Saturday, September 6, 2014

අධිතයිරොයිඩතාව

මේකත් තයිරොයිඩ් කතාවක්. අධිතයිරොයිඩතාව (හෙවත්  Hyperthyroidism ) කියන තත්වය ගැන මුලින්ම වචනයක් කියන්න ඕනේ. තයිරොක්සින් හෝර්මෝනය වැඩිවීම නිසා මේ තත්වය ඇතිවෙනවා.මෙහි රෝග ලක්ෂණ හැටියට බර අඩුවීම, කළබල ගතිය, තරහ යාම, නොරිස්සුම් සහගත භාවය, වෙව්ලීම, අධික දහඩිය, පපුවේ වේගවත් ගැස්ම (සමහර විට දරුවන් නැතිවීමත් විය හැකි )  ඇස් ඉදිරියට නෙරා ඒම සමහර රෝග තත්ව වලදී සිදු වෙනවා.




දැන් පාඩම ඇති. ඇයි මේවා කියන්නේ කියලා බලමු.
සුපුරුදු පරිදි පේරාදෙණිය වෛද්‍ය පීඨයේ න්‍යශ්ටික වෛද්‍ය සායනයේ මම දැකපු සත්‍ය සිදුවීමක්.
මේ රෝගියාත් කාන්තාවක්. (තයිරොයිඩ් සම්බන්ධ රෝග වැඩිපුරම හැදෙන්නේ කාන්තාවන්ට, ඒ හින්දා වෙන්න ඇති කතා හැම එකටම වාගේ කාන්තාවන් ප්‍රධාන වෙන්නේ ) මේ රෝගී කාන්තාවගේ ප්‍රශ්නය අධිතයිරොයිඩතාව. මුලින් කිව්ව රෝග ලක්ෂණ සියල්ලම පාහේ මේ කාන්තාවට තිබුනා. ප්‍රතිකාර පටන්ගෙන බොහොම ටික කාලයක් වෙනවා. ප්‍රතිකාරය තීරණය වෙන්නේ ප්‍රාථමික හෝ ද්විතික හේතුවක් නිසාද යන්න මත. වැඩේ පෙනුමට හරි සරළයි. රෝග ලක්ෂණ ටික තියනවා, රුධිර පරීක්ෂාවකින් සහතික කරන්න පුළුවන් අධි තයිරොයිඩතාව. ඊට පස්සේ ස්කෑන් එකකින් බලලා රෝගී තත්වය හරියටම හොයාගෙන ප්‍රතිකාර කරනවා. එච්චරද?

කතාව ඔය කියන තරම් සරළ නෑ. ඒ මොකද කියනවා නම් ප්‍රතිකාර කරන්නේ මනුස්සයෙකුට නිසා,පරීක්ෂණ වාර්තාවලට බෙහෙත් කළා නම් රිපෝට් නෝමල් වෙනකම් බෙහෙත් කරන එක කොච්චර ලේසිද. හරි දැන් මේ ලෙඩාව බලලා, රුධිර පරීක්ෂණ වලට ලේ ගන්න ඉන්නේ.

ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමේදී සායනික ඉතිහාසයේ වැදගත් කොටසක් වන සමාජීය තොරතුරු හරිම සංවේදී. සමාජීය ගැටළු ගොඩාක් උඩ රෝගියා ඉන්න වෙලාවක කොච්චර බෙහෙත් පෙති  දුන්නත් ලෙඩ හොඳ වෙන්නේ නෑ. සමහර විටක එක උපදේශයක් විතරක් ඒ රෝගීන් සුවපත් වෙන්න ප්‍රමාණවත් වෙන වෙලාවල් තියනවා. දැන් මේ රෝගියාගේ විස්තර අහලා බැළුවා.  බලාගෙන යනකොට මේ රෝගී තත්වය අවුරුදු පහක් හයක් විතරම තිබිලා තියනවා. කිසි ප්‍රතිකාරයක් කරලා නෑ. මේ කාන්තාව රජයේ රැකියාවක් කරන කෙනෙක්. වයස තිස් හයක් විතර මට මතක හැටියට. විවාහකද කියලා මම ඇහුවා. ටිකක් නිහඬව ඉඳලා මෙහෙම කිව්වා. විවාහ වෙලා හිටියා පස්සේ දික්කසාද වුනා කියලා. පෞද්ගලික දේවල් නිසා එතනින් එහාට ඒ ගැන මම අහන්න ගියේ නෑ. හැබැයි මේ කාන්තාව ඒ කතාව මට කිව්වා.එහෙම කියන්න හේතු වුනේ මම ඒ කාන්තාවට අධි තයිරොයිඩතාවයේ රෝග ලක්ෂණ ගැන කියා දුන්න නිසා කියලා මට හිතුනා.

 මේ කාන්තාව විවාහ වෙලා තිබුනේ වයස විසි හයෙන් විතර. සැමියාත් රජයේ රැකියාවක් කරලා තිබුනේ. විවාහයෙන් පස්සේ සැමියාගේ ගෙදර වාසයට ගිහින් තිබුනා. විවාහයෙන් පසු පළවෙනි අවුරුදු දෙක විතර කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් ඉඳලා තියනවා. දරු සුරතල් බලන එක ටික කාලයක් කල් දාලා තියෙනවා, ඒකට හේතුව තමා මේ කාන්තාවගේ රැකියාවේ විභාගයකට ලෑස්ති වෙමින් සිටීම.විවාහයෙන් අවුරුදු දෙකකට විතර පස්සේ , විභාගයටත් පස්සේ, එතෙක් කල් හොඳට හිටපු නැන්දම්මයි ලේලියි ටික ටික කෙහෙවළු පටලව ගන්න පටන්ගෙන.  ඊට ටික කලකට පස්සේ මේ කාන්තාව සැමියා එක්කත් නිතරම රන්ඩු සරුවල් කරන්න පටන්ගෙන.මේ කාන්තාවට කිසිම කෙනෙක් රුස්සන්නේ නැතිලු. ඒ කාලේ හරියට දාඩිය දැම්මලු, කෙට්ටු වෙලා ඇට පෑදිලාලු හිටියේ. මේ කාන්තාවගේම වචන වලින් කියනවා නම් යක්සනියෙක් වගේලු හිටියේ. ( ප්‍රතිකාර නොකළ අධිතයිරොයිඩතාවයෙන් පෙළෙමින් ඉඳලා තියනවා )

