Monday, December 21, 2015

ඇත්ත කතාවක්



පරණ සිදුවීමක්,
දහයේ වාට්ටුවට තවත් එක් දවසක්. කළබලකාරී උදෑසනක්. සියදිවි නසාගන්න මොනවාදෝ බෙහෙත් පෙති ගොඩක් බීලා ලෙඩෙක් ඇතුළු කළා. අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. දින කීපයක් වාට්ටුවේ සිටියා, අන්තිමට මානසික සුවතා සායනයටත් යොමු කරවලා ගෙදර යැව්වා.

ඊට පස්සේ,
කාලය හෙමින් හෙමින් ගෙවිලා යනවා. මේ පුද්ගලයා රෝහලේ කැන්ටිමේදී නිතරම දකින්න ලැබෙනවා. හැමදාම උදේට ඉස්කෝලෙ එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්න බව පෙනෙන්න තියන දුව එක්ක ඇවිත් ඒ දුවට කන්න අරන් දීලා කෑම පෙට්ටියට රෝහල් කැන්ටිමෙන් ඉඳිආප්ප හරි බනිස් හරි මොනවා හරි අරන් දෙනවා මම බලාගෙන. මේ මනුස්සයා හැමදාම කැන්ටිමේ ජරාව අර ළමයාට කන්න දෙන්නේ ඇයි කියලා මට හිතුනා.

ඊටත් පස්සේ මෑතකදී,

මේ මනුස්සයා අහම්බෙන් කතාවකට අහු වුනා. නිකම් කතා කර කර ඉඳලා යන්න ගියා, ටිකක් හිතවත් වුනා. ළඟදී දවසක මම , හැමදාම දුවව එක්ක එනවා නේද, හැමදාම කැන්ටිමෙන් කෑම අරන් දෙනවා නේද කියලා නිකමට ඇහුවා.
මේ මනුස්සයා පුටුවකුත් ඇදලා අරගෙන වාඩි වෙලා බොහෝම දිග කතාවක් කියන්න පටන් ගත්තා.
මේ මනුස්සයා එච්චරම සල්ලි බාගේ තියන කෙනෙක් නෙවෙයි. දැනට ඔහු කරන රැකියාවට ආවට පස්සේ විවාහයක් කරගෙන තියනවා. ඒ කාන්තාව රැකියාවක් කරන්නේ නෑ, හැබැයි යහමින් ඉඩ කඩම් තියන පවුලක,තරමක් සල්ලි බාගේ තියන පිරිසක්. ඉතින් මේ කතා නායකයා තමන්ගේ බිරිඳගේ නමට තිබ්බ ඉඩමක ණයක් අරගෙන ගෙයක් හදන්න පටන්ගෙන තියනවා.
පළමුවෙන් ඒ දෙදෙනාට පුතෙක් ලැබිලා, ඒ දරුවා පාසල් යන්නත් පටන් ගත්තා, ඊට පස්සේ මේ ඉහත කිව්ව දුව ලැබිලා තියනවා.
වැඩිමහල් පුතා හොඳට ඉගෙනගෙන තියනවා, පහ වසරේ ශිෂ්‍යත්වයත් සමත්ලු. ඔහොම ඉන්නකොට පවුලේ නොහොඳ නෝක්කඩු මතු වෙලා තියනවා. ඒවා දුරදිග ගිහින්. ඒවාගේ අවසානය වෙලා තිබුනේ මේ පවුල සීසීකඩ වීම. මේ පුද්ගලයා කියන විදිහට අන්තිමට ඒ බිරිද හොරෙන්ම බාහෙට හදලා තිබ්බ ගෙදරයි ඉඩමයි විකුනලා වෙනත් කෙනෙක් එක්ක පැනලා ගිහින්. ගේදර මිලදී ගත්ත කෙනා දරු දෙන්නවයි මේ පුත්ගලයාවයි ගෙදරින් එළියට දාලා.

අන්තිමට කුලී නිවසක ඉඳගෙන අර කළින් ගත්ත ණය ගෙවමින් ජීවත් වෙලා තියනවා. කොහොම හරි අර වැඩිමහල් පුතාගේ පාසල් වැඩ ටික ටික දුර්වල වෙන්න පටන් ගෙන.මේ පියා ඒ දරුවාගේ පන්ති බාර ටීචර්ට විස්තරය කියලා තිබුනා, සමහර විට දරුවාට වැඩි අවදානයක් දෙන්න කියලා ඉල්ලන්නත් ඇති . ඉස්කෝලෙ ළමයි එක්ක  එන අම්මන්ඩිලාටත් කාගේ හරි ඕපාදූපයක් නම් වෙන මොකුත් ඕනේ නෑ.ඉස්කෝලේ ඉවර වෙනකම් ගේට්ටුව ළඟ රස කර කර මේ සිදුවීම කියන්න ඇති. ඉතින් මේ සිදුවීම කොහොම කොහොම හරි ඒ දරුවා ඉගෙන ගන්න පන්තියේ ළමයිනුත් දැනගෙන. ඒ කොල්ලෙක් මේ දරුවාට ඔය සිදුවීම කියලා විහිළු කරලා. මේ දරුවා ඒ විහිළු කළ කොල්ලාට හොඳටම ගහලා. ඕක පන්තියේ ටීචර්ටත් ගිහින්. (කොහොමත් බහුතරයක් සියල්ල දත්  ටීචර්ලා ළමා මනෝ විද්‍යාව එහෙම බොහොම කෙළ පැමිණි අයලු නේ  )
ටීචර් ඒ දරුවාට නොසෑහෙන්න තලලා. හත වසරේ ඉගෙනුම ලබපු ඒ දරුවා තමන්ට තේරුන හොඳම දේ කරලා, ඉස්කෝලෙන් පැනලා ගිහින්, ගෙදර යන්නේ නැතිව හිස හැරුනු අතේ ගිහින්.
බොහොම අමාරුවෙන් ඒ දරුවාගේ පියා මේ දරුවා හොයාගෙන ඇවිත්.
මේ දරුවා ඊට පස්සේ පාසල් යන්න බෑම කියලා. ඔහොම මාස කීපයක් ගෙදර ඉඳලා මහණ වෙන්න ඕනේ කියලා. මොනවා කිව්වත් බෑ කියලා. අන්තිමට ළඟදි මහණ කරලා.

මගේ ප්‍රශ්නය, ඉතින් දුව අම්මා ගැන අහන්නේ නැද්ද? මොන පිස්සුද මහත්තයාඅ, දුව අම්මා ගැන නිකමටවත් අහන්නේ නෑ.
තවත් ප්‍රශ්නයක්, ඩ්‍රින්ක්ස් එහෙම ගන්නවද?  අපෝ නෑ මහත්තයා. දැන් මට එක දෙයයි ඕනේ, කොහොම හරි මේ දරුවාට හොඳට උගන්න ගත්තොත් මට ඇති.
මැරෙන්න කියලා වස බීපු එක කොච්චර මෝඩ කමක්ද කියලා දැන් හිතෙනවා මහත්තයා.

කතා පොත්වල, චිත්‍රපටි වල තියන කතා අපි වටේට සැබෑවටම තියනවා, ගොඩක් ඒ කතා අපිට ඇහෙන්නේ නෑ,ඒ ඒවා හරිම හෙමින් කොඳුරන නිසාත් , අපි ඇහුන්කම් නොදෙන නිසාත් කියලා මට හිතුනා.

Tuesday, November 17, 2015

හැමෝම එහෙම නෑ

මේ ඇත්තම කතා දෙකක්. හැබැයි හැමෝමත් මෙහෙම නෑ.

කතා දෙකක්. කතා දෙකම නර්ස් නෝනලා ගැන.
පළවෙනි කතාව, රෑ අටට විතර , ටිකක් වයසක දෙමළ මනුස්සයෙක් වාට්ටුවට ඇතුලත් වුනා. හේතුව හෘදය වස්තුව සම්බන්ධ රෝගයක් (Heart failure).ලෙඩා ඇතුලත් කරලා අවශ්‍ය ප්‍රතිකාර දුන්නට පස්සේ නර්ස් නෝනා කෙනෙක් ආවා. මේ ලෙඩා ගැන අහන්න. බලාගෙන යනකොට මේ නර්ස් නෝනා තමයි මේ ලෙඩාව ඉස්පිරිතාලෙට එක්ක එන්න බෙහෙත් ගන්න යන්න කියලා උනන්දු කරවලා , ඒ මදිවට ත්‍රීවිල් එකට ගාස්තුවත් දීලා තිබ්බේ.  දවස් ගානක් අමාරුවෙන් ඉඳලා තියනවා, හැබැයි රෝහල්ගත වෙලා නෑ. කොහොම හරි මේ නර්ස් නෝනා මැදිහත් වෙලා ලෙඩාව වාට්ටුවට ඇතුලත් කලා.
පහුවෙනිදත් නර්ස් නෝනා ආවා. හොඳම හරිය ඊට පස්සේ. මේ ලෙඩාගේ දුව නර්ස් නෝනාගේ බබාව බලාගන්න කෙනා. තාත්තට සනීප නෑ කියලා සති ගානක් ඇවිත් නෑ. ඉතින් නර්ස් නෝනාට වැඩට එනකොට හරිම කරදරේ බබාව බලාගන්න කෙනෙක් නෑ.
අනේ ඩොක්ටර් මෙයාගේ ටිකට් කපන්න එපා, පුළුවන් තරම් තියාගන්න බලන්න. මෙයා ගෙදර ගියොත් බබා බලාගන්න කෙනා වැඩට එන්නේ නෑ. ඔන්න ඕකයි ඉල්ලීම.
ඒ වුනාට අපි ලෙඩාට ඉක්මනටම ප්‍රතිකාර කරවලා, සනීප වූ වහාම ගෙදර යැව්වා.

දෙවෙනි කතාව. මේකත් නර්ස් නෝනා කෙනෙක් සම්බන්ධව. මේ නර්ස් නෝනා වැඩ කරන්නේ වෙනත් රෝහලක. එයාගේ තාත්තව ගෙනත් රෝහලේ නතර කලා. මේ වයසක මනුස්සයට ශ්වසන රෝගයක් (COPD) දියවැඩියාව හා කලින්  හෘදයාබාධයක් තිබිලා තියනවා. අවශ්‍ය ප්‍රතිකාර කලා. ඉස්පිරිතාලේ හැම දෙයක්ම නෑ. ඉක්මන් සුවය සඳහා සමහර බෙහෙත් පිටින් ගෙන්න ගන්න සිදුවෙනවා, සමහර පරීක්ෂණ පිටින් කරගන්න සිදුවෙනවා. මේ මනුස්සයටත් එහෙම බෙහෙත් වගයක් ගෙන්න ගන්න ඕනේ වුනා. ඒත් එක්කම ඊසීජී පටියේ සැක සහිත වෙනස්කම් කීපයක් තිබුනු නිසා ට්‍රොපොනින් කියන ලේ පරීක්ෂාවත් කරගන්න ඕනේ වුනා. රෝගියාට ඒ තුන්ඩු දෙක දුන්නා. පළවෙනි දවසේ අහපුවාම දෙකම කරගෙන නෑ, හේතුව කවුරුත් බලන්න ඇවිත් නෑ, දෙවෙනි දවසේ , ඒත් නෑ, තුන් වෙනි දවසේ ....ඒත් නෑ. කරන්න දෙයක් නැති නිසා වෙනත් විකල්ප ප්‍රතිකාර වලට යන්න සිද්ධ වුනා. හතරවෙනි දවසේ ඒ ලෙඩාගේ දුව හෙවත් කතා නායිකා නර්ස් නෝනා ආවා, බලෙන් ටිකට් කපාගෙන ලෙඩා එක්කගෙන ගියා. හැමෝටම වැඩ තමයි, නිවාඩු නෑ තමා, නයිට් ඩියුටි තමා, ඒ වුනාට සෞඛ්‍ය සේවයේ රැකියාවක් කරන කෙනෙක් හැටියට තමාගේ තාත්තට ඒ දක්වපු සැලකිල්ල ගැන නැවතත් හිතන්න තිබුනා .

හැමෝම එහෙම නෑ.

Wednesday, November 11, 2015

දියවැඩියාව

නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය යෙදෙනවා. දියවැඩියාව ගැන කතා වෙන මේ නොවැම්බර් මුල, වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට මම දැකපු සත්‍ය සිදුවීමක් මතක් වුනා. නම් ගම් හෝ රෝහල මොකද්ද කියන එක හරි නෑ.
මේ කතාව දකින්නේ කාන්තා මානසික රෝග වාට්ටුවේදි. දියවැඩියාවයි මානසික රෝගයි අතර මොකද්ද තියන සම්බන්ධය කියලා ඔබට හිතෙනවා ඇති. මේ කතාවේ කතා නායිකාව අවුරුදු තිස් ගනනක රජයේ ලිපිකරු සේවයේ කාන්තාවක් (මගේ මතකන නිවැරදි නම් )ඇය විවාහකයි, දරුවෝ දෙන්නෙක්ද කොහෙදෝ හිටියා. වාට්ටුවට ඇතුළු වීමට හේතුව සිය දිවි නසාගැනීමට උත්සහ කිරීම. ( සියදිවි නසා ගැනීම හෝ ඊට උත්සාහ කිරීම කියන්නේ රෝගයක්, suicidal attempt මානසික රෝගයක්. ඒ කියන්නේ වහාම ප්‍රතිකාර ගත යුතුයි ) මේ කාන්තාව කළින් දවසක රෑ ගෙදර කට්ටිය නිදාගන්න ගියාට පස්සේ එයාගේ සාරියක් ගෙදර බාල්කයක් හරහා දමලා ඒකෙ කොනක තොන්ඩුවක් හදලා එල්ලිලා මැරෙන්න හදලා. කොහොම හරි සද්දේ ඇහිලා ඒ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇවිදින් බේරගෙන තියනවා. ඊට පස්සේ ඇයව හදිසි අනතුරු වාට්ටුවට දාලා තියනවා. හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර වලට පස්සේ මානසික රෝග වාට්ටුවට වැඩිදුර ප්‍රතිකාර වලට එවලා තිබුනා.

ඉතින් කෝ මේකේ දියවැඩියාවක්? තාම නෑ. මේ කාන්තාවගේ සායනික ඉතිහාසය ( clinical history ) ගන්න සිදුවුනා. සියදිවි නසාගැනීමට තැත් කිරීම හා ඊට අදාල ඇගයීමක් කරන්නත් ( Suicidal risk assessment ) මේ ඉතිහාසය වැදගත්. මේ කාන්තාව සියදිවි නසා ගන්න උත්සාහ කරන්න ආසන්නතම හේතුව තමයි අනියම් සම්බන්ධතාවයක්. මේ කාන්තාව හැමදාම උදේ හවස වැඩට යන බස් එකේ කොන්දොස්තර එක්ක අනියම් සම්බන්ධතාවක් පටන්ගෙන. තහනම් ගහේ ඵල නෙලන තරමටම මේ සම්බන්ධය දුර දිග ගිහින්. කොහොම කොහොමහරි මේක ගෙදරට ආරංචි වෙලා. යම් යම් කතාබහක් ගිහින්, ඊට පස්සේ දුක / ලැජ්ජාව හෝ තරහ නිසා මේ කාන්තාව තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා.

ඉතින් ඇයි ඉස්කෝලෙ යන දරුවොත් ඉන්න මේ කාන්තාව අර විදිහට දුර දිග ගිය අනියම් සම්බන්ධතාවක පැටලිලා තියෙන්නේ. මේ කාන්තාවගේ සැමියා නරක පුද්ගලයෙක් නෙවෙයි, බිමට ඇබ්බැහිවූවෙකුත් නෙවෙයි, ඒ වගේම අනියම් සබඳතා තියෙන කෙනෙකුත් නෙවෙයි. එකම ප්‍රශ්නෙ එයාට දියවැඩියාව තියෙනවා, ටික කාලයක් තියනවා. මේ මනුස්සයා ටිකක් පණ්ඩිතයෙක්, හරියට ක්ලිනික් එන්නේ නෑ දියවැඩියාවට හරියට පිළිවෙලට බෙහෙත් ටික ගන්නේ නෑ. ඔහොම කාලයක් ගියාට පස්සේ මේ දියවැඩියාව රෝගියාට දියවැඩියාව නිසා ඇතිවන ස්නායු දුර්වල වීම පටන්ගෙන. ( දියවැඩියාව නිඩා ගොඩාක් ස්නායු දුර්වල වෙන්න පුළුවන්.Diabetic Neuropathy  සමහර දුර්වලතා ආපසු මුල් තත්වය්ට හොඳ කරන්න බෑ. දියවැඩියාවේ ස්නායු දුර්වල වීම දියවැඩියාව තිබුනු කාලය, රුධිරයේ සීනි පාලනය අධිරුධිර පිඩනය ඉහල කොලෙස්ටරෝල් වගේ කරුණු මතත් රඳාපවතිනවා )  දියවැඩියාව නිසා එන ස්නායු දුබල වීමේ එක් දුබලතාවක් වන ස්වයංසාධක ස්නායු දුර්වල (Autonomic neuropathy)වීම මේ කාන්තාවගේ ස්වාමියාට ඇවිත්. ප්‍රතිඵලය තමයි ලිංගික බෙලහීනතාව (erectile dysfunction ) එතනින් එහාට කතාව ලියන්න ඕනේ නැතිවත් මොකද වෙලා තියෙන්නේ කියලා ඔබට තේරෙනවා ඇති.
කවුරුද හරි කවුරුද වැරදි කියලා කියන එක මගේ රාජකාරිය නෙවෙයි.මේ සිදුවීම අහපු පළමු අවස්තාවේත් මට හරි වැරදි කවුද කියලා හිතුනේ නෑ. දියවැඩියාවට හරියට බෙහෙත් බීලා ක්ලිනික් එකට හරියට ඇවිත් පාලනය වුනා නම් මේ වගේ අවාසනාවන්ත සිදුවිමක් නොදකින්න තිබුනා. ඊට පස්සේ උපදේශනයට මේ කාන්තාව යොමු කළා. ඇගේ ස්වාමි පුරුෂයා දියවැඩියාව පාලනයට වැඩිදුර පරීක්ෂණ සඳහා  යොමු කළා. එතනින් එහාට මොකද වුනේ කියලා මමත් දන්නේ නෑ

කොහොම වුනත් නොවැම්බර් මාසයේ මට කියන්න තියෙන්නේ 14 වෙනිදා විතරක් නෙවෙයි හැම මාසෙම, හැම අවුරුද්දකම දියවැඩියාව කියන මාරයා  පරාජය කරන්න හැමෝම සිහියට ගන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් දියවැඩියාව නොදැනීම හොරෙන්ම ඔබව පරාජය කරනවා. සමහර විට ඒ පරාජය ආපසු හරවන්න අමාරු වෙන්න පුළුවන්.

Wednesday, October 21, 2015

අමාරුම කාර්යය


වාට්ටුවට අවුරුදු හැට ගනනක රෝගියෙක් ඇතුලත් කළා.හුස්ම ගන්න අමාරුයිලු.පෙනහළු වල සද්දය වෙනස් (හාර්ට් ෆේලියර් Heart Failure හෙවත් හදවත නිසි පරිදි වැඩ නොකිරීම ) ඊසීජී එකක් ගත්තම පපුවේ අමාරුවක ලකුණු තියනවා, ට්‍රොපොනින් කියන රුධිර පරීක්ෂණයත් කළා හර්දයාබාධයක් කියලා තහවුරු වුනා. ඒ සඳහා නියමිත ප්‍රතිකාර නොපමාව පටන් ගත්තා. මේ රෝගියාට වකුගඩු අමාරුවක් තියනවා, දියවැඩියාව හා අධික රුධිර පීඩනයත් (ප්‍රෙෂර් ) තියනවා. කොහොමහරි හෘදයාබාධයට ප්‍රතිකාර හැටියට හෙපරින් කියන බෙහෙත පටන් ගත්තා.

ලෙඩා පොඩ්ඩක් අමාරුවෙන් හිටියේ, විශේෂඥ වෛද්‍යතුමාත් බලලා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. හවස වෝඩ් රවුන්ඩ් එකේදිත් මේ ලෙඩා එච්චරම හොඳ තත්වයක හිටියේ නෑ. රුධිර පීඩනය හෘද ස්ඵන්දන වේගය ඔක්සිජන් සංතෘප්ත(O2 Saturation ) වීම එහෙම ඔක්කොම හොඳයි. අවශ්‍ය බෙහෙත් වැඩි කිරීම සිදු කළා. ලෙඩාගේ පුතා ලෙඩා ලඟ හිටියා. පුතා එක්ක මම කතා කළා. රෝගියාගේ තත්වය පැහැදිළි කරන්න ප්‍රවේශයක් ගන්න ඒක හොඳ මගක්. මේ රෝගියා පෞද්ගලික අංශයේ පොඩි රැකියාවක් කරලා තියෙන්නේ. එකම දරුවයි ඉන්නේ, ඒ මේ ලෙඩා ලඟ ඉන්න පුතා. මේ පුතාත් සාමාන්‍යපෙළ කරල  ඊට පස්සේ පෞද්ගලික අංශයේ පොඩි රැකියාවකට ගිහින්. ආර්ථික ප්‍රශ්නත් තියනවා. කොහොමහරි මේ පුතා මගේ වයසේමයි. රෝගියාගේ තත්වය ගොඩක් අමාරු බව මම පැහැදිළි කරලා දුන්නා. රෝහලේ නැති බෙහෙතක් ගෙනත් දෙන්න කියලා තුන්ඩුවක් ලියලා මේ පුතා අතට දුන්න. දැන්මම මේ බෙහෙත ගෙනත්  දුන්නා නම් ඉක්මනට ලෙඩාට දෙන්න පුළුවන් කියලා කිව්වා. හොඳයි කියලා මේ පුතා පිටත් වුනා.

මට නිකම් මහා අමුත්තක් දැනුනා, මේ පුතා  දැන් බෙහෙත ගෙනෙන්න ගිය ටිකට ලෙඩාට අමාරු වෙලා මොකක් හරි වුනොත් ??? එහෙම වෙයිද දන්නෙත් නෑ කියලා හිතලා මම වාට්ටුවේ වැඩ කරගෙන ගියා.

විනාඩි දහයක් ගියේ නෑ, හෙද නිළධාරියෙක්  කතා කළා  H.D.U එකේ ලෙඩෙක් ඇරෙස්ට් වෙලා කියලා.මේ ලෙඩා , හෘදවස්තුව නතර වෙලා, හෘද තෙරපුම් හා ඇම්බු බෑග් එක මගින් කෘතිම ස්වසනය  (CPR & Ambu ventilation)දෙන්න පටන් ගත්තා, අදාල හදිසි වෙලාවට දෙන බෙහෙත් දුන්නා.පැය බාගයක් විතර ආපහු පන ගන්න මහන්සි වුනා.නමුත් වැඩක් වුනේ නෑ. ඒ වෙනකොටත් ඒ ලෙඩා අවසන් ගමන් ගිහින්.

එකම පුතා තමන්ගේ තාත්තා ඇස් ඉදිරිපිටම අවසන් ගමන් යන දිහා බලාගෙන හිටියා. ඒ පුතාගේ මුහුන බලන්න බෑ ඒ වෙලාවේ, පැයකට විතර කළින් ලෙඩාට අමාරුයි කියලා මම කිව්වා තමයි නමුත් මෙච්චර ඉක්මනට ගෙනා ආයුෂ ඉවර වෙයි කියලා මම හිතුවේ නෑ.
අන්තිමට අමාරුම කාරිය, අපිට ලෙඩා බේරගන්න බැරිවුනා කියලා මගේ වයසේම කෙනෙකුට, මියගිය කෙනාගේ එකම පුතාට කියන එක. බොහොම අමාරුවෙන් වචන ගලපාගෙන ඒ පුතාට පැහැදිළි කරලා දුන්නා. ඒක අහලා ඒ පුතා කෑ ගහලා අඬලා එතන දෙවනත් කළා නම් දුකක් නෑ. ඒ වෙනුවට මේ පුතා ඒ තාත්තාගේ අත අල්ලගෙන අනික් අතින් ඔලුව අතගාන්න පටන් ගත්තා. ඒ පුතාගේ කටින් එක වචනයක්වත් පිට වුනේ නෑ, කටින් කියන්න ඕනේ ඔක්කොම දේවල් ඇස් දෙක දෙපැත්තෙන් ගලාගෙන එන ජල ධාරාවන් දෙකක් මහා හයියෙන් කෑගහල කියනවා කියලා මට දැනුනා. බලා සිටිය නොහැකි හෙයින් එතනින් ඉවත් වුනා.
වෛද්‍යවරු කියන්නේ දෙවියන් නෙවෙයි, එහෙම වුනා නම් මේ රෝගියාට පණ ආපහු දෙන්න දෙපාරක් හිතන්නේ නෑ.

වෑන් දෙකක වෙනස



පොඩි සටහනක්
අමාරු ලෙඩෙකුට හදිසියේ එකෝ පරීක්ෂණයක් කරගන්න ඕනේ වුනා. ඒ සඳහා පහසුකම් තියන ළඟම රෝහල මහනුවර මහ රෝහල. ඉතින් ගම්පොල රෝහලේ ඉඳලා ගිලන් රථයකින් මේ ලෙඩාව මහනුවර අරගෙන යන්න පිටත් වුනා. අමාරු ලෙඩෙක් නිසා මගදි අමාරු වුනොත් එහෙම කියලා වෛද්‍යවරයෙක් සහ හෙද නිළධාරිණියකුත් මේ ලෙඩා එක්ක යන්න පිටත් වුනා. සාමාන්‍යයෙන් හැමදාම වෙන විදිහට ගිලන් රථය සයිරන් දමාගෙන ලයිට් දාගෙන ගියත් ත්‍රීවීල් ප්‍රයිවට් බස් ඇතුළු කිසි දවසක ලෙඩ වෙන්නේ නැති මිනිසු සත පහකට ගනන් ගන්නේ නෑ, පාරේ ඉඩ දෙන්නේ එහෙමත් කෙනෙක් තමයි.

කොහොම හරි පේරාදෙණිය හරියට එනකොට බිබිල රෝහලෙන් ආව ගිලන් රථයක් අපේ පිටිපස්සෙන් එනවා. ගැටඹේ හන්දියේ වට රවුමෙන් හරවලා අළුත් පාරට ( විලියම් ගොපල්ලව මාවතට ) දැම්මා, ඇම්බියුලන්ස් දෙකම දැන් රේස් එකක් වගේ. වැඩක් නෑ, අඩි කීපයයි යන්න පුළුවන් වුනේ, දුම් රිය එන හින්දා මහ පාර හරහා තියන ගේට්ටුව වහලා.  වාහන පෝලිමකට අහු වුනා. එතන ට්‍රැක් හතරක පාර, වාහන පෝලිම් දෙකයි.

බිබිල රෝහලේ ඇම්බියුලන්ස් එක අළුත් හයි එස් KDH හයි රූෆ් වෑන් එකක්, WP නොම්මර තියන එකක්. ඊට එහා පැත්තෙ ට්‍රැක් එකට ආවා තව ඒ ජාතියෙම වෑන් එකක්, ඒකත් WP නොම්මර තියෙන්නේ. ජෙට්වින් ට්‍රැවල්ස් එකේ වාහනයක්. විදේශිකයන් පිරිසක් බොහෝම සුව පහසුවට වාවි වෙලා ඒ සී එහෙම දාගෙන. එකම ජාතියේ වාහන දෙකක්, නොම්මරය විතරයි වෙනස්. හැබැයි ඒ දෙකේ යන මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන දේවල් අහසට පොළව වගේ ඇති. අඩි දෙකක පරතරයක්, එකම පාට එකම ජාතියේ වාහන දෙකක් නොම්මරය විතරයි වෙනස් එකක තව විනාඩියක් හරි ජීවත්වෙන්න ජීවිතය විඳවන පිරිසක්, අනෙකේ ජීවිතය විඳින පිරිසක් .( ටොයෝටා කොම්පැනියටවත් මෙහෙම හිතෙන්න නැතිව ඇති ) විදේශිකයෝ අතරින් එක්කෙනෙක් ඇම්බියුලන්ස් දෙකම පොටෝ එකක් ගන්නව මම බලාගෙන හිටියා .
කෝච්චිය ගියා  ඇම්බියුලන්ස් දෙකට යන්න අනික් වාහන ඉඩ දුන්නා, අපි දෙපිරිසම සයිරන් දමාගෙන මහනුවර රෝහල බලා පිටත් වුනා.



Thursday, October 1, 2015

වංසෙ කබල් ගෑම.



මේ කතාව හතරෙ වාට්ටුවේ ඇත්තම සිදුවිමක්.හතරේ වාට්ටුව කියන්නේ කාන්තා වාට්ටුව. එක දවසක රෑ අටට විතර, වයස අසූවක විතර ආච්චි කෙනෙක් වාට්ටුවට ගෙනාවා. හේතුව වමනය යන්න පටන් අරන් හවස ඉඳලා. කලින් ඉඳලා ප්‍රෙෂර් සහ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්. මේ ආච්චිව එක්කගෙන ආවේ ආච්චිගේ ලොකු දුව හා ලොකු දුවගේ මහත්තයා.ලොකු දුවට වයස හැටකට විතර කිට්ටු ඇති.

ආච්චිව බලලා බෙහෙත් එහෙම දීලා, ආච්චිට තනියම ඇවිදින්න එහෙම අමාරු නිසා ළඟ කාටහරි නවතින්න කියලා මම කිව්වා. කාටහරි කියන්නේ ඉතින් ආච්චිගේ ලොකු දුවට ආච්චි ළඟ නවතින්න කියලා තමයි කිව්වේ. දැන් තමයි හොඳම හරිය, සාමාන්‍යයෙන් බහුතරයක් ලංකාවේ මිනිස්සු ලෙඩාට අමාරුවක් තිබුනත් නැතත් බලෙන් ලෙඩා ගාව නතරවෙන්න අහනවා. ඒ මිනිස්සුන්ගේ හිත හොඳකම.
 ඒ වුනාට මේ ආච්චිගේ දුව එහෙම නෑ. මෙයා කැමති නෑ ආච්චි ළඟ නවතින්න. "අනේ ඩොක්ටර් මෙයාට තව දුවලා තුන් දෙනෙක් ඉන්නවා කවුරුවත් බලන්නේ නෑ මම විතරයි බලන්නේ, මමම ඉතින් නතර වෙන්න ඕනේද " " අම්මා කියන්න දොස්තර මහත්තයාට අම්මගේ අනික් දුවලගේ හැටි " කතා ගොඩායි. ඒ අස්සේ ඒ ආච්චි තනියම ඇඳෙන් බැහැලා වැසිකිළියට යන්න හදනකොට වැටෙන්න ගියා, අල්ලගත්තේ ඒ ළඟ හිටපු වෙන ලෙඩෙක්. දුව ඉන්න වෙලාවෙම ආච්චි ඔහොම නම් කවුරුවත් ළඟ නැති වෙලාවක ඇවිදින්න ගිහින් වැටිලා අනතුරක් කරගන්න ඉඩ තියනවා.
ඒකට ටිකක් සැරෙන් මම ආච්චිගේ දුවට කිව්වා "දැන්මම ආච්ච් වැටෙන්න යනවා, අනිවාර්යෙන් කවුරුහරි ළඟ නවතින්න ඕනේ කියලා "
දැන් මේ කතාබහ යන්නේ වාට්ටුව මැද, අනික් ලෙඩ්ඩු ඔක්කොමලා ඇස් කන් විතරක් නෙවෙයි රොයිටර් සී එන් එන් හිටන් ඔන් කරගෙන අහගෙන ඉන්නවා. අම්මයි දුවයි දැන් බැනගන්නවා. අම්මා කියනවා එකෙක්වත් ඕනේ නෑ මම තනියම ඉන්නම් කියලා, දුව කියනවා " තව දුවලා තුන් දෙනෙක් ඉන්නවා එයාලා කවුරුත් එන්නේවත් නෑ  මම ඔක්කොම කරන්න ඕනේ, බෙහෙත් ගෙනත් දෙන්නත් ඕනේ, ළඟ ඉන්නත් ඕනේ කියලා " තව තව කතා ගොඩයි, ඉඩ කඩම්වල මායිම් හිටං අනික් මිනිස්සු දැන ගන්න ඇති.මට නම් මේක හරිම අප්‍රසන්න කතාවක්. ලෙඩක් වුනාම මොන කතාවක්වත් වැඩක් නෑ, ඔය කතා නිදහසේ කවුරුවත් නැති තැනක කළ යුතු පෞද්ගලික කතාවල්. මුළු වාට්ටුවක්ම අහගෙන ඉන්නකොට ඒ අවුරුදු 80 අම්මගෙයි අවුරුදු 60 දුවගෙයි  බැනගැනීම ඉතාම අශෝබනයි.
කොහොමත් මගේ තීරණය අන්තිම තීරණය. ලෙඩා ලඟ කවුරුහරි නවත්තන්න ඕනේ.එච්චරයි. මම ඒ අප්‍රසන්න වාතාවරණයෙන් ඉවතට ගියා. ඇටෙන්ඩන් කෙනෙක් මේ දෙන්නටම "පිළිතුරු දිය යුතු භාෂාවෙන්" මම කිව්වානම් කවුරුහරි ළඟ තියන්න ඕනේ කියලා කියනවා  මට ඇහුනා.

කොහොමහරි බෙහෙත් වලට වමනය යන එක අඩු වුනා.
පහුවෙනිදා උදා වුනා. එදා රෑ අර දුව ආච්චි ළඟ ඉඳලා නෑ. ආච්චිව බලාගෙන තියෙන්නේ වෙන ලෙඩෙක් ළඟ හිටපු කෙනෙක් සහ අපේ වාට්ටුවේ ඇටෙන්ඩන්ලා ටික. පහුවෙනිදා මේ දුව උදේම ඇවිත් තිබුනා. මටති කියලා බලෙන් ටිකට් කපාගෙන ආච්චිව ගෙදර එක්කගෙන ගියා.

යුතුකම් කියලා දෙන්නේ නැතිව හරියට දරුවො හදන්නේ නැති අම්මලාත්, යුතුකම් ඉගෙනගන්නේ නැතිව අම්මලාට නොසලකන දුවලාත් දෙගොල්ලෝම සමාජය ඉදිරියේ අපහාසයට ලක් වීම වලක්වන්න බෑ.

Wednesday, August 19, 2015

ආච්චියි මුණුපුරායි



හතරේ වාට්ටුව කියන්නේ කාන්තා රෝගීන් ඉන්න වාට්ටුව. අගෝස්තු 14 වෙනිදා හතරේ වාට්ටුවට ඕ . පී. ඩී එකෙන් වයස හැත්තෑ පහක ආච්චි කෙනෙක් ඇතුලත් කරලා. ඇතුලත් කරන්න හේතුව තමයි ආච්චිගේ රුධිර පීඩනය හොඳටම වැඩි වීම. මේ ආච්චි කලින් ඉඳලා අධික රුධිර පීඩනයට බෙහෙත් බොන කෙනෙක්. ඉතින් හදිසියේම ප්‍රෙෂර් වැඩි වුනේ මොකද?

දැන් කතාව දහය වාට්ටුව දිහාට හැරෙනවා. දහය වාට්ටුව කියන්නේ පිරිම රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුව. මේ ආච්චි වාට්ටුවට ගෙනෙන්නට පැයකට විතර කලින් අවුරුදු දා හතක විතර කොල්ලෙක් දහයේ වාට්ටුවට ඇතුළත් කරලා. හේතුව තමයි ගැහැණු ළමයෙකුගේ ප්‍රශ්නයක් නිසා සිය දිවි නසාගන්න උත්සහ කරලා. මේ කොල්ලා මැරෙන්න කියලා හිතලා බීලා තියෙන්නේ ආච්චිගේ ප්‍රෙෂර් පෙති ටික. අර නාකි උන්දෑට ක්ලිනික් එකෙන් මාසෙකට බොන්න දෙන බෙහෙත් ටික මේ කොල්ලා හොරෙන් අරන් එක පාර බීලා මැරෙන්න හිතාගෙන.
ඒ කොල්ලාට දහයෙ වාට්ටුවෙන් ප්‍රතිකාර ලැබෙන අතරේ, හතරේ වාට්ටුවේ හිටපු ආච්චිට ප්‍රතිකාර කිරීම ඇරඹුවා. බෙහෙත් දීලා ප්‍රෙෂර් එක පාලනය කරලා එහෙම ආච්චිගෙන් ඇහුවා මොකද වුනේ කියලා. බලාගෙන යනකොට දහයේ වාට්ටුවට ඇතුළු කරලා තියෙන්නේ මේ ආච්චිගේ මුණුපුරා.

කතාව ටිකක් දුරයි. මේ තරුණයාගේ අම්මාගේ අම්මා තමයි මේ ආච්චි. මේ තරුණයා පොඩි කාලේම ඔහුගේ අම්මා මිය ගිහින්  තියනවා, ඊට පස්සේ ඒ  තරුණයාගේ තාත්තා වෙන කසාදයක් කරගෙන තියනවා, ඒ කුඩම්මා මේ කොල්ලාට හරියට වෙනස්කම් කරලා තියනවා. ඒ කුඩම්මාටත් දරුවෙක් ලැබිලා තියනවා. කාලය ගෙවෙද්දි ඒ කුඩම්මා වෙනත් කෙනෙක් එක්ක පැනලා ගිහින්, මේ තරුණයගේ පියා අධිකව බීමට ඇබ්බැහි වෙලා. බීමට ඇබ්බැහි වුනු ඒ පියා පස්සේ මිය ගිහින් තියනවා.

අන්තිමට ආච්චි මේ මුනුබුරාව හදාගෙන තියනවා.ඉස්කෝලෙ එහෙමත් යවලා. කොහොම කොහොම හරි මේ කොල්ලගෙත් යන්තම් රැවුල එහෙම එන කාලේ වෙනකොට ගෑනු දැරිවියකට හිත ගිහින්, හැබැයි ඒ ප්‍රේම කතාවේ දුෂ්ටයා තමයි ඒ කොල්ලාව පොඩි කාලේ ඉඳලා හදාගත්ත ආච්චි. වැරදිද හරිද කියන්න නම් දන්නේ නා. කොල්ලාගේ අන්තිම තීරණය වෙලා තිබුනේ පෙම් ලොව බාධා හින්දා ජීවිතය නැති කර ගැනීම.

ජීවිතය නැති කර ගන්න මේ කොල්ලා කරලා තිබුනේ ආච්චිගේ මාසයක ප්‍රෙෂර් පෙති ටික එක පාර බිව්ව එක. බෙහෙත් ටික නැති නිසාත් මුණුපුරා කරගත්ත ගොන් වැඩේ හින්දයි අර වයසක උන්දෑගේ ප්‍රෙෂර් එක සෑහෙන්න ඉහළ නැගලා.
 කොහොම හරි ආච්චිගේ ප්‍රෙෂර් එක ටිකක්  අඩු වුනාම නොන්ඩි ගගහා දහයේ වාට්ටුවට ගිහින් මුණුපුරාව බලලා එනවා මම දැක්කා.

හොඳම වැඩේ ඊටත් පස්සේ, ආච්චි ටිකට් කපාගෙන ගෙදර යන්න කලබලේ ( අගෝස්තු  ) 15 වෙනිදාම, මොකද කියල බැළුවම 17 වෙනිදා චන්දේ දාන්න යන්න. විශේෂඥ වෛද්‍ය තුමාටත් ආච්චි කිව්වා යන්න ඕනේ කියලා හේතුවත් එක්කම. ප්‍රෙෂර් එක ඒ වෙන විට අඩු වෙලා තිබුන නිසා ආච්චිව ගෙදර යැව්වා, මේ පාර බෙහෙත් ටික  පරිස්සම් කරගන්න කියලත් කිව්වා ගෙදර යනකොට.  

(ඇත්ත කතාවක් )

Monday, July 6, 2015

සමහරු මිය යන්නේ වසබී....



මිනිස්සු වස බොන්නේ මැරෙන්න හිතාගෙන. මැරෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා.සිය දිවි නසාගැනීමත් සියදිවි නසාගැනිමට උත්සහ කිරීමත් මානසික රෝගයක්.ඒ කියන්නේ ලෙඩක්, ඒ කියන්නේ බෙහෙත් කරන්න පුළුවන්. බෙහෙත් කරලා උපදේශන සේවයට යොමු කරලා සිය දීවි නසාගැනීමට සිතීම උත්සහ කිරීම හොඳ කරන්න පුළුවන්.

සමහරු මැරෙන්න හදන්නේ කවුරුත් එපා කියලා.හැබැයි ඒ අය මැරෙන්න කලින් ලියුමකුත් ලියනවා ආදරණීය....... වෙතයි කියලා.

මිනිස්සු මැරෙන්න විවිධ ක්‍රම හොයාගන්නවා, ගඟට පනිනවා කෝච්චියට බෙල්ල තියනවා එල්ලෙනවා හැබැයි මේ කට්ටිය ඔක්කොම එකේ වාට්ටුව ගාවින් නතර වෙනවා.එකේ වාට්ටුව කියන්නේ ශල්‍ය වාට්ටුව.
අමහරු වස විස බීලා මැරෙන්න උත්සහ කරනවා, එයාලා තව ටිකක් උඩහට ඇවිත්  දහය වාට්ටුවට එනවා. අද කතාව වස බීම හා සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම ගැන.

මිනිස්සු මැරෙන්න හිතාගෙන බොන සමහර දේවල් ඇහුවම හිනා යනවා මුන් මෙච්චර මෝඩද කියලා (හික්ස් එහෙම හිනාවෙන්න හොඳ නෑනේ )
වස බීල වාට්ටුවට ගෙනාවම ඒ ඒ වස හෝ බීපු වර්ගය අනුව කරන ප්‍රතිකාරය වෙනස්, නමුත් මේ හැම එකටම පොදු අංග කීපයක් තියනවා.වස බීපු වෙලාව අනුව බෙහෙත් කිරීම වෙනස් වෙනවා.හොඳට සිහිය තියනවා නම්  සබන් වගේ දියරයක් බොන්න දීලා වමනය කරවනවා, නැත්නම් එන් ජී බටයක් දාලා බීපු ද්‍රව්‍ය අවශෝෂණයට කලින් අයින් කරනවා (NG suction). ඊට පස්සේ සක්‍රීය කාබන් (Activated charcoal ) බොන්න දෙනවා එතකොට ඒකට විශ අංශු අධිශෝෂණය වෙනවා.

කතාව ඕක නෙවෙයි.

එක දවසක ආවා අවුරුදු 18 ක කොල්ලෙක්. කොණ්ඩෙ එහෙම අමුතු විදිහට කපලා, මෝස්තර කාරයෙක් වගෙයි බැලූ බැල්මට.මොනවද බීලා තියෙන්නේ. හාපික්. ඔව් ඔව් අර රොජර් සෙනෙවිරත්න ටීවී එකේ ගෙවල් ගානේ ගිහින් ටොයිලට් හෝදන්න කියලා ඇඩ්වටයිස් කරන්නේ හාපික්, ඒවා තමයි. මේ කොල්ලා ළඟදි කෙල්ලෙක් එක්ක යාළු වෙලා, මේකට අම්මා අකමැති වෙලා. අම්මව බය කරන්න මැරෙන්න තමයි හාපික් බීලා තියෙන්නේ.
දැන් අර යාළුවෙච්ච කෙල්ල හින්දි පිචර් එකක වගේ කඩාගෙන බිඳගෙන  අඬාගෙන හොටු පෙරාගෙන කොල්ල බලන්න දුවගෙන එයි කියලානේ හිතන්නේ? ඇවිත් උකුලේ ඔළුව තියාගත්තම කොල්ල අන්තිම වචන ටික කියලා මැරෙයි කියලානේ හිතන්නේ. ....... තමයි. අර අහිංසක අම්ම තමයි බත් එකත්  අරගෙන පුතංඩියා බලන්න එන්නේ.හාපික් බිව්වට මැරෙන්නේ නෑ සාමාන්‍යයෙන්. (බඩේ පණුවො නම් මැරුනද දන්නේ නෑ  ) ඉතින් මේ කොල්ලව අපි මනෝවෛද්‍ය ප්‍රතිකාර වලටත් යොමු කරලා යහතින් ගෙදර යැව්වා.ඒකාටම ලැජ්ජයි අන්තිමට කරපු දේ ගැන

දෙවැනි කතාව,

මේක වුනේ රෑ 11ට විතර. ඇමතුමක් ආවා. ගිහින් බලනකොට අවුරුදු 16 ක කොල්ලෙක්. ඉස්කෝලෙ යන කොල්ලේක් ගෑනු ළමයෙක්ගේ සම්බන්ධයකට ගෙදරින් විරුද්ද වුනා කියලා පැනඩෝල් (පැරසිටමොල් ) බීලා. මේක නම් සෙල්ලමක් නෙවෙයි. පැනඩෝල් යම්කිසි ප්‍රමානයකට වඩා බීම මාරාන්තිකයි. ඊට අඩුවෙන් බිව්වම අක්මාවට හොඳටම හානිකරයි.එතකොට ටික ටික ලෙඩ වෙවී මැරෙන්නේ විඳවලා. ( මේ ප්‍රමාන කියන්නේ නැත්තේ හිතාමතාමයි ) මේ කොල්ල අවිත් තිබුනේ අම්මයි තාත්තයි අක්කයි එක්ක. අම්මයි තාත්තයි හොඳවයින් කොල්ලට අමතනවා.මනෝ උපදේශනය උපරිමයට දෙනවා. අක්ක අඬනවා, මල්ලිට බනින්න එපා කියනවා. අක්ක විතරයි කිව්වේ අනේ ඩොක්ටර් මල්ලිව බේරලා දෙන්න කියලා. අවශ්‍ය ප්‍රතිකාරය කළා, සෙල්ලමට පොඩි දේටත් පැනඩෝල් බීලා ආවම පන බේරලා හෙන්න දෙන බෙහෙත් ටිකට ආණ්ඩුව ලක්ෂ ගනනක් වියදම් කරනවා කියලා මේ බොන අයට අපි යනකොට මතක් කරලා දෙනවා.අන්තිමට බලාගෙන ඉන්න බැරි තැන මේ කොල්ලගේ තාත්තට මම කිව්වා දැන් බැන්නා ඇති අපිට බෙහෙත් කරන්න දීලා යන්න කියලා. වස බොනකම් හදාගන්න බැරි උන එකාව මහ රෑ  බීලා ආවම හදන්න හදනවා. කොහොමත් මේ කොල්ල දවස් ගනනක් වාට්ටුවේ හිටියා, හැමදවසකම වගේ බලන්න ආවේ අක්කා විතරයි. ටිකට් කපලා යනකොටත් අක්කා තමයි මල්ලිව එක්කගෙන ගියේ. ඉතින් කොල්ල වස බොන්න ඇත්තේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දෙමව්පියෝ දරුවන් ගැන මීට වඩා උනන්දුවෙන්න ඕනේ කියල මට හිතුනේ.

සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු (ඉස්පිරිතාලෙට අපි එකට යමූ )

 පේමයෙන් මන රංජිත වූ නන්දිත වූ අවුරුදු 16ක ඉස්කෝලෙ යන ජුලියට් කෙනෙක් හා ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා රස්සාවකුත් කරන 18ක රෝමියෝ කෙනෙකුයි, ගෙවල් වලින් අකමැති කියලා, පෙම් ලොව බාධක හින්ඳා මතු සංසාරේ උපදීවා අප මතු අත්  භවයක මිනිස් හඬින් තොර පාළු දූපතේ කියලා කොල්ලා මල්ලිගේ පෙනිසිලින් ටික බීලා (මල්ලි රුමටික උනට පෙනිසිලින් බොන කෙනෙක් ) කෙල්ල පිරිටන් 10ක්  බීලා මැරෙන්න හිතාගෙන. දෙන්න ගැහැනු හා පිරිමි වාට්ටු දෙකට වෙන වෙනම ගෙනත් දැම්මා.ප්‍රතිකාර ටික කෙරුනා. ඉතින් දෙපාර්ශවයේ නෑදෑයෝ නැකැත් එහෙම වාට්ටුවේදීම මාරු කරගන්න ඇති කියලා මට හිතුනා. දෙගොල්ලෝ මංගල කටයුතු ඔක්කොම වාට්ටුවේදීම කතා බහ කර ගන්න ඇති. :D

මේ කියන දේවල් නිකම් විහිළු වගේ කිව්වට මේ ලෙඩ්ඩු ඉස්සරහ බොහෝම සීරියස්, මොකද කියල කියනවා නම් සියදිවි නසාගැනීම හෝ උත්සහ කිරීම මානසික රෝගයක්. රෝගයකට හිනාවෙන්න හොඳ නෑ.ඒකට බෙහෙත් කරන්න ඕනේ.මානසික වෛද්‍ය සායනයටත් යොමු කරවලා මේ පිරිඅ ගෙදර යැව්වම ආපහු මෙහෙම දෙයක් නොකරගනී කියල පොඩි හරි විශ්වාසයක් අපිට තියනවා.

Sunday, July 5, 2015

ගමන



තවත් දවසක්, දහය වාට්ටුවේ කලබලකාරී උදෑසනක්.අවුරුදු තිස් ගානක එක් දරු මවක් බොහොම කළබලයෙන් ට්‍රොලියක පටවාගෙන ඇවිත් වාට්ටුවට ඇතුලත් කළා. කලින් මීමැස්මොරය ( Epilepsy) රෝගයට බෙහෙත් ගත්ත කෙනෙක්, බෙහෙත් නවත්තලා අවුරුදු දහයක් විතර , ෆිට් එක්ක ඇවිත් නෑ අවුරුදු දහයකටම, ආපහු එදා පාන්දර ෆිට් එකක් ඇවිත්.

කොහොම හරි ලෙඩාට අවශ්‍ය ප්‍රතිකාර කලා, වාට්ටුවේ ඉන්නකොට ආපහු ෆිට් එකක් ආවේ නෑ.විශේෂඥ වෛද්‍යතුමා මේ රෝගියා බලලා ඊ ඊ ජී පරීක්ෂණයක් කරගන්න කියලා උපදෙස් දීලා  අයදුම්පතකුත් අත්සන් කරලා දුන්නා.

එදා දවස ගෙවිලා ගියා. හවස ලෙඩාව බලනකොටත් කිසි ප්‍රශ්නයක් නෑ, හොඳට කාලා බීලා ලෙඩා නිදා ගන්නත් ලෑස්ති වෙනවා.
වාට්ටුවේ වැඩ ටික ඉවර කරලා නිලනිවසට (කාමරයට ) ගියා, රෑ දහයට විතර මෙන්න ආපහු වාට්ටුවෙන් කතා කරනවා. මේ ලෙඩාට ෆිට් එකක් ඇවිත්. මගේ කාමර සගයා තමයි එදා ඔන් කෝල් (ඒ කියන්නේ ඇමතුමකදි වාට්ටුවට මුලින්ම වාර්තා කරන්න ඕනේ ) යාළුවා එක්ක මමත් ගියා ලෙඩා බලන්න. ෆිට් එකක් ඇවිත් තමයි. අදාල හදිසි ප්‍රතිකාරය දුන්නට පස්සේ වැඩේ හරි.

කතාව පටන් ගන්නේ ඊට ගොඩක් පස්සේ. පාන්දර තුනට විතර ආපහු මේ ලෙඩාට ෆිට් එකක් ඇවිත් , ඒක ලේසියෙන් නැවතිලා නෑ. බෙහෙත් වලට නැවතිලත් නෑ, ජේෂ්ඨ වෛද්‍ය නිළධාරි අයියත් ඇවිත් බැලුවා, හරි ගියේ නෑ, අන්තිමට විශේෂඥ වෛද්‍යතුමියටත් කතා කරන්න වුනා, ඒ උපදෙස් අනුව වැඩ කරලත් ෆිට් එක නැවතුනේ නෑ, අන්තිම පියවරට යන්න සිදුවුනා, ඒ තමා ලෙඩාව සිහි නැති කරලා කෘතිම ස්වසනය නලයක් මගින් දෙන්න, සමහරවිට ඔබ දැකලත් ඇති ඇම්බු බෑග් (Ambu) කියලා බෝලයක් වගේ එකක් මගින් කෘතිම ස්වසනය දෙනවා. බෙහෙත්  කීපයකුත් දිගටම යනවා, දැන් යන්තම් ෆිට් එක පාලනය වුනා. වැඩ කරන එකම මොනිටරයක්වත් නැතිව, ඕන කරන බෙහෙත් වාට්ටුවේ හරියට නැති හින්දා ඉස්පිරිතාලේ වාට්ටු ගනනේ ගිහින් ඉල්ලගෙන ඇවිත් හදිසි තත්වයක් පාලනය කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි, කාඩියැක් මොනිටර් (Cardiac monitor) එහෙම හරියට වැඩ කරන්නේ නෑ, ඒවා සපයන්න ලොකු තැන් වලට උවමනාවකුත් නෑ, බොහෝම අඩුපාඩු මැද කාර්යමණ්ඩලයේ කැපවීම මත ලෙඩ්ඩු බේරෙනවා. ඉතින්
මෙහෙම බටයක් දාලා වාට්ටුවේ දිගටම කෘතිම ස්වසනය දිදී තියාගන්නත් බෑ, ඒකට දැඩි සත්කාර ඒකකයකට යවන්න ඕනේ යාන්ත්‍රිකව කෘතිම ස්වසනය දෙන්න.
විශේෂඥ වෛද්‍යතුමියත් කොහොම හරි පාන්දර 5.30 විතර වෙනකොට ආවා. දැන් හතර අතේ කතා කරනවා අයි සී යූ ඇඳක් හොයාගන්න. කොහොම හරි අන්තිමට නාවලපිටිය රෝහලේ ඉඩක් තියනවා කියලා හොයාගන්න පුළුවන් වුනා. පොඩි ප්‍රශ්නයක් නැත්තෙමත් නෑ. ඒ මොකද කියනවා නම් මේ ලෙඩාගේ සී ටී පරීක්ෂණයක් එහෙමත් කරන්න වෙනවා.එතකොට මහනුවර හරි පේරාදෙනියේ අයි සී යූ එකක හිටියා නම් වැඩේ ලේසී.

කොහොම හරි විශේෂඥ වෛද්‍යතුමියගේ කැපවීම මත අන්තිමට මහනුවර මහ රෝහලේ අයි සී යූ එකේ ඇඳක් හිස් කරලා ලබාගන්න පුළුවන් වුනා. දැන් ලෙඩාව නුවර ගෙනියන්න හදන්නේ. වෙලාව උදේ හය හමාර විතර ඇති.ලෙඩ්ඩු බලන්න නෑදෑයෝ එන වෙලාව. ලෙඩාගේ සැමියත් ලෙඩාව බලන්න ඇවිත්.මේ ලෙඩාගේ සැමියාගේ මූන බලන්න බෑ, මොකද කියනවා නම් දුක වගේම අවිනිශ්චිතතාවයකින් මූන පුරවාගෙන අහස උසට ලොකු බලාපොරොත්තුවකින් බිරිඳගේ ජීවිතය අපේ අතට බාරදීලා නිහඬව බලාගෙන ඉන්නවා. කොහොමහරි මේ ලෙඩාව ඊට පස්සේ ගිලන් රථයෙන් ගම්පොළ ඉඳලා මහනුවරට ගෙනියනවා. දිගටම කෘතිම ස්වසනය දෙන ගමන් තමයි යන්නේ.
ගිලන් රථය එළි දල්වාගෙන සයිරන් නාද කරගෙන යනවා. මග දිගට මිනිස්සුන්ගේ නොමිනිස් හැසිරීම් දැක්කම කෝපයක් ඇතිවෙන එක වලක්වන්න බෑ.පාරේ බහුතරයක් ත්‍රීවීල් කාරයන්ට නම් කිසි ගානක් නෑ.ඇම්බියුලන්ස් එකක් ලයිට් විතරක් දාගෙන යනවා කියන්නේ අමාරු ලෙඩෙක් ගෙනියනවා හැබැයි ගොඩාක්ම අමාරු නෑ ලොකූ හදිසියක් නෑ.සයිරන් එකත් දාගෙන යනවා කියන්නේ හොඳටම අමාරු ලෙඩෙක් ඉතාම හදිසි කියන එක.(අනික් තැන්වල කොහොමද දන්නේ නෑ, හැබයි ගම්පොල නම් ඇම්බියුලන්ස් රියදුරු මහතා ඒ යන වෛද්‍යවරයාගෙන් අහනවා සයිරන් එක දාන්න ඕනේද කියලා )දෙපාරක් හිතන්න එපා කොච්චර හදිසි වුනත් කමක් නෑ අයින් කරලා පාරේ ඉඩ දෙන්න. සමහරවිට ඔබ නොදැනුවත්වම ඒ ඇම්බියුලන්ස් එකේ යන්නේ ඔබේ ආදරණීයයෙක් වෙන්නත් පුළුවන්.
ඇම්බියුලන්ස් එකක් එනවා දැක දැකත් කහ ඉරෙන් ලතාවට පාර පනින මිනිස්සු, වෙට්ටු දාන ත්‍රීවිල් කාරයෝ වගේම සුපිරි ජීප් රථයක, නලා හඬවලත් ඉඩ නොදුන් කිසිදා රෝගී නොවෙන මිනිසාත් හැරුනම ඉඩ දුන්න හැමෝටම පින් දීලා අපි මහනුවරට ආවා.

මහනුවරට දැන් රෝගියාව ඇතුලත් කළා.මහනුවර හදිසි ප්‍රතිකාර ඒක්කයේදී රෝගියාව පරීක්ෂා කළා, හදිසි සී ටී පරීක්ෂණයක් හා ඊ ඊ ජී පරීක්ෂණයක් කරන්න සැලසුම් කළා. මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ලෙඩාව අපි අරගෙන ගියා තමයි, දැන් මහනුවරින් බාරගෙන තියෙන්නේ, හැබැයි ලෙඩාව සීටී පරීක්ෂණයට ගෙනියන්න කවුරුත් නෑ. ඒකට මහනුවර රෝහල් කාර්යමණ්ඩලය එන්නේ නෑ. අපේ  කට්ටියටම ලෙඩාව මේ හැම තැනටම එක්ක යන්න වුනා. කෘතිම ස්වසනය දෙන ලෙඩෙක් තනියම යවන්නත් බෑ, හදිසියක් වුනොත් කියලා වෛද්‍යවරයෙකුත් යන්න ඕනේ.
කොහොම කොහොමහරි ඔය පරීක්ෂණ ඔක්කොම ඉවර කරලා අයි සී යූ එකට ලෙඩාව දානකොට දවල් එකොළහත් පහු වෙලා.පාන්දර ඉඳලා දඟලලා දඟලලා කොහොමහරි ලෙඩාඅගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වුනා. මෙතන කාර්යමණ්ඩලයෙන් නේවාසික වෛද්‍යවරයා වන මම විතරයි පාන්දර ඉඳලා ලෙඩා එක්ක ඉන්නේ, නර්ස් නෝනයි ඇටෙන්ඩන්ලා දෙන්නයි උදේ වැඩට ආව අය.
උදේ  පාන්දර ඉඳලා මේ ලෙඩා එක්ක ඔට්ටු වෙලා අන්තිමට අයි සී යූ එකට  නිරුපද්‍රිතව   ගෙනත් බාර දුන්නට පස්සේ මහන්සියයි බඩගින්නයි එක්ක එලියට එන්න හදනකොට මේ ලෙඩාගේ  ලඟ උදේ ඉඳන් හිටපු අක්කා මට කතා කළා.  "ඩොක්ටර් ගොඩක් පින් කරපු හැමදේටම, උදේ ඉඳලා මහන්සි වුනා, වතුර ටිකක්වත් නෑ නේද,යෝගට් එකක් තියනවා කන්න සර් " කියලා කිව්වා. ඒ වචන ටිකම ඇති බඩ පිරෙන්න. සමහර විට ඒක මේ ලෙඩාට ගෙනාව යෝගට් එක වෙන්න ඇති. මම ඒක එපා කියලා පින් දුන්නට ස්තූති කරලා, ඒ පින කලින් දවසේ නිදිමරාගෙන මේ ලෙඩාව බලපු මගේ මිතුරාටත් ජේශ්ඨ වෛද්‍ය නිලධාරී අයියාටත් , පාන්දරම ඇවිත් වැදගත් තීරණ ඉක්මනින් ගත් විශේෂඥ වෛද්‍යතුමියටත් අනුමෝදන් කරලා එන්න පිටත් වුනා.


Monday, June 8, 2015

හයේ වාට්ටුවේ අන්තිම කතාව



මේ තැනැත්තිය අවුරුදු දහ අටයි, පළවෙනි බබා හම්බවෙන්න බලාපොරොත්තුවෙන් වාට්ටුවේ නැවතිලා හිටියේ. බබා ඉපදුනා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. දැන් ටිකට් කපලා ගෙදර යන්න ඉන්නේ. හැබැයි ටිකට් කැපුවාට ගෙදර යන්න දෙන්නේ බබාගේ උප්පැන්න ලියාපදිංචි කලාට පස්සේ. එහෙම කරන්නේ ගොඩක් අය උප්පැන්න ලියාපදිංචි කරගන්න උනන්දුවක් නෑ, ඔහේ ගෙදර යනවා. ළමයාගේ උප්පැන්න මතක් වෙන්නේ ඉස්කෝලෙ දාන්න මතක් වුනාම. එතකොට ඇවිත් වාට්ටුවේ කරදර කරනවා පරණ වාර්ථා හොයලා දෙන්න කියලා. ඒක කරන්න බැරි වැඩක්.ළමයාගේ උප්පැන්න ලියාපදිංචි කරන්න අම්මගෙයි තාත්තගෙයි හැඳුනුම්පත් විවාහ සහතිකය වගේ ලියකියවිලි අවශ්‍ය වෙනවා.

දැන් ඉහත කී අම්මාව ටිකට් කැපුවට ගෙදර යන්න විදිහක් නෑ, දරුවාගේ උප්පැන්න හදාගන්න විදිහක් නෑ.බැලින්නම් මේ අම්මට හැඳුනුම් පතක් නෑ (අයිඩින්ටිටි කාඩ් එකක් නෑ ) ගෙදර අමතක වුනාද ඇහුවා, නෑ මට අයිඩින්ටි කාඩ් එකක් නෑ කියලා මේ අම්මා උත්තර දුන්නා. මගේ දෙවනි ප්‍රශ්නය, උපන්දිනය කවද්ද? "මම හරියටම දන්නේ නෑ 1995 කියලා කිරිඅම්මා කියල තියනව ඉස්සර" .

මේ අම්මගේ නොකී කතාවක් ඒ උත්තරය

 පිටිපස්සේ සැඟවිලා තියෙනවා කියන එක මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

කතාව මේකයි, මේ අම්මාගේ අම්මයි තාත්තයි නිතරම ගෙදර අඬදබර තිබිලා තියනවා, මේ කතා නායිකාවගේ දෙමව්පියන් කුළී වැඩ කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ පියා බීමට බොහොම තදින්ම ඇබ්බැහි වෙලා ඉඳලා තියනවා. පොඩි කාලේ හරියට කෑමක් බීමක්වත් තිබිලා නෑ.කන්න බොන්න දෙන්නේ නැති අඩදබර තිබුනු ඒ නිවසේ මේ දරුවන්ගේ උප්පැන්න සහතික ගැන කවුරු හොයන්නද? කොහොමහරි කිරිඅම්මා මැදිහත් වෙලා ගමේ පොඩි ඉස්කෝලෙට මේ තැනැත්තියව යවලා තියනවා. මේ කතා නායිකාවට මල්ලි කෙනෙකුත් ඉන්නවා. හැඳි නොගා හදන හොද්දයි තව මොකද්දෝයි හරියට හැදෙන්නේ නෑ කියනවා වගේ ඒ මල්ලි හොරකමකට අහුවෙලා මේ වෙනකොට ඉන්නේ හිරේ ලු.

කාලය ගතවෙනකොට ඒ ගෙදර තත්වය එන්න එන්නම නරක් වෙලා තියනවා. බීමත් පියා ඒ ගෙදර අපායක් කරලා තියනවා. මේ කතා නායිකාවට වයස පහලොව විතර වෙද්දි ඒ බීමත් පියා මිය ගිහින් තියනවා. ඊට පස්සේ මේ තැනැත්තියගේ මව ආපසු කසාදයක් කරගෙන. ඒත් වැඩි වෙනසක් නෑ, ඒ මිනිහත් බේබද්දෙක්, ගොඩක් කරදර වලින් මේ දැරිවිය බේරගෙන තියෙන්නේ කිරි අම්මා. ටික කාලෙකින් කිරි අම්මත් මේ ලෝකේ හැරගිහින්. බේබදු බාප්පයි, දරුවගේ උපන්දිනයවත් නොදන්න අම්මයි බීමට ටික ටික හුරුවෙන මල්ලි කෙනෙකුයි එක්ක ඉන්නකොට අර මිහිපිට අපාය මෙහිම ඇත කියලා කව්දෝ කියපු එක මතක් වෙන්නත් ඇති. කොහොම කොහොමහරි ආර්ථික තත්වයත් හොඳටම නරක්වේගෙන ඇවිත් තියනවා .
මේ කතානායිකාවත් දැන් ගෙදරට බරක්වේගෙන ඇවිත් තියනවා. ඉස්කෝලෙ යනවා ඒකත් ඉඳහිට, ඊට වඩා හොඳයි කසාදයක් කරලා දුන්නොත් කියලා ඒ අම්මටයි බාප්පටයි හිතිලා තියනවා. ඉස්කෝලෙ ගමන මගදි නවත්තලා කසාදයක් කරලා දීලා. අඩුමගානේ සාමන්‍යපෙළ වත් කලා නම් අඩුමගානේ අයිඩින්ටි කාඩ් එකක්වත් හැදෙයි.

ඔන්න ඕකයි කතාව. හොඳ පැත්ත තමයි ත්‍රීවීල් රියදුරෙක් වන මේ තැනැත්තියගේ සැමියා මැයව හොඳින් බලාගන්න එක. මේ කතාව කියලා ඉවරවෙනකොට මේ අම්මා අලුත උපන් දුවත් ඔඩොක්කුවේ තියන් ඉකි ගසා අඬනවා.

මේ අම්මගෙන් මම අන්තිමට එක ප්‍රශ්නයක් ඇහුවා. "අම්මට විශ්වාසද ඔයාට වුනු දේ දරුවට නොවෙන්න බලාගන්න පුළුවන්ද කියලා ?" මේ අම්මා කිව්වා "ඔව් සර් මොනවා වුනත් මගේ දුවට හොඳට උගන්වනවා, මහත්තයත් ඉස්කෝලෙ ගිහින් නෑ,  ඒ වුනාට එයා බොන්නේ නෑ, ඒකම මට ඇති "

මගේ අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න ඕනේ කියලා හයේ වාට්ටුවෙන් නික්මිලා දහයේ වාට්ටුවේ වැඩ බාර ගන්නකොට මට අන්තිමට ආයෙත් හිතුනා.
 

Monday, May 25, 2015

තට්ටයාගේ බබා



මැද මෙන් මුලද හිසකෙස් තරමින්    අඩුවූ
දුටු විට දසන් විහිදා මදහස               දැක්වූ
හමුවී මදක් දොඩනට මා හට           සිත් වූ
නමක් නොදත් තට්ටය මට මතක       තිබූ

තට්ටය එන තුරුම කල් යල් බලා          සිට
පලවෙනි දුවව ලැබුමට රෝහලට        හෙට
බිරිඳත් කැටුව විත් අත් බැඳ නමා           හිස
තට්ටය නිසා ඒ රුව මට මතක              ඇත

දරුවා ලැබුනු පසු දොළහේ කනි         සමට
පළමුව දිව ඇවිත් පෙන්වා සතුටු            සිත
මල්ලක් පුරා අළුතින් රෙදි පිළිද          ගෙන
හේතු නැතත් ඒ තට්ටය මතක              ඇත

සවසද හනික දිව විත් පහ වැදුනු                  විට
නලවා දුවව ඔසවා අත ගගා                        හිස
කළුවන් කෙසඟ නිල්වන් නෙත බලා           සිට
පිය පදවියකි සතුටින් තට්ටයට                     යට

Wednesday, April 22, 2015

වමනය

මිලත් අගනා තැනත්          අගනා
බොජුන් උයනා රජුන්         බුදිනා
කුසත් පිරෙනා තවත්        සොයනා
සිතක් පිරෙනා තරම්            බුදිනා


පුරනා තරම් බස් රථයක මහ             සෙනඟ
ගුගුරා අහස කළු කරනා ලෙස             දැනින
විඳිනා නොහැකි ලෙස දැනෙනා කුස      රිදුම
උතුරා ගලන ලෙස පුපුරා වැව්              බැම්ම


දෑසම උඩට ඇදුනා නොදැනී            ඉහල
හුස්මත් පහළ නොයවා සිරවුන         තරම
හේවිසි බෙර නැටුම් පෙරටුව මග      ගමන
ඇදුනා ඉහල රජ  බොජුනම යනු        පිටත


මහ හඬ නගා රජ බොජුනකි බිම                  වැඩිය
මදහස නඟා උදරය හෙමිහිට                       කියන
රජ හට වුනත් හිමි නැතිනම් රජ                  කිරුල
පොළවට වැටෙයි එම විට සැනසෙයි         සැවොම


යමහල



පොළව මත්තෙහි නොම     පෙනී
කැකෑරී යට උනු                  වෙවී
මුවින් ලාවා විසි                   වෙවී
පිට කලා යමහල                  ගිනි

මවා හැඩ තල යට          ගිනි
ලාවා ගොසින් ගල්        වුනි
වියරුවෙන් උන් වද       විඳි
යