුළුවන්, නැත්නම් හරියට කියන්නත් පුළුවන්.

ගාල්ල ගැන දැන්මම හිතන්න එපා. ගිරිඋල්ල ගැන බලන්න. ගමනාන්තය ගැන ඉලක්කයක් තියාගන්න. හැබැයි ඉලක්කය නොපෙනෙන්න පුළුවන්, නමුත් පෙනෙන දුර ගැන සිහියෙන් කල්පනාවෙන් යන්න ඕනේ. ගමනාන්තයට එක පාරම යන්න බෑ, බොහෝ තැන් වලින් හැරෙන්න වෙනවා, හරි තැන් වලින් හැරුනොත් හරි, වැරදි තැන් වලින් හැරුනොත් වැඩිපුර දුරක් යන්න වෙයි සමහර විට ආපසු හරවාගෙන එන්නත් වෙන්න පුළුවන්. එහෙම තයි ජීවිතේ. සමහර විට ආපසු හැරී ඒම වෙන්න පුළුවන් තියන හොඳම විසඳුම.

ගිරිඋල්ලට ආවා කියමුකෝ.එතැනිනුත් තීරණය ඔබේ අතේ. කොටදෙනියාව පැත්තෙන් ගිහින් ජා ඇල පැත්තෙන් අධිවේගී මාර්ගයට දාලා පෑලියගොඩට යන්න පුළුවන්, එහෙම නැතිනම් මීරිගමට ගිහින් නුවර පාරට දාන්න පුළුවන්.
පාරවල් ගානකින් ගිහින් අන්තිමට එක පාරකට. තදබදය එක එක විදිහට, ගමන් මහන්සිය එක එක තරමට. දැන්වත් ගාල්ල ලඟද? අපෝ නෑ. ගාල්ලට කියලා බෝඩ් ලෑල්ලක්වත් . තව කොහෙද? මේ වෙනකොට පැය තුනකට වඩා ඇවිත්.
ඔන්න කවවතින් අධිවේගී මාර්ගයට දානවා.

පොඩි වෙනසක්. මෙච්චර වෙලාවක් කරදරකාරී විදිහට චන්ඩි පාට් දැම්ම වමෙන් දකුනෙන් උඩින් යටින් හොම්බ දැම්ම ත්‍රීවීල් බයික් එකක්වත් නෑ.හැබැයි රජෝ මේ පාරේ යන්න සල්ලි දෙන්න ඕනේ, ඊටත් මේ පාරට දැම්මට පස්සේ ආපසු හැරවීම් නැවතීම් නෑ,හිතූ හිතූ තැනින් පනින්නත් බෑ. අපිට සමහර තීරණ ගන්න වෙනවා අවසාන ප්‍රතිපලය දිහා බලාගෙන, ඒ තීරණ ගත්තම ආපසු හැරීම් නෑ, ආපහු හැරුනොත් නැවතුනොත් වෙන පාඩුව දඩය දරාගන්න බැරි තරම් වෙන්න පුළුවන්. හැබැයි එහෙම තීර්ණ නිසා ගමනාන්තයට ඉක්මනින් යන්නත් පුළුවන් වෙනවා. වාහනේ හොඳයි නම් ෂුවර් නම් තෙල් තියනවා නම් වෙන මොනවද?
 නිදහසේ අත පය දිග හැරලා වාහනේ මලකඩ කාරිය කැඩිලා යන්න ලෑල්ලට පාගලා යන්න තියෙන්නේ. ලෑල්ලට පෑගුවාට කෝ ගාල්ල?

