Saturday, July 14, 2018

සැළුන් එක



කොන්ඩේ කපන්නෝ සැළුන් ගැන දනිති. . අවුරුදු පනහකට හැටකට කලින් බාබර් උන්නැහේ කන්නාඩියකුයි කතුරු අරවා මෙව්වායි අරන් ගම් ගොඩේ ගෙවල් ගානෙ ගියාලු.දැන් කාලේ සැළුන් එකක් කියන්නේ හෙන මෙව්වා එකකි. මෙව්වා එකක් කියන්නේ, ඒසී කරලා, එක එක නම් ගහලා, ප්‍රොපෙසනල් හෙයා කෙයා වගේ.ඒ මදිවට සමහර එව්වගෙ කලින් කතා කරලා වෙලාවක් දාගන්නත් ඕනෙලු.
කොන්ඩේ කපන්න ගිහාම ට්‍රීස් ට්‍රීස් ගාලා මැසිමකින් ඇදලා දාලා කොන්ඩේ කපලා දානවා. කොන්ඩේ කපන්න එන හැම එකාටම මොකඛරි බේගලයක් ඇදබාලා අමතරව  හෙඩ් මසාජ්, හර්බල් ට්‍රීට්මන්ට්, හෙයා ඩයි වගේ මොකක් හරි කියලා තව ගානක් කඩාගන්නවා. මොකුත්ම නැත්තන් කොන්ඩේ අඩුයි ඒ හින්දා කෙස් ගස් දුරින් දුරින් තියෙන්නේ කපන්න වෙලා යනවා කියලා හරි ගානක් කඩා ගන්නවා.