 කොහොම වුනත් සැමියා මේ කාන්තාවට ආදරෙයිලු. මේ ප්‍රශ්න වලින් බේරෙන්න නැන්දම්මා ලේලී දුරින් තියන්න , කුළියට ඇනෙක්ස් එකක් අරගෙන ජෝඩුව ඒකේ පදිංචියට ගියාලු. ඒ වුනත් ප්‍රශ්නෙ විසඳිලා තිබුනේ නෑ. දරු පල නැති නිසා මේ ප්‍රශ්න ඇතිවෙනවා කියලා හිතුන නිසා ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර  ගන්නත් ගිහින්. ( හැබැයි මේ වෙලාවෙදිවත් තයිරොයිඩ් තත්වය බලන්න ලේ පරීක්ෂා කරලා නෑ  )   කොහොමින් කොහොම හරි දිගටම සැමියා මේ කාන්තාව එක්ක හොඳින් ඉන්න උත්සහ කරලා තියනවා. මේ කාන්තාව කියන විදිහට එයාගේ සැමියා කවදාවත් වචනයක්වත් කියන්නේ නෑලු, අතක් උස්සලා නෑලු. ඒ වුනාට මේ කාන්තාවම කියනව තමන් කොච්චර නපුරු විදිහට සැමියාට සැලකුවද කියලා.හැමදාම ගෙදර බහින්බස් වීම්ලු. අන්තිමට දික්කසාදයෙන් සියල්ල අවසන් වුනාලු. ඒ වුනත් සැමියා වචනයක් සැරෙන් කියලා නෑ.

කොහොම හරි දික්කසාදයෙන් අවුරුද්දකට දෙකකට විතර පස්සේ වෙනත් අසනීපයකට බෙහෙත් ගන්න ගිය වෙලාවක වෛද්‍යවරයාට සැක සිතුනු නිසා තයිරොයිඩ් හෝමෝන පරීක්ෂා කරලා රෝග තත්වය හොයාගෙන.ප්‍රතිකාර පටන් අරගෙන. ඊට මාස තුනකට විතර පස්සේ තමයි අපේ සායනයට ඇවිත් තිබුනේ. දැන් ඉස්සර හිටියාට වඩා සෑහෙන්න හොඳයිලු. හැබැයි තාම නිට්ටාවට සුව වෙලා නෑ. සුව වෙමින් තියෙන්නේ. මේ කාන්තාවගේ තරහ යාම නොරිස්සුම් සහගත භාවය දැන් ටික ටික අඩු වේගෙන යනවා.

මම ඇහුවා දැන් මොකද හිතෙන්නේ කියලා. මේ කාන්තාව කියන්නේ මෙහෙම කතාවක්. පව් අර අසරණ මනුස්සයා (සැමියා ) අවුරුදු ගානක් මගෙත් එක්ක වචනයක් කියන්නේ නැතිව හිටියා. මේ ලෙඩේ මුලින්ම හොයාගත්තා නම් ඒ මනුස්සයට මගෙත් එක්ක ඉඳලා විඳවන්න වෙන්නේ නෑනේ. දැන් ඉතින් මොනවා කරන්නද.

එතනින් එහාට හොයන්න මම උත්සහ කලෙත් නෑ. එහෙම විස්තර අහන්න ගියා නම් ඒවා ඕපා දූප නිසා.

මට ප්‍රශ්න කීපයක් තිබුනා. අවුරුදු ගානක් ඔහොම තරහායන , බැන වදින, සහ නොරුස්සන කෙනෙක් එක්ක ඉන්නකොට ඒ සැමියාට නිකම්වත් මේ කාන්තාව වෛද්‍යවරයෙකුට පෙන්නන්න හිතුනේ නැද්ද? අනික ඔය අවුරුදු ගානට අඩුම ගානේ හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් ගන්න ගිය වෙලාවක ඒ බලපු වෛද්‍යවරයෙකුට මේ කාන්තාවගේ රෝගී තත්වය පෙනුනේ නැද්ද? ඇඟට පතට අමාරු ගතිය නිසා, පපුවේ ගැස්ම වැඩි නිසා, දාඩිය දැමීම වැඩි හින්දා හින්දා මේ කාන්තාවට ඔය අවුරුදු ගානට බෙහෙත් ටිකක් ගන්න යන්න හිතුනේ නැද්ද?

අන්තිමට , ලෙඩේ හොයාගෙන බෙහෙත් පෙති වලින් සනීප කරනකොට ඒ රෝගියාගේ ජීවිතයේ ආපස්සට ගිහින් හදන්න බැරි තරම් දේවල් සිදුවෙලා ඉවරයි . බෙහෙත් පෙති වලින් විතරක් හැම දෙයක්ම  සුව කරන්න පුළුවන් උනා නම් මේ ලෝකේ කොච්චර හොඳ තැනක් වෙයිද කියලා මට හිතුනා.

No comments:

Post a Comment