විස්වාස කරන්න මහත්තයෝ යාන්තම් කොට්ටාවට එනකොට ඔන්න තියනවා ගාල්ලට කියලා බෝඩ් එකක්.ළඟද? නෑ කිලෝමීටර් සීයක් විතර තියනවා. තව පැයක්? ඔන්න දැන් අවසාන ඉලක්කය ගැන පොඩි ඉඟියක්වත් ලැබිලා. පැය තුනක් හතරක් මහන්සි වෙලා ආව ගමනේ අවසානයට ලඟයි කියලා හිතෙනකොට එන සැනසුම අර අමාරුකම් මහන්සිය මකා දමන්න සමත් වෙනවා කියලා හිතෙනවා.
තේරුනාද මන්දා

Monday, September 5, 2016

අමු මිරිස්



මේ ළඟදී වයස අවුරුදු හැටක විතර මනුස්සයෙක් ඉස්පිරිතාලෙට ආවා. හේතුව අතේ කැපුමක්.වම් අතේ මහපටැගිල්ලයි දබරැගිල්ලයි අතරින් කැපිලා තිබුනේ. වෙලාවට අස්ථි බිඳුමක් හෝ කන්ඩරා කැපීමක් වෙලා තිබුනේ නෑ. ඉතින් ශල්‍යාගාරයට අරගෙන මේ මනුස්සයගේ කැපුම මහන්න වුනා.

කැපිලා තිබුනේ කඩුවකට. ඉතින් ඒ මොකෝ කියලා අහන්න කාට වුනත් හිතෙනවා. "ලොකු උන්නැහේ මොකෝ කවුරුහරි එක්ක ගෝරියකටවත් පැටළුනාද? අඩියක්වත් ගහලාද හිටියේ " ටිකක් හරි නැති විදිහටයි කතාව පටන් ගත්තේ.
මේ මනුස්සයා බොහොම අහිංසක ගොවියෙක්, " මහත්තයා මම රා අරක්කු කටේ තියන්නෑ. විට නම් කනවා. මම කවුරු එක්ක ගෝරි අල්ලන්නද? මගේ පුත්තු තුන්දෙනා ගෙදර ආවා, උන් වට පිටාවේ අය එක්ක රන්ඩු කරගන්නවා. ඒ රන්ඩුවක් බේරන්න ගිහින් මගේ අතට කඩු පාරක් වැදුනා"
 ටිකක් අමුතු කතාවක්, ඒ මොකද කියලා අහන්න හිතෙන එක සාධාරණයි කියලා මට හිතුනා.
මැහුම් දාන ගමන් කතාව දිගටම ඇදගෙන ගියා. "ඉතින් පුතාලා මොකටද අහල පහල අය එක්ක රන්ඩු කරන්නේ"
" මහත්තයා අපි අඹගහවැව, මම ගොවිතැන් කරන්නේ, හේන් වවනවා, කුඹුරු ගොවිතැනත් කරනවා. මගේ පුතාලා තුන්දෙනෙක් ඉන්නවා, උන් එකෙක්වත් ගොවිතැනට කැමති නෑ. තුන්දෙනාම ත්‍රීකුණාමලේ මුහුදු යනවා. මුහුදු රස්සාව කරන්නේ. ඉඳලා හිටලා ගෙදර එන්නේ. උන් තුන්දෙනාට මුහුදු රස්සාව ජයයි.පුතාලා දෙන්නෙකුට  වීල් එකයි ඩිමෝ බට්ටෙකුයි තියනවා. ගමේ අහල පහල එවුන් හරි ඉරිසියයි මේ තුන්දෙනා එක්ක. ඉතින් ගෙදර ආවම වට පිටේ එවුන් එක්ක පැටලෙනවා. කොහෙද මුන් තුන්දෙනා බීගත්තම, කොච්චර කිව්වත් අහන් නෑ බොන එක නවත්තන්නෙම නෑ. මේ පාර ම්ගේ අත කැපිලා බේරුනා ඇති, නැත්නම් මිනියක් මරලා තමයි ඉවරවෙන්නේ.

"මොනවා කියන්නද කියලා මට තේරුනේ නෑ", පරම්පරා අතර වෙනස වෙන්න ඇති, මේ වයසක මනුස්සයා නම් කලබල නැති ඉවසීම තියන කෙනෙක් වගේ, හැබැයි පුත්තු තුන්දෙනා නම් කුකුල් කේන්ති කාරයෝ වගේ.