මේ කියන්න යන්නේ එහෙම සැළුන් අතර තියන පරණ තාලේ සැළුන් එකක් ගැන. බාබර් මහත්තයා අවුරුදු හැටක් විතර ඇති. ගෝලයෝ නෑ ලොක්කා විතරයි. සරමයි බැනියමයි ඇඳලා ඉන්නේ. සැළුන් එකේ ලොකු නම් ගම් නෑ. සැළුන් දොරකුත් නෑ. සැළුන් එකට යනකොට අවුරුදු විසිපහක් තිහක් අතීතයට යනවා. ටං ටිං ටුං මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි, වේලාව දහවල් දොලහයි හතලිස් පහයි කවුරුත් අහන් නැති ඔය රේඩියෝ චැනල් එක මුළු ටවුන් එකේම අහන එකම තැන මේ සැළුන් එක. පරණ රේඩියෝ එකක්, ඒරියල් එක වෙනුවට වයර් එකක් ගැට ගහලා උඩට ඇදලා තියෙන්නේ.
ගොඩක් වෙලාවට මහ ලොකු සෙනගක් නෑ, හිටියත් වයසක මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳී. ඇතුලේ පරණ ටයිප් ලී පුටුවක් තමයි තියෙන්නේ. රැවුල කපනවා නම් ඔලුව හේත්තු කරගන්න පොඩි හෙඩ් රෙස්ට් එකක් පුටුවේ පිටිපස්සට හයි කරනවා.පැත්තක ලෑලි කෑල්ලක් තියනවා, ඒ පොඩි ළමයි කොන්ඩේ කපන්න ආවම පුටුවේ ඇඳි දෙක උඩ තියලා වාඩි කරවන්න.
බිත්තියේ ගහලා තියනවා චිත්‍රකතා පත්තරේකින් හම්බ වුනු රූපයක්, බලන්ගොඩ සරත් මධු අඳින ටයිප් චිත්‍රයක්. ඊට අමතරව බිත්තියේ ගහලා තියනවා උඳුගොව්වා කෑමට නිට්ටාවට සුව වීමට ප්‍රතිකාර කරනු ලැබේ කියලා. උඳුගොව්වා කියන්නේ මොකාද කියල දන්නේ නැත්නම් දන්න කෙනෙක් ගෙන් අහගන්න.
 බිත්තියෙ ගහලා තියෙන්නේ ලී රාමු සහිත සිංහ පට්ටම් කන්නාඩි.වාඩි වෙන්න තියෙන්නේ වියපු ලී පුටු. පොඩි ස්ටූල් එකක පත්තර කීපයක් තියනවා, ලංකාදීප පත්තරෙයි චිත්‍ර කතා පත්තරේකුයි. පරණ මනහර සඟරා කීපයකුත් තිබ්බා.
බාබර් උන්නැහේ කිසි කලබලයක් නෑ, එතනට කොන්ඩේ කපන්න එන අයටත් මහා කලබලයක් පේන්න නෑ, කවුරුත් පෝන් එක ඔබ ඔබ ඉන්නෙත් නෑ. වැදගත්ම දේ තමයි බාබර් උන්නැහෙ කොන්ඩෙ කපන්නේ කතුරෙන් විතරයි. මැසිමෙන් කොන්ඩෙ කපන්නේ නෑ. කොන්ඩෙ කපන ලී පුටුවෙ වාඩි උනාම තුවායක් බෙල්ල වටේ ඔතලා, ජරා රෙද්දක් ගෙනත් දෙපාරක් ගසලා බෙල්ල වටේ ඔතනවා. ඊට පස්සේ අළුත් කස්ටමර් කෙනෙක් නම් කොහොමද කොන්ඩේ කපන්න ඕනෙ කියලා අහනවා, රෙගියුලර් කස්ටමර් කෙනෙක් නම් අහන්න දෙයක් නෑ. ස්ප්‍රේ බෝතලේකින් වතුර ටිකක් ඉහලා කතුරයි පනාවයි අරගෙන කොන්ඩේ කපන්න පටන් ගන්නවා. ඉස්සරහ කන්නාඩිය ගාව බිත්තියෙ ගහලා තියන ලෑල්ල උඩ නා නාප්‍රකාර දේවල් තියනවා. සුදු පාට තිරිවානා ගලක් තියනවා. ඒක මොනවටද දන්නෑ ගන්නේ. දැලි පිහියක් තියනවා, බික් බ්ලේඩ් පෙට්ටියක් තියනවා, පාවිචිචි කළ බ්ලේඩ් දාන්න තව පොඩි ජෑම් බෝතලයක් තියනවා.  නමක් නැති පවුඩර් ටින් එකක්, පවුඩර් මලක් ප්ලාස්ටික් භාජනයක තියනවා, ඊට අමතරව කතුරු කීපයක් පනා එහෙමත් තියනවා. කොන්ඩෙ කපන්නේ කතුරෙන් හින්දා පැය බාගයක් විතර යනවා. කොහොමත් විනාඩි දහයක් විතර යනකොට නින්දකුත් යානවා. කොන්ඩෙ කපලා ඉවර වෙලා දැලි පිහියෙන් වැඩ දාන්න බ්ලේඩ් එක හයි කරනකොට ඔන්න ඇහරෙනවා. ඊට පස්සේ වතුර ටිකක් ගාලා දැලි පිහියෙන් හැඩ වැඩ දානවා. දැන් කොන්ඩේ කපලා ඉවරයි. ඊට පස්සේ පනාවක් අරන් කොන්ඩේ පීරනවා. කවදාවත් ගෙදරදි කොන්ඩෙ පීරුවට ඒ විදිහට නීට් එකට රොද තියලා පීරන්න බෑ. පවුඩර් මලෙන් පවුඩර් ටිකක් ගාලා, කොන්ඩ කෑලි ටිකත් ගසලා දාලා වැඩේ ඉවර කරනවා.
ඊට පස්සේ කොන්ඩෙ කපන්න ඇවිත්, ඔබේ කොන්ඩය කපනකම් බලාගෙන ඉන්නකොට නින්ද ගිහින් ඉන්න තව කස්ටමර් කෙනෙක් ඇහැරවලා පුටුවට ගන්නවා.
මේ වෙලාවෙ රෙගියුලර් කස්ටමර් කෙනෙක් නම් එකසිය පනහක් දීලා එනවා, නැත්නම් ගාන කීයද අහලා එකසිය පනහක් දෙනවා. ඊට පස්සේ යන්නම් කියලා දොරෙන් එලියට ඇවිත් ආපහු දෙදහස් දහ අටට එනවා.
මම කියන්න උත්සහ කලේ, නූතන අධිවේගී රටාවේ වේග රිද්මයේ සැලුන් එකකින් කොන්ඩේ කපනවට වඩා පොඩි සම්පූර්ණ ගතියක් තියනවා ඒ පරණ සැළුන් එකේ. නවීන සැළුන් වල මැෂින් එකෙන් ට්‍රීස් ට්‍රීස් ගාලා කොන්ඩෙ කැපුවම කතන්දරයක් ලියන්න හිතෙන්නෙත් නෑ

No comments:

Post a Comment