Wednesday, August 28, 2019

ගේ ගෙම්බෝ හෙවත් ගෙවලයෝ


ගෙයි අස්සෙ සීතලට
හැංගිලා ඉඳගෙන
නොපෙනී පෙනි පෙනී
සියළු දේ වෙත
දමාගෙන හොට
නිවැසියන් වෙත
ග ගා බක බක

අල්ලාගෙන අමාරුවෙන්
වීසි කලත් ගෙයින් පිටත
වැටෙන්නෙත් ගේ
බලාගෙනමය
හැරීගෙන කෙල හලාගෙනමය

Saturday, July 14, 2018

සැළුන් එක



කොන්ඩේ කපන්නෝ සැළුන් ගැන දනිති. . අවුරුදු පනහකට හැටකට කලින් බාබර් උන්නැහේ කන්නාඩියකුයි කතුරු අරවා මෙව්වායි අරන් ගම් ගොඩේ ගෙවල් ගානෙ ගියාලු.දැන් කාලේ සැළුන් එකක් කියන්නේ හෙන මෙව්වා එකකි. මෙව්වා එකක් කියන්නේ, ඒසී කරලා, එක එක නම් ගහලා, ප්‍රොපෙසනල් හෙයා කෙයා වගේ.ඒ මදිවට සමහර එව්වගෙ කලින් කතා කරලා වෙලාවක් දාගන්නත් ඕනෙලු.
කොන්ඩේ කපන්න ගිහාම ට්‍රීස් ට්‍රීස් ගාලා මැසිමකින් ඇදලා දාලා කොන්ඩේ කපලා දානවා. කොන්ඩේ කපන්න එන හැම එකාටම මොකඛරි බේගලයක් ඇදබාලා අමතරව  හෙඩ් මසාජ්, හර්බල් ට්‍රීට්මන්ට්, හෙයා ඩයි වගේ මොකක් හරි කියලා තව ගානක් කඩාගන්නවා. මොකුත්ම නැත්තන් කොන්ඩේ අඩුයි ඒ හින්දා කෙස් ගස් දුරින් දුරින් තියෙන්නේ කපන්න වෙලා යනවා කියලා හරි ගානක් කඩා ගන්නවා.

මේ කියන්න යන්නේ එහෙම සැළුන් අතර තියන පරණ තාලේ සැළුන් එකක් ගැන. බාබර් මහත්තයා අවුරුදු හැටක් විතර ඇති. ගෝලයෝ නෑ ලොක්කා විතරයි. සරමයි බැනියමයි ඇඳලා ඉන්නේ. සැළුන් එකේ ලොකු නම් ගම් නෑ. සැළුන් දොරකුත් නෑ. සැළුන් එකට යනකොට අවුරුදු විසිපහක් තිහක් අතීතයට යනවා. ටං ටිං ටුං මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි, වේලාව දහවල් දොලහයි හතලිස් පහයි කවුරුත් අහන් නැති ඔය රේඩියෝ චැනල් එක මුළු ටවුන් එකේම අහන එකම තැන මේ සැළුන් එක. පරණ රේඩියෝ එකක්, ඒරියල් එක වෙනුවට වයර් එකක් ගැට ගහලා උඩට ඇදලා තියෙන්නේ.
ගොඩක් වෙලාවට මහ ලොකු සෙනගක් නෑ, හිටියත් වයසක මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳී. ඇතුලේ පරණ ටයිප් ලී පුටුවක් තමයි තියෙන්නේ. රැවුල කපනවා නම් ඔලුව හේත්තු කරගන්න පොඩි හෙඩ් රෙස්ට් එකක් පුටුවේ පිටිපස්සට හයි කරනවා.පැත්තක ලෑලි කෑල්ලක් තියනවා, ඒ පොඩි ළමයි කොන්ඩේ කපන්න ආවම පුටුවේ ඇඳි දෙක උඩ තියලා වාඩි කරවන්න.
බිත්තියේ ගහලා තියනවා චිත්‍රකතා පත්තරේකින් හම්බ වුනු රූපයක්, බලන්ගොඩ සරත් මධු අඳින ටයිප් චිත්‍රයක්. ඊට අමතරව බිත්තියේ ගහලා තියනවා උඳුගොව්වා කෑමට නිට්ටාවට සුව වීමට ප්‍රතිකාර කරනු ලැබේ කියලා. උඳුගොව්වා කියන්නේ මොකාද කියල දන්නේ නැත්නම් දන්න කෙනෙක් ගෙන් අහගන්න.
 බිත්තියෙ ගහලා තියෙන්නේ ලී රාමු සහිත සිංහ පට්ටම් කන්නාඩි.වාඩි වෙන්න තියෙන්නේ වියපු ලී පුටු. පොඩි ස්ටූල් එකක පත්තර කීපයක් තියනවා, ලංකාදීප පත්තරෙයි චිත්‍ර කතා පත්තරේකුයි. පරණ මනහර සඟරා කීපයකුත් තිබ්බා.
බාබර් උන්නැහේ කිසි කලබලයක් නෑ, එතනට කොන්ඩේ කපන්න එන අයටත් මහා කලබලයක් පේන්න නෑ, කවුරුත් පෝන් එක ඔබ ඔබ ඉන්නෙත් නෑ. වැදගත්ම දේ තමයි බාබර් උන්නැහෙ කොන්ඩෙ කපන්නේ කතුරෙන් විතරයි. මැසිමෙන් කොන්ඩෙ කපන්නේ නෑ. කොන්ඩෙ කපන ලී පුටුවෙ වාඩි උනාම තුවායක් බෙල්ල වටේ ඔතලා, ජරා රෙද්දක් ගෙනත් දෙපාරක් ගසලා බෙල්ල වටේ ඔතනවා. ඊට පස්සේ අළුත් කස්ටමර් කෙනෙක් නම් කොහොමද කොන්ඩේ කපන්න ඕනෙ කියලා අහනවා, රෙගියුලර් කස්ටමර් කෙනෙක් නම් අහන්න දෙයක් නෑ. ස්ප්‍රේ බෝතලේකින් වතුර ටිකක් ඉහලා කතුරයි පනාවයි අරගෙන කොන්ඩේ කපන්න පටන් ගන්නවා. ඉස්සරහ කන්නාඩිය ගාව බිත්තියෙ ගහලා තියන ලෑල්ල උඩ නා නාප්‍රකාර දේවල් තියනවා. සුදු පාට තිරිවානා ගලක් තියනවා. ඒක මොනවටද දන්නෑ ගන්නේ. දැලි පිහියක් තියනවා, බික් බ්ලේඩ් පෙට්ටියක් තියනවා, පාවිචිචි කළ බ්ලේඩ් දාන්න තව පොඩි ජෑම් බෝතලයක් තියනවා.  නමක් නැති පවුඩර් ටින් එකක්, පවුඩර් මලක් ප්ලාස්ටික් භාජනයක තියනවා, ඊට අමතරව කතුරු කීපයක් පනා එහෙමත් තියනවා. කොන්ඩෙ කපන්නේ කතුරෙන් හින්දා පැය බාගයක් විතර යනවා. කොහොමත් විනාඩි දහයක් විතර යනකොට නින්දකුත් යානවා. කොන්ඩෙ කපලා ඉවර වෙලා දැලි පිහියෙන් වැඩ දාන්න බ්ලේඩ් එක හයි කරනකොට ඔන්න ඇහරෙනවා. ඊට පස්සේ වතුර ටිකක් ගාලා දැලි පිහියෙන් හැඩ වැඩ දානවා. දැන් කොන්ඩේ කපලා ඉවරයි. ඊට පස්සේ පනාවක් අරන් කොන්ඩේ පීරනවා. කවදාවත් ගෙදරදි කොන්ඩෙ පීරුවට ඒ විදිහට නීට් එකට රොද තියලා පීරන්න බෑ. පවුඩර් මලෙන් පවුඩර් ටිකක් ගාලා, කොන්ඩ කෑලි ටිකත් ගසලා දාලා වැඩේ ඉවර කරනවා.
ඊට පස්සේ කොන්ඩෙ කපන්න ඇවිත්, ඔබේ කොන්ඩය කපනකම් බලාගෙන ඉන්නකොට නින්ද ගිහින් ඉන්න තව කස්ටමර් කෙනෙක් ඇහැරවලා පුටුවට ගන්නවා.
මේ වෙලාවෙ රෙගියුලර් කස්ටමර් කෙනෙක් නම් එකසිය පනහක් දීලා එනවා, නැත්නම් ගාන කීයද අහලා එකසිය පනහක් දෙනවා. ඊට පස්සේ යන්නම් කියලා දොරෙන් එලියට ඇවිත් ආපහු දෙදහස් දහ අටට එනවා.
මම කියන්න උත්සහ කලේ, නූතන අධිවේගී රටාවේ වේග රිද්මයේ සැලුන් එකකින් කොන්ඩේ කපනවට වඩා පොඩි සම්පූර්ණ ගතියක් තියනවා ඒ පරණ සැළුන් එකේ. නවීන සැළුන් වල මැෂින් එකෙන් ට්‍රීස් ට්‍රීස් ගාලා කොන්ඩෙ කැපුවම කතන්දරයක් ලියන්න හිතෙන්නෙත් නෑ

Monday, August 21, 2017

පහේ සිස්ස්ත්තේ (20.08.2017)



පහු ගිය දවසක උදේ වැඩට යන්න යනකොට ජෝසප් එක ගාව කවදාවත් නැති කලබලයක්. ඉස්කෝලෙ නිවාඩු වුනාට එතන මහ සෙනගක්. මොකුත් කලබලයක්ද මන්දා. පස්සෙ මට මතක් වුනා අද අම්මලාගේ විභාගේ නේ කියලා. පහේ සිස්සත්තෙ. ඉස්කූටිවල, මහේන්ද්‍රා කැබ් වල, ත්‍රීවීල්වල, පුස් බයිසිකල් වල, කාර් වල, මොන්ටෙරෝවල නලලේ අළු ගාගත්ත අත් වල පිරිත් නූල් (සමහර ඒවා පිරිත් කඹ ) බැඳගත්ත පොඩ්ඩො පොඩිත්තියො අම්මලා තාත්තල එක්ක එනව එක සීරුවට.
තදබදය අතරින් යනකොට මමත් සිතින් පහේ සිස්සත්තෙ කාලෙට ගියා. හිතාගන්නත් බෑ ඒ මීට අවුරුදු විස්සකට කලින් ,ඒ කියන්නේ 1997. එච්චර කාලයක් ගත වෙලා කියන එක හීනයක් වගේ. ඒ කාලෙ තාමත් අද ඊයෙ වගෙයි.
ඒ කාලේ සූර්යයා දැනට වඩා ලස්සනට පායනවා, රවන් ඔයේ වතුර අදට වඩා තිබුනා, කුඹුරු එකක්වත් ගොඩ කරලා තිබුනේ නෑ, පාරවල් කාපට් හෝ කොන්ක්‍රීට් කරලා තිබ්බෙත් නෑ.

හතර වසරෙන් පටන්ගමු. නෑ තුන වසරෙන් පටන් ගනිමු. ඒ කියන්නේ 1995. සිස්සත්තේ ගැන මම මෙලෝ බෝලයක් දන්නෙත් නෑ. ඒ සමය වනාහි මාගේ වැඩිමහල් සහෝදරිය පහේ සිස්සත්තයට වාඩි වන වසරයි.ඇයගේ පන්තියේ අවාසනාවකට පාසලේ ගුරුවරියකගේ දුවක් සිටියාය. පන්තියේ මීටරය වූ මගේ සහෝදරිය අපමන කැපිලි කෙටිලි මැද ඉගෙන ගනිමින් සිටියාය.ගුරුවරියගේ දියනිය (විභාග වංචා ) නිසා මගේ සොහොයුරියට පන්තියේ පලවෙනියා වීමට නොදුන්නාය. පහ වසරේ සිටියදීම සාමාන්‍යපෙල ගණිතය ප්‍රශ්න පත්‍රයේ සමහර ගැටළු විසදීමේ හැකියාව තිබූ මගේ සොහොයුරිය 1995 දී පහේ සිස්සත්තෙන් ලකුණු 179ක් ලබාගෙන මහනුවර මහමායාවට ගියාය. යටකී ගුරුවරුයගේ දුවට සිස්සත්තෙ පාස් වීමට ද බැරි උනාද කොහෙදෝ. හැබැයි ඒ ළමයාගේ ප්‍රතිපලේ අපේ අක්කීට මාරු වෙලා ඇවිත් කියලා, කොළඹ ගිහින් බලන්න ඕනේ කියලා ඒ ගුරුවරිය කියලා තිබ්බා. ගිහින් බැළුවද දන්නේ නෑ.

හරි දැන් කතාවට. එකල්හි මම අක්කා තරම් මීටරයක් නොවීමි. අක්කාට වඩා මෝටරයක් වීමි. ඒ කිව්වේ මීටරයක් නෙවෙයි හැබැයි ලැම්බෝගිනියක වේගයෙන් වැඩ කිරීමේ හැකියාව ඇත්තෙක් වීමි. විනාඩි 45 පළමු ප්‍රශ්න පත්‍රය විනාඩි 15කින් හා දෙවනි පත්‍රය පැය බාගයකින් කිරීමේ හැකියාව තිබිනි. ඉවර කරාට උත්තර වල නිරවද්‍යතාව අප්සට්ය.

හතරේ පන්තියට එනකම් නිකම්ම පන්තියේ සාමාන්‍ය මැද පෙල පිතිකරුවෙක් වූ මම අපේ අම්මාගේ හැකියාව නිසා මුල් පෙළට ආවෙමි.අම්මාගේ අත් ගුනය නිසාත් කන ගමන් උයන ගමන් නිදාගන්න ගමන් කියලා දෙන දෙවල් නිසා පන්තියේ මුල් පෙලට එන්නට හැකි විය. හතරේ පන්තියේදී අපූරු ගුරුතුමියක් හමුවිය. නවරත්න ටීචර්, අකුරු බෝල කරලා ලියන්න, රචනා ලියන්න ආදී මෙකී නොකී හැම දෙයක්ම සෑහෙන උනන්දුවෙන් උගන්වපු හොඳම ටීචර් කෙනෙක් විය. මා තුලින් හොද ලියන්නෙක් රචනා කරුවෙකු නිර්මාණය කලේ ඒ ගුරුතුමියයි.
ඔය කාලේදී නිවස අවට ඉන්න පන්තියේ මිතුරන් කීප දෙන්නෙක් සමග පයින් පාසල් යෑම ඉතා විනෝදජනකය. උදේට රේල් පාර දිගේ පයින් යන ගමන් රේල් පීල්ල උඩ සමබරව යන්න උත්සහ කළෙමු. ඉඳහිට රේල් පාරේ කෝච්චියෙන් වැටුනු නිධන් වස්තු එහෙමත් තියනවා, එතකොට නහය අකුලාගෙන  දුවනවා. ඒ කාලේ ලොකුම දේ තමයි රේල් පාරේ ගැලවුනු තඩි යකඩ ඇණයක් හම්බෙන එක. බරට බරේ ඕකත් උස්සගෙන ඉස්කෝලෙ යනවා. තව දෙයක්, ගෙදරින්  අයිස් පැකට් කන්න සල්ලි ඉල්ලගෙන එනවා, අයිස් පැකට් එකක් රුපියලයි. අපි රුපියලේ කාසියක් පීල්ල උඩ තියලා කෝච්චිය යනකම් බලාගෙන ඉන්නවා.
හවස ඉස්කෝලෙ ඇරිලා එන්නේ වෙන පාරකින්. ඒ පාරෙන් එන වෙනම යාලුවෝ කට්ටියක් හිටියා මංජුල ,ජනක, සමරසිංහ  ඉන් කීප දෙනෙක්, දැන් ඒ යාලුවො කොහේ ඉන්නවද දන්නේ නෑ. ඒ එන මග ලොවි  වෙරළු ගස් කීපයක් තිබුනා. ගෙඩි හැදෙන කාලෙට ඒවත් කාලා තමයි ගෙදර එන්නේ.  ගෙදර ඇවිත් කාලා බීලා වත්ත වටේ නටලා දඟලලා හවස ජාතික රූපවාහිනියේ ගිය හයිලෑන්ඩර් බැළුවා. පොත් වල වැඩ කරලා රෑ අටට නිදාගත්ත. දැන් කාලෙ වගේ ජීවිතය සංකීර්ණ නෑ.

ඊට පස්සේ පහේ සිස්සත්තෙට පන්තියකට දැම්මා. නාපාන පන්තිය.ට්‍රාන්ස්පෝමර් තුනක දුර. ඒ කියන්නේ ගෙවල් ගාවින් ට්‍රාන්ස්පෝමරේ ළඟින් බස් එකට නගිනවා, මඩවලින් ට්‍රාන්ස්පෝමරේ ලඟින් බහිනවා නාපාන හරහා යන බස් එකක ගිහින් ට්‍රාන්ස්පෝමරය ගාවින් බහිනවා.පයින් ඉස්කෝලෙ ගිය අපිට බස් එකේ පන්ති යන එක හෙන ජොලි වැඩක්. නැව් වගේ පැද්දෙන ෆූසෝ, මිට්සුබිශි , රෝසා බස් තමයි ඒ කාලේ අපේ ඩ්‍රීමි වෙහිකල් උනේ. ඒ පන්තිය පැයක්ද කොහෙදෝ තිබ්බේ.මට මතක විදිහට ගුනවර්ධන ටීචර් තමයි පන්තිය කලේ. කොහොම හරි පන්තියට ගියා සතර පොත් කළා පත්තර බැළුවා.
ප්‍රශ්න පත්‍ර කරන්න ගත්තම මගේ කඩි කුලප්පුවට හැමදාම වගේ බැනුම් අහගන්නවා. ඒ වුනත් මම නෙවෙයි මගේ වේගය අඩු කලේ.
ඉස්කෝලෙ පහේ සිස්සත්තෙට විභාග අංකය දෙන්න ගෙදරින් කාවහරි එක්ක එන්න කියලා දවසක් කිව්වා. ඒ කියන්නේ ඇඩ්මිෂන් ගන්න. ඒ දවස් වල මගේ නංගී පොඩී, ඒ උනත් අපේ අම්මා තමයි කලින්ම ඇඩ්මිෂන් එක ගන්න ඉස්කෝලෙට ආවේ. එදා මරු සිද්දියක් උනා, තව ළමයෙක් හිටියා එයාගෙ අම්ම තමයි ඉස්කෝලෙ ඇරෙන්න කිට්ටු වෙලා අන්තිමටම ආවේ, පන්තියේ ටීචර් ඒ ළමයගේ අම්ම ගියාට පස්සේ වෙන ටීචර් කෙනෙක් එක්ක කියනවා " නිල ඇඳුම් රෙදි ගන්න නම් ඉස්සෙල්ලම එන්නේ එයා , මේකට තමයි අන්තිමටම එන්නේ "

ඉස්කෝලෙ කාලේ  අමිහිරි සිදුවීම් නොවුනාම නොවේ. එකක් තමයි ප්‍රාථමික අංශභාර ලොකු සර් ගේ බලෙන් කළ සිස්සත්ත පන්තිය. පන්තියේ හොඳට වැඩ කරන ළමයි ටික සෙනසුරාදා ඉරිදා ගෙන්නගෙන පන්ති කිරීම. ආවෙ නැත්නම් සඳුදාට ගුටි. හැබැයි පන්තියේ කරන්නේ පේපර් එකක් ලියන්න දීලා සර් මාරු. පස්සේ ඇවිත් උත්තර කියා දෙනවා. ගෙදර ගිහින් පෙන්නුවම උගන්නලා තියන උත්තර වලින් බාගයක් විතර වැරදි.  ගුටි කෑමට ඇති බයට ඒ පන්තියටත් යන්න වුනා.

කොහොම හරි සිස්සත්තෙ ටික ටික ලං වුනා. ඔය අතරේ සමහරු බාර හාර වෙන්න ගියා, සමහරු පෑන් මතුරගෙන ආවා. අපේ ගෙදර ඔය එකක්වත් නෑ මම නම් මැට්ටා වගේ ඔය එකක්වත් නැතිව පාඩම් වැඩ විතරක් කර කර හිටියා.    
ඉස් ඉස්සෙල්ලම අත් ඔරලෝසුවක් හම්බුනේ සිස්සත්තෙ ලියන්න කලින් දවසේ. ඉතින් හෙන සතුටින් ඔරලෝසුවත් බැඳගෙන සිස්සත්තෙ ලියන්න ගියා.
කියන්න සතුටුයි අපේ හාන්දුරුවනේ, සිස්සත්තෙ විභාගෙත් පළවෙනි පේපර් එක විනාඩි පහළවෙන් ඉවරයි. ඉතිරි පැය බාගෙ ඔරලෝසුව ඔබ ඔබ හිටියා. දෙවෙනි පේපර් එකත් ආලෝකයේ වේගයෙන් ඉවර කලා.

පහ වසර සමත් වෙලා හය වසරටත් ආවා.විශේෂයක් නැතිව ඉස්කෝලෙ ගමන ගෙවුනා.එක දවසක් සිස්සත්ට විභාගෙ ප්‍රතිපල ආවා කියලා ආරන්චියක් ආවා. ඉතින් මට පාන්ද? මම නෙවෙයි සත පහකට ගනන් ගත්තේ. පන්තියේ අනික් කොල්ලො ඔෆිස් එකට ගිහින් බලලා ඇවිත්. හෙන ගහන්නාවගේ ඇත්ත මේ කියන්නේ මම ප්‍රතිපල බලන්න ගියේ නෑ, පන්තියේ හිටපු ටීචර් මට කතා කරලා ඇහුවා කොහොමද වැඩ කලේ, කොහොමද පාඩම් කලේ බ්ලා බ්ලා බ්ලා. ඒ කියන්නේ මම විභාගේ පාස්  වගේ. (දැන් වගේ අන්තර්ජාලෙන් ජංගම දුරකථන වලින් ප්‍රතිපල බලන්න බෑ මීට අවුරුදු විස්සකට කලින්). හයේ පන්තිය තියෙන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉහල මහලක. උඩ ඉඳන් බලනකොට තාත්තා ඉස්කෝලෙට ඇවිත් යනවා දැක්කා. තාම මගේ ප්‍රතිපලය මම දන්නේ නෑ.
එදා ගෙදර ගියාම තමයි මගේ ප්‍රතිපලය දැනගත්තේ. මම තමයි ඒ අධ්‍යාපන කලාපේ වැඩිම ලකුණු. ටවුමේ තිබුනු බාලිකා විද්‍යාලේවත්  දෙමළ විද්‍යාලෙවත් මට වඩා ලකුණු ගත්ත කෙනෙක් නෑ. පාස් කලේ 115න් මට 153. අම්ම නම් කිව්වේ මදි කියලා.
මදි කියලා තේරුනේ ජනප්‍රිය පාසල් වල කඩයිම් ලකුණු දැම්මම. ධර්මරජෙට ගන්නේ 154 න්.
ඊට පස්සේ නිවසට ලඟම මනරම් පරිසරයක පිහිටි, දැනට මගේ සාර්ථකත්වයක්  වේ නම් දක්ෂතාවයක් වේ නම් ඒ සියල්ලට හේතු වූ පේරාදෙනි සරසවියට මග පෙන්වූ ශාන්ත අන්තෝනි විදුහලේ රාජාලියාගේ සෙවනට පැමිනියා.
ඒ කාලේ හත වසරේ සිංහල පොතේ පලවෙනි පාඩම මීටර් සියය.ඒ වුනත් ඒ කතාවෙ තේරුම කියලා දුන්නේ අවුරුදු හයකට පස්සේ දහතුන වසරේදී රසායන විද්‍යාව උගන්වපු මෙන්ඩිස් සර්

Tuesday, August 15, 2017

පෙර දින ගොතා රස මී මෙන් පද බෙදලා
වට පිට බලා සිටි උන් කවියන් කරවා
වා සෙම් කිපී නියඟය රස විත සඟවා
කවියා මිය ගොසින් ඇති බව එවමි ලියා


Friday, May 12, 2017

වැලි ලොරි

වැලි ලොරි

හාරා ඇගේ පපුව
සූරා රිහිරි මස
ලේ ගලා මග දිගට
රැගෙන යයි යක්ෂයන්
උපන් භාරත පුරය
නෙත් පියා නිදි වැදුන
බිහිරි දෙවියන් වසන
යටින් ගනඳුරු අහස
නුහුලමින් මහ පොලව


නිමිත්ත
දඹුල්ල කුරුණෑගල පාරේ රාත්‍රියේ ගමනක් යන අතර සිය ගනනක් වූ
 අඬ අඬා ඇදෙන ටාටා ,ලේලන්ඩ් (ඉන්දියානු ලොරි )  ට්‍රක්  දැකීම. මනම්පිටියෙන් ලක් මව හාරා ගරාගත් වැලි ලොරි පසුපස පැය ගනනක් ගාටන්නට වූ අමිහිරි අත්දැකීම




Monday, April 10, 2017

ක්ලිනික් එක- 01 වන කොටස -Groin flap


ඉඳහිට හමන වියලි සුලඟ අවට ගිනි ගහන රස්නය අකාරුණිකව තීව්‍ර කරවයි.දුඹුරු පැහැති දූවිල්ලට මුසුව වියලීගිය කොල  සුළඟට අසුව ඒ මේ අත විසිරෙයි. ලොම් හැළුනු නාටු බල්ලෙක් දැඩි අවු රශ්මියෙන් බේරී නිදාගැනීමට සෙවනක් සොයා අවු රශ්මියට කරවෙමින් නවතා ඇති වාහන අතරින් හෙමින් හෙමින්  ඒ මේ අත ඇදෙයි.
මේ අවුරුද්දේ ප්‍රමානවත් තරම් වැසි නොලැබීම නිසා මේ කන්නයේ කුඹුරු වැඩ කර ගැනීමට නොහැකි වීම ගැන තැවෙමින් සිටින ගොවියෙකි,වයස සැටක් පමන වන කාල වර්ණ සිරුරෙන්ද කෙසඟ නමුත් ශක්තිමත් බාහු යුග්මයකින්ද යුත් මිනිසෙකු සෙමින් සෙමින් පා නගනු දක්නට ඇත. අතෙහි රැඳි ලිය කියවිලි අනුව ඔහු සායනයකට සහභාගී වීමට යන බවක් පෙනෙන්නට තිබිනි.

මාස දෙකකට පමන පෙර වාට්ටුවට ඇතුළු වූ දිනය ඔහුට සිහිවෙයි.නියං සායට හසුව වියලී ගිය වාන් ඇල පසු කරගෙන මී ගවයන් දෙදෙනා දක්කාගෙන දිය පොදක්ද , වියලී ගිය ඉපනැල්ලක්ද සොයා ගිය හැටි සිහි වෙයි. කාශ්ටක අව්ව කාල වර්ණ පිටවල් දව දවා ගිනියම් වන විට එක් මී ගවයෙකු අසල ගසක බඳින්නට සූදානම් වුන විට, කුලප්පු වූ මී ගවයා කඩාගෙන දුවන්නට සැරසුන අයුරු මතකයට නැගෙයි. ඒ වන විටද කඹය ගසේ බැඳ දමමින් තිබිනි, ගසේ රළු පොත්තත් කඹයත් අතරට හසුවූ දකුණු අතේ මාපටැඟිල්ල ඉරාගෙන යන මහත් වේදනාව ඔහුට මතක් විය.

රෝහල වෙත ගෙන ආ පසු, ඇඟිල්ලේ මස පමනක් ඉරී ගොස් ඇති බවත්, ඇට කටු හා ඛන්ඩරාවන් හොඳින් ඇති බවත් වෛද්‍යවරැ පැවසූ බව මතක් විය. ගොවිතැන් බත් කිරීමට හිඳින් වැඩපල කර ගැනීමට ඇඟිල්ල නොකපා බඩෙන් මස් ගෙන ඇඟිල්ලට බද්ධ කළ හැකි බවත් ඊට කැමතිදැයි තමාගෙන් ඇසූ බවත් ඔහුට මතකය. කී දේවල් නොතේරුණු නමුදු ඔහු, හොඳ දෙයක් කර දෙන්න යැයි කීවා යන්තමට මතකය.

කවදාවත් අසා නොතිබූ දැක නොතිබූ අමුතු සැත්කමකට ලක් වී, අත බඩට තබා මසා සති තුනක් ගත කළ අයුරුද, ඉන් පසු අත වෙන් කල පසු මහපටැගිල්ලට බඩෙහි තිබූ මස් හා සම සවිවී තිබුනු  අයුරු මතක් විය. දැන් ඇඟිල්ලෙන්  පෙර පරිදි වැඩ කළ හැක.වේදනාවක්ද නැත. ඇඟිල්ල කපා දමනවාට වඩා සති තුනක් අත බඩට තබා මසා තැබීම හොඳ යැයි ඔහුට සිතුනි.




සායනයට පැමිනෙන විට එතැන සායනයට පැමිනි රෝගීන් පනහක්  පමන සිටියේය.ගොවි මහතාට නිල් නොම්මර අංක හතලිහ ලැබී තිබුනි.
තමන්ගේ වෙලාව එන තුරු වාඩි වී සිටි ගොවි මහතා අසල සිටි තවත් අයෙකු හා කතාවට වැටුනේය.


 

(ඡායාරූප අන්තර්ජාලයෙනි )

අමූලික ඇත්ත

ගෑස්ටික් වලට
බෙහෙත් ගන්න
දෙසිය පනහයි
කලින් දවසේ රෑ
අල්ලපු කඩෙන්
සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක
හාරසිය අනූවයි






Wednesday, October 26, 2016

අනුරාධපුරේ හිටං (වාඩිවෙලා ) ගාල්ලේ යෑම



අනුරාධපුරේ සිට ගාල්ලට ගිහින් තියනවද? ගිහින් තියනවා නම් යන ගමන් මොනවද හිතුනේ? මොකුත් නැද්ද? පරංගියා කෝට්ටේ ගියා වගේද? යන්නේ කොහොමද? බස් එකේ නම් කොළඹට ගිහින් ගාල්ලට බස් එකක් ගත්තනම් හරි, කෙලින්ම ගාල්ලට යන බස් එකකුට්ත් තියනවා මම හරියටම ඒ ගැන දන්නේ නෑ.
කෝච්චියේ ගමන ඊට වඩා වෙනස්, එක්කෝ නගරාන්තර සීඝ්‍රගාමී දුම් රියක යන්න පුළුවන් ,  එහෙම නැත්නම් වායුසමනය කළ දුම් රියෙනුත් යන්න පුළුවන්. දුම් රියෙත් පලවෙනි දෙවෙනි තුන්වෙනි පන්ති තියනවා ඒ ඒ එක එකක වෙන වෙනම කතා තියනවා.

නමුත් මේ කියන්න යන්නේ කතා අඩුම විදිහ ගැන. ඒ තමයි පෞද්ගලික වාහනයක යනකොට හිතෙන දේ. ඒ කියන්නේ කාර් එකෙන් යනකොට දැනෙන දේ.
කාලෙකට කලින් ගිය ගමනක් මහා ලොකූ දෙයක් නෑ.

අනුරාධපුරෙන් ගාල්ලට යන්න පිටත් වුනාට කොහොමද යන්නේ? යන්න පාරවල් කීපයක් තියනවා. එක එක පාර එක එක විදිහයි. කුරුණෑගල පැත්තේ පාරෙන් යන්න පුළුවන් පුත්තලම පාරෙන් යන්න පුළුවන් දඹුල්ලට ගිහින් යන්න පුළුවන් ඕනෙම නම් මහනුවරට ගිහින් යන්නත් පුළුවන්. යන පාර තෝරාගැනීම ගමනේ යන කෙනාගේ කැමැත්ත. ඒකට විවිධ හේතු බලපාන්න පුළුවන්. පුත්තලම පාරෙන්  රෑ  වෙලා තනියම පොඩි කාර් එකක යන්න එපා කියනවා පාරේ අලි ඉන්නවලු. නුවරට ගිහින් කොළඹ පාරෙන් ගිහින් යන්න පුළුවන් හැබැයි සෑහෙන වෙලාවක් යනවා අහන අය පිස්සුද කියලත් අහන්න ඉඩ තියනවා. දඹුල්ල පාරත් දුරයිද මන්දා. එහෙනම් කොයි පාරෙන්ද යන්නේ? සමහරු කෙලින්ම ගූගල් මැප්ස් බලලා වැඩේ ඉවරයක් කරලා දානවා. සමහරු පාර තොට දන්න කෙනෙක්ගෙන් අහලා බලනවා. සමහරු යන ගමන් පාර අහ අහ යනවා.
කොහොමහරි පාරක් තෝරා ගත්තා කියමුකෝ.

ඔය පාරවල් ඔක්කොම දන්නේ කවුද ඒ හින්දා එක පාරකින් යමු. දැන් යන්නේ කොහෙද ? ගාල්ලේ. නමුත් ඔබ මොහොතක් සිතුවාද? අනුරාධපුරේ අහලක තියා පැත්ත පලාතකවත් ගාල්ලට කියලා පාරක බෝඩ් එකක් තියනවද? නෑ. අපේ ගමන පටන් ගන්නකොට ගමනාන්තය අහලකවත් නැතිවෙන්න පුළුවන්, එහෙම කියලා ගමන අත හරින්න ඕනෙද? ගමනාන්තයට විවිධ පාරවල් තියනවා, කවුරු කොහොම කිව්වත් විවේචනය කළත් මෙහෙම ගියානම් හරි මෙතනින් හැරුනා නම් හරි , අපරාදේ මෙතනින් යන් නැතිව මෙහෙම ගියා නම් හරි කියලා මොන තරම් කතා කිව්වත් යනකොට අපි තනියම ගමනාන්තයට යන්න ඕනේ.
ඇනුරාධපුරය පහු කරගෙන යනකොට තලාව තඹුත්තේගම මුලින්ම හමු වෙනවා. එකම විදිහේ දේශගුණයක් තියෙන්නේ, වැඩි වෙනසක් නෑ. පැත්තකින් විටින් විට දුම් රිය මාර්ගය පෙනි පෙනී යනවා. සමහර වෙලාවකට රතු පාට හරි නිල් පාට හරි දුම් රියක් යාපනේ රතු ළුූණු එහෙම පටවගෙන අපිට විරිත්තගෙන නැත්නම් සමච්චලේට හිනා වෙවී පෙට්ටි ටික කුචු කුචු ගගා යනවා. කලබල වෙන්න එපා, තරහ ගන්නත් එපා. එයා එයාගේ ගමන ගියාදෙන් අපි අපේ ගමන යමු. ආපහු හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ හරියේ කොහේවත් ප්‍රධාන පාර හරහා කෝච්චි පාර යන්නේ නෑ. ඒ හින්දා අපේ ගමන පාඩුවේ යන්න පුළුවන්, හැබැයි අමතක කරන්න එපා. ඉස්සරහට සෑහෙන වාරයක් අපිට කෝච්චියේ ආඩම්බර බල බල ගේට්ටු පොල්ලකට පිටුපසින් නවතින්න වෙනවා. මොකද කරන්නේ ඉතින්.

ඔහොම යනකොට පාදෙනියෙන් හැරෙන්න ඕනේ, අනික් පැත්ත පුත්තලම. ටික දුරක් ගියාම වාරියපොල. නෑ නෑ දන්න කට්ටිය වාරියපොලට නගරයට යන්නේ නෑ, තදබදය මග හැරලා යන්න තියන පොඩි අතුරු පාරෙන් යනවා.
ඊළඟට කටුපොත නාරම්මල. පොඩ්ඩ පොඩ්ඩ දේශගුණය වෙනස් වෙනවා. ඒත් තාම රස්නෙයි.
මේ වෙනකොට කිලෝ මීටර් සිය ගනනක් ඇවිත්. බඩගින්නක් නිදිමතක් එහෙමත් එන්න පුළුවන්.වෙලාව හැටියට බත් කන්න හරි තේ එකක් කාරිය බොන්න හරි නවත්තන්නත්  ඉඩ තියනවා. නැත්නම් පොලිස් මාමලා නවත්තලා ඔබේ ගමනේ වේගය වැඩී කියන්නත් පුළුවන් නැත්නම් වැරදි විදිහට ඉරක් කපලා ඒ කියන්නේ අනුන්ගේ  මායිමකට රිංගලා කියන්නත් පුළුවන්.
කෝ ගාල්ල? තාම හෝඩුවාවක් වත් නෑ. කාගෙන්හරි ඇහුවොත්? අහන අයත් මඤ්ඤං වෙන්නත් පුළුවන්, නැත්නම් හරියට කියන්නත් පුළුවන්.

ගාල්ල ගැන දැන්මම හිතන්න එපා. ගිරිඋල්ල ගැන බලන්න. ගමනාන්තය ගැන ඉලක්කයක් තියාගන්න. හැබැයි ඉලක්කය නොපෙනෙන්න පුළුවන්, නමුත් පෙනෙන දුර ගැන සිහියෙන් කල්පනාවෙන් යන්න ඕනේ. ගමනාන්තයට එක පාරම යන්න බෑ, බොහෝ තැන් වලින් හැරෙන්න වෙනවා, හරි තැන් වලින් හැරුනොත් හරි, වැරදි තැන් වලින් හැරුනොත් වැඩිපුර දුරක් යන්න වෙයි සමහර විට ආපසු හරවාගෙන එන්නත් වෙන්න පුළුවන්. එහෙම තයි ජීවිතේ. සමහර විට ආපසු හැරී ඒම වෙන්න පුළුවන් තියන හොඳම විසඳුම.

ගිරිඋල්ලට ආවා කියමුකෝ.එතැනිනුත් තීරණය ඔබේ අතේ. කොටදෙනියාව පැත්තෙන් ගිහින් ජා ඇල පැත්තෙන් අධිවේගී මාර්ගයට දාලා පෑලියගොඩට යන්න පුළුවන්, එහෙම නැතිනම් මීරිගමට ගිහින් නුවර පාරට දාන්න පුළුවන්.
පාරවල් ගානකින් ගිහින් අන්තිමට එක පාරකට. තදබදය එක එක විදිහට, ගමන් මහන්සිය එක එක තරමට. දැන්වත් ගාල්ල ලඟද? අපෝ නෑ. ගාල්ලට කියලා බෝඩ් ලෑල්ලක්වත් . තව කොහෙද? මේ වෙනකොට පැය තුනකට වඩා ඇවිත්.
ඔන්න කවවතින් අධිවේගී මාර්ගයට දානවා.

පොඩි වෙනසක්. මෙච්චර වෙලාවක් කරදරකාරී විදිහට චන්ඩි පාට් දැම්ම වමෙන් දකුනෙන් උඩින් යටින් හොම්බ දැම්ම ත්‍රීවීල් බයික් එකක්වත් නෑ.හැබැයි රජෝ මේ පාරේ යන්න සල්ලි දෙන්න ඕනේ, ඊටත් මේ පාරට දැම්මට පස්සේ ආපසු හැරවීම් නැවතීම් නෑ,හිතූ හිතූ තැනින් පනින්නත් බෑ. අපිට සමහර තීරණ ගන්න වෙනවා අවසාන ප්‍රතිපලය දිහා බලාගෙන, ඒ තීරණ ගත්තම ආපසු හැරීම් නෑ, ආපහු හැරුනොත් නැවතුනොත් වෙන පාඩුව දඩය දරාගන්න බැරි තරම් වෙන්න පුළුවන්. හැබැයි එහෙම තීර්ණ නිසා ගමනාන්තයට ඉක්මනින් යන්නත් පුළුවන් වෙනවා. වාහනේ හොඳයි නම් ෂුවර් නම් තෙල් තියනවා නම් වෙන මොනවද?
 නිදහසේ අත පය දිග හැරලා වාහනේ මලකඩ කාරිය කැඩිලා යන්න ලෑල්ලට පාගලා යන්න තියෙන්නේ. ලෑල්ලට පෑගුවාට කෝ ගාල්ල?

විස්වාස කරන්න මහත්තයෝ යාන්තම් කොට්ටාවට එනකොට ඔන්න තියනවා ගාල්ලට කියලා බෝඩ් එකක්.ළඟද? නෑ කිලෝමීටර් සීයක් විතර තියනවා. තව පැයක්? ඔන්න දැන් අවසාන ඉලක්කය ගැන පොඩි ඉඟියක්වත් ලැබිලා. පැය තුනක් හතරක් මහන්සි වෙලා ආව ගමනේ අවසානයට ලඟයි කියලා හිතෙනකොට එන සැනසුම අර අමාරුකම් මහන්සිය මකා දමන්න සමත් වෙනවා කියලා හිතෙනවා.
තේරුනාද මන්දා

Monday, September 5, 2016

අමු මිරිස්



මේ ළඟදී වයස අවුරුදු හැටක විතර මනුස්සයෙක් ඉස්පිරිතාලෙට ආවා. හේතුව අතේ කැපුමක්.වම් අතේ මහපටැගිල්ලයි දබරැගිල්ලයි අතරින් කැපිලා තිබුනේ. වෙලාවට අස්ථි බිඳුමක් හෝ කන්ඩරා කැපීමක් වෙලා තිබුනේ නෑ. ඉතින් ශල්‍යාගාරයට අරගෙන මේ මනුස්සයගේ කැපුම මහන්න වුනා.

කැපිලා තිබුනේ කඩුවකට. ඉතින් ඒ මොකෝ කියලා අහන්න කාට වුනත් හිතෙනවා. "ලොකු උන්නැහේ මොකෝ කවුරුහරි එක්ක ගෝරියකටවත් පැටළුනාද? අඩියක්වත් ගහලාද හිටියේ " ටිකක් හරි නැති විදිහටයි කතාව පටන් ගත්තේ.
මේ මනුස්සයා බොහොම අහිංසක ගොවියෙක්, " මහත්තයා මම රා අරක්කු කටේ තියන්නෑ. විට නම් කනවා. මම කවුරු එක්ක ගෝරි අල්ලන්නද? මගේ පුත්තු තුන්දෙනා ගෙදර ආවා, උන් වට පිටාවේ අය එක්ක රන්ඩු කරගන්නවා. ඒ රන්ඩුවක් බේරන්න ගිහින් මගේ අතට කඩු පාරක් වැදුනා"
 ටිකක් අමුතු කතාවක්, ඒ මොකද කියලා අහන්න හිතෙන එක සාධාරණයි කියලා මට හිතුනා.
මැහුම් දාන ගමන් කතාව දිගටම ඇදගෙන ගියා. "ඉතින් පුතාලා මොකටද අහල පහල අය එක්ක රන්ඩු කරන්නේ"
" මහත්තයා අපි අඹගහවැව, මම ගොවිතැන් කරන්නේ, හේන් වවනවා, කුඹුරු ගොවිතැනත් කරනවා. මගේ පුතාලා තුන්දෙනෙක් ඉන්නවා, උන් එකෙක්වත් ගොවිතැනට කැමති නෑ. තුන්දෙනාම ත්‍රීකුණාමලේ මුහුදු යනවා. මුහුදු රස්සාව කරන්නේ. ඉඳලා හිටලා ගෙදර එන්නේ. උන් තුන්දෙනාට මුහුදු රස්සාව ජයයි.පුතාලා දෙන්නෙකුට  වීල් එකයි ඩිමෝ බට්ටෙකුයි තියනවා. ගමේ අහල පහල එවුන් හරි ඉරිසියයි මේ තුන්දෙනා එක්ක. ඉතින් ගෙදර ආවම වට පිටේ එවුන් එක්ක පැටලෙනවා. කොහෙද මුන් තුන්දෙනා බීගත්තම, කොච්චර කිව්වත් අහන් නෑ බොන එක නවත්තන්නෙම නෑ. මේ පාර ම්ගේ අත කැපිලා බේරුනා ඇති, නැත්නම් මිනියක් මරලා තමයි ඉවරවෙන්නේ.