ඉතින් ඔහොම ඔහොම කතාව කරගෙන ගියා. මැහුම් දාලා ඉවරවෙනකොට මේ මනුස්සයා හේන් ගොවිතැන ගැනත් කිව්වා. අමු මිරිස් වවලලු තියෙන්නේ. ගොවිතැන හරියට කරනවා නම් ජයයිලු. කලින් පාර අමු මිරිස් වවපු කොල්ලෙක් එක අස්වැන්නෙන් මහ ට්‍රැක්ටරේකුයි බයික් එකකුයි ගත්තලු. බීජ අමු මිරිස් ග්‍රෑම් පනහක්  රුපියල් නවසිය පනහයිළු. අක්කරේකට බීජ අමු මිරිස් සීයක් විතර ඇතිලු.
අන්තිමට මටත් උපදේසයක් දීලා තමයි මේ මනුස්සයා ශල්‍යාගාරයෙන් ගියේ. "මහත්තයත් පුළුවන් වෙලාවක අමු මිරිස් ටිකක් හරි වවලා බලන්න "

සුපුරුදු උත්තරය, "ඒක තමයි වෙලාවක් නෑනේ, බලමු."

ඔන්න ඔහොමයි ගොවි මහත්තයාට  පුතා ගහපු කඩු පාරට කැපුනු අත මහලා ඉවර වුනේ      

Friday, June 3, 2016

ජයසූරිය



අපි නොහිතුවාට සමහර මිනිස්සු අපිට හරි කැමති. සමහර විට අපි මොකුත් ලොකු දෙයක් ඒ අයට කරලාදීලා නැතුව ඇති, සමහර විට ඒක හිනා වෙලා කතා කරන එක විතරක් වෙන්න ඇති.   මේ කතාව අපේ හයේ වාට්ටුවේ සිදුවීමක්. මම මේ කියන පුද්ගලයා ගැන අපේ වාට්ටුවේ වැඩ කළ හෝ ඇවිත් ගිය අය නම් දන්නවා.
ජයසූරිය කියන්නේ පැන්ෂන් යන්න කිට්ටු සාත්තු සේවිකාවක්, ඒ කියන්නේ ඇටෙන්ඩන් කෙනෙක්. අඩි පහක්වත් උස නෑ.හැබැයි වැඩයි කටයි ඊට වඩා සෑහෙන්න උසයි. පට පට ගාලා වැඩ, හැබැයි කවුරු හරි සැරෙන් කතා කරලා මොකක් හරි කරන්න කිව්වොත් මනුස්සයා නෙවෙයි තුට්ටුවකට ගනන් ගන්නේ.
බුලත් විටක් කාලා කට රතු කරගෙන කියව කියව වාට්ටුවේ ඔක්කොම වැඩ කරනවා. මේ මනුස්සයා මොකුත් හිතේ තියන් ඉන්නේ නෑ, කාට වුනත් කියන්න තියන දේ මූනටම කියලා දානවා.

වල් පල් ඇති, කතාව දැන්. කතාවක් කිව්වට මහා ලොකු දෙයක් නෑ. අපේ වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරු පිරිස සීමාවාසික පුහුණුව අවසන් කරලා යන දවස. ඉතින් මේ නංගිලා මල්ලිලා වාට්ටුවේ හැමෝටම තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා. විශේෂඥ වෛද්‍යවරු අනෙක් වෛද්‍යවරු හෙදියන් සාත්තු සේවිකාවන් ආදී හැමෝම මේ සාදයට ආවා. එදා ජයසූරිය නයිට් ඩියුටි, ඒ කියන්නේ දවල් වැඩට ඇවිත් නෑ.තේ පැන් සංග්‍රහයට ජයසූරිය ආවේ නෑ. මම ඒත් ඇහුවා ජයසූරිය කෝ කියලා. කලින් කියන්න අමතක වුනා, ජයසූරියට හොඳට කවි කියන්න පුළුවන්. අපි සීමාවාසික පුහුණුව අවසන් කරලා යන දවසේ ජයසූරිය අපි ගැන (ගුණ වයලා )
කවි පන්තියක් ගොතලා ගායනා කළා මට මතකයි.

ඉතින් සාදය ඉවර වෙලා එදා දවසත් ගෙවුනා. මමත් ගෙදර ගියා. හවස හයට විතර නොදන්න අංකයකින් දුරකතන ඇමතුමක් ආවා. මම කතා කළා
"සර් මම ජයසූරිය කතා කරන්නේ, අනේ සර්ලා අද වාට්ටුවෙන් යනවද? අනේ මට කතා කරන්න එන්නවත් බැරි වුනානේ, අනේ සර්ලා යනවද? "
මට ඒක අහලා හරිම සතුටක් ආවා, අපි නොහිතුවට ජයසූරිය හදවතින්මයි මේ අහන්නේ, ජයසූරියට විශේෂ උදව්වක් අපි කරලා නෑ, හොඳට කතා බහ කරන එක විතරයි කලේ. මේ මනුස්සයා කොච්චර අව්‍යාජ හොඳ මනුස්සයෙක්ද කියලා මට හිතුනා.

"නෑ ජයසූරිය මම යන්නේ නෑ, ඉන්ටර්න් ඩොක්ටර්ස්ලා ටික තමා ගියේ"
"අනේ ඇත්තද? බුදු සරණයි සර්", එහෙනම් මම තියන්නම්" ජයසූරිය කිව්වා.

පහු වෙනිදා වාට්ටුවේ නර්ස් නෝනා කෙනෙක් කිව්වා, ජයසූරිය මගේ ටෙලිපෝන් නොම්මරය වාට්ටුවේ තියනවද කියලා හොයලා අන්තිමට එක්ස්චේන්ජ් එකට කතා කරලා හොයාගෙන තියෙන්නේ කියලා.

මට අපේ විශේෂඥ වෛද්‍යතුමා නිතරම කියන කතාවක් මතක් වුනා, ධනවත්භාවය කියන්නේ වැඩිපුරම යහපත් මානව සබඳතාවන් තිබීම ( සිංහලෙන් කිව්වොත් සල්ලි  නෙවේ මහත්තයෝ මිනිස්සු තමයි වැදගත් )

Sunday, May 15, 2016

සීයයි මුණුපුරයි



මේ කතාව එක දවසක් මුණුපුරෙකුට බෙහෙත් ගන්න ආව සීයා කෙනෙක් කියපු එකක්. මේ සීයා තමන්ගේ මුණුපුරාව එක්කගෙන ආවා හෙම්බිරිසාවට බෙහෙත් ගන්න.මුණුපුරා ඉස්කෝලේ දෙක වසරේ ඉන්නවා කිව්වේ. හෙම්බිරිසාවට බෙහෙත් දුන්නා, බෙහෙත් මාත්‍රාව ගනනය කරන්න මේ දරුවාගේ බර කිරලා බැලුවා. ඒ වයසට බර නම් ටිකක් මදි.

සීයා කතාව පටන් ගත්තා. මහත්තය මේ දරුවා කෑමට හරිම හොරයි. කන්නේම නෑ.සීයා කියපු විදිහ ටිකක් අමුතුයි වගේ, මොකද ආච්චි කෙනෙක් කිව්වනම් මුණුපුරා කන්නේ නෑ කියලා ඒක සාමාන්‍යයයි. ඉතින් මම අහලා බැළුවා විස්තර. ඇයි  මේ දරුවා කන්නේ නැත්තේ කියලා හොයලා බලන්න විස්තර කාරිය අහන්න එපෑ.
මේ දරුවා සීයාගේ දුවගේ පුතා. මුණුපුරාගේ තාත්තා ඒ කියන්නේ සීයාගේ දුවගේ ස්වාමිපුරුෂයා මේ දරුවාට අවුරුදු දෙක තුනක් වෙනකොට දරු පවුල අත හැරලා ගිහින්. ඒ මනුස්සයා කුලී වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ දුවත් මුනුපුරත් සීයාගේ ගෙදර ඇවිත් ඉඳලා තියනවා.සීයා වත්තේ පිටියේ වැවෙන දේවල් වලින් තමයි ජීවත් වෙලා තියෙන්නේ කරාඹු සහ සාදික්කා ගස් කීපයකුත් සීයාගේ වත්තේ තියනවා කියලා කිව්වා. කාලය ගතවෙනකොට ගෙදර දොර අග හිඟකම් එහෙම ටික ටික වැඩි වෙන්න පටන් ගෙන තියනවා. ඉතින් මේ දරුවාගේ අම්මා රට රස්සාවකට යන්න තීරණය කරලා තියනවා.
කොහොමහරි රට රස්සාවකට ගිහින් අවුරුද්දක් විතර සල්ලි එහෙම එවලා තියනවා. ඊට පස්සේ දැනට අවුරුදු දෙකක් විතර වෙනකම් කිසිම ආරංචියක් නෑලු.
"හ්ම් එහෙමද, හොයලා බැළුවේ නැද්ද?"
 " හොයලා බැළුවා මහත්තයෝ ඒජන්සි කාරයත් කතා කළා තොරතුරක් හොයාගන්න බැරි වුනා"

"එහෙමද , එතකොට සීයගේ ආච්චි ගෙදර ඇතිනේ ?
"නෑ මහත්තයා, ආච්චි නැතිවෙලා දැනට අවුරුදු දහයක් විතර වෙනවා".
"ඉතින් මේ දරුවා මම තමයි බලාගන්නේ, කන්නේ නෑ කිසිම දෙයක්,මම ඉතින් බනිස් ගෙනත් දෙනවා, මැගී නූඩ්ල්ස් හදලා දෙනවා, ඒවා නම් කනවා, හැමදාම ඒවා කන්නත් බෑනේ, ඉස්කෝලෙ යනවා, සෙල්ලම් කරලා එහෙම ඉන්නවා වෙනදට , මේ දවස් ටිකේ ඉස්කෝලෙ යන්නත් බෑ කියනවා මහත්තයා"

"ගමේ එවුන් කියනවා මගේ දුව රට ගිහින් වෙන මිනිහෙක් එක්ක ගිහින් කියලා, ඒ වුනාට මේ පොඩි දරුවෙකුත් දාලා ඒ දරුවා එහෙම කරන් නෑ මහත්තයා, මගේ දුවට පිට රටදි කරදරයක් වෙන්න ඇති, මොනවා කරන්නද මිනියක්වත් අපිට දකින්න ලැබුනේ නෑනේ"

අවුරුදු හැත්තෑ පහක් විතර වෙන මේ සීයා බොහොම හැඟුම්බරව මේ කතාව කියාගෙන ගියා. ඊට පස්සේ සීයා කහට පැල්ලම් වැටුනු කමිස සාක්කුවෙන් සල්ලි අරන් දෙන්න ලෑස්ති වුනා.
" කමක් නෑ සීයා,සල්ලි තියාගන්න, හරි එහෙනම් ගිහින් එන්න, බෙහෙත් ටික හරියට දෙන්න"

"එහෙම කමක් නැත්ද මහත්තයා?" සීයයි මුණුපුරයි යන්න පිටත් වුනා.

අහන්න තියෙන්නේ එකයි, මෙහෙම ජීවිත අපි අතරම ඉන්නවා, ඉතින් ඔබට මොනවයින්ද අඩු?


   
 

Sunday, January 3, 2016

හැටයි නෝනා කොස් මල්ලක්

බාගයක් අමුයි නේද, 
මේ ඉරිත් ගොඩයි
ගස් දෙකක ඒවා නේද
සමහර මදුළු ඉදිලා වගේ
තැම්බෙයිද?
පනහට දෙන්න බැරිද.
තිස් පන්දාහක් ගෙවා
පැය දෙකක සංගීතයක්
අසන්නෝද මෙදියත 
බොහෝ තුටින් විසුවෝය