"මොනවා කියන්නද කියලා මට තේරුනේ නෑ", පරම්පරා අතර වෙනස වෙන්න ඇති, මේ වයසක මනුස්සයා නම් කලබල නැති ඉවසීම තියන කෙනෙක් වගේ, හැබැයි පුත්තු තුන්දෙනා නම් කුකුල් කේන්ති කාරයෝ වගේ.

ඉතින් ඔහොම ඔහොම කතාව කරගෙන ගියා. මැහුම් දාලා ඉවරවෙනකොට මේ මනුස්සයා හේන් ගොවිතැන ගැනත් කිව්වා. අමු මිරිස් වවලලු තියෙන්නේ. ගොවිතැන හරියට කරනවා නම් ජයයිලු. කලින් පාර අමු මිරිස් වවපු කොල්ලෙක් එක අස්වැන්නෙන් මහ ට්‍රැක්ටරේකුයි බයික් එකකුයි ගත්තලු. බීජ අමු මිරිස් ග්‍රෑම් පනහක්  රුපියල් නවසිය පනහයිළු. අක්කරේකට බීජ අමු මිරිස් සීයක් විතර ඇතිලු.
අන්තිමට මටත් උපදේසයක් දීලා තමයි මේ මනුස්සයා ශල්‍යාගාරයෙන් ගියේ. "මහත්තයත් පුළුවන් වෙලාවක අමු මිරිස් ටිකක් හරි වවලා බලන්න "

සුපුරුදු උත්තරය, "ඒක තමයි වෙලාවක් නෑනේ, බලමු."

ඔන්න ඔහොමයි ගොවි මහත්තයාට  පුතා ගහපු කඩු පාරට කැපුනු අත මහලා ඉවර වුනේ      

Friday, June 3, 2016

ජයසූරිය



අපි නොහිතුවාට සමහර මිනිස්සු අපිට හරි කැමති. සමහර විට අපි මොකුත් ලොකු දෙයක් ඒ අයට කරලාදීලා නැතුව ඇති, සමහර විට ඒක හිනා වෙලා කතා කරන එක විතරක් වෙන්න ඇති.   මේ කතාව අපේ හයේ වාට්ටුවේ සිදුවීමක්. මම මේ කියන පුද්ගලයා ගැන අපේ වාට්ටුවේ වැඩ කළ හෝ ඇවිත් ගිය අය නම් දන්නවා.
ජයසූරිය කියන්නේ පැන්ෂන් යන්න කිට්ටු සාත්තු සේවිකාවක්, ඒ කියන්නේ ඇටෙන්ඩන් කෙනෙක්. අඩි පහක්වත් උස නෑ.හැබැයි වැඩයි කටයි ඊට වඩා සෑහෙන්න උසයි. පට පට ගාලා වැඩ, හැබැයි කවුරු හරි සැරෙන් කතා කරලා මොකක් හරි කරන්න කිව්වොත් මනුස්සයා නෙවෙයි තුට්ටුවකට ගනන් ගන්නේ.
බුලත් විටක් කාලා කට රතු කරගෙන කියව කියව වාට්ටුවේ ඔක්කොම වැඩ කරනවා. මේ මනුස්සයා මොකුත් හිතේ තියන් ඉන්නේ නෑ, කාට වුනත් කියන්න තියන දේ මූනටම කියලා දානවා.

වල් පල් ඇති, කතාව දැන්. කතාවක් කිව්වට මහා ලොකු දෙයක් නෑ. අපේ වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරු පිරිස සීමාවාසික පුහුණුව අවසන් කරලා යන දවස. ඉතින් මේ නංගිලා මල්ලිලා වාට්ටුවේ හැමෝටම තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා. විශේෂඥ වෛද්‍යවරු අනෙක් වෛද්‍යවරු හෙදියන් සාත්තු සේවිකාවන් ආදී හැමෝම මේ සාදයට ආවා. එදා ජයසූරිය නයිට් ඩියුටි, ඒ කියන්නේ දවල් වැඩට ඇවිත් නෑ.තේ පැන් සංග්‍රහයට ජයසූරිය ආවේ නෑ. මම ඒත් ඇහුවා ජයසූරිය කෝ කියලා. කලින් කියන්න අමතක වුනා, ජයසූරියට හොඳට කවි කියන්න පුළුවන්. අපි සීමාවාසික පුහුණුව අවසන් කරලා යන දවසේ ජයසූරිය අපි ගැන (ගුණ වයලා )
කවි පන්තියක් ගොතලා ගායනා කළා මට මතකයි.

ඉතින් සාදය ඉවර වෙලා එදා දවසත් ගෙවුනා. මමත් ගෙදර ගියා. හවස හයට විතර නොදන්න අංකයකින් දුරකතන ඇමතුමක් ආවා. මම කතා කළා
"සර් මම ජයසූරිය කතා කරන්නේ, අනේ සර්ලා අද වාට්ටුවෙන් යනවද? අනේ මට කතා කරන්න එන්නවත් බැරි වුනානේ, අනේ සර්ලා යනවද? "
මට ඒක අහලා හරිම සතුටක් ආවා, අපි නොහිතුවට ජයසූරිය හදවතින්මයි මේ අහන්නේ, ජයසූරියට විශේෂ උදව්වක් අපි කරලා නෑ, හොඳට කතා බහ කරන එක විතරයි කලේ. මේ මනුස්සයා කොච්චර අව්‍යාජ හොඳ මනුස්සයෙක්ද කියලා මට හිතුනා.

"නෑ ජයසූරිය මම යන්නේ නෑ, ඉන්ටර්න් ඩොක්ටර්ස්ලා ටික තමා ගියේ"
"අනේ ඇත්තද? බුදු සරණයි සර්", එහෙනම් මම තියන්නම්" ජයසූරිය කිව්වා.

පහු වෙනිදා වාට්ටුවේ නර්ස් නෝනා කෙනෙක් කිව්වා, ජයසූරිය මගේ ටෙලිපෝන් නොම්මරය වාට්ටුවේ තියනවද කියලා හොයලා අන්තිමට එක්ස්චේන්ජ් එකට කතා කරලා හොයාගෙන තියෙන්නේ කියලා.

මට අපේ විශේෂඥ වෛද්‍යතුමා නිතරම කියන කතාවක් මතක් වුනා, ධනවත්භාවය කියන්නේ වැඩිපුරම යහපත් මානව සබඳතාවන් තිබීම ( සිංහලෙන් කිව්වොත් සල්ලි  නෙවේ මහත්තයෝ මිනිස්සු තමයි වැදගත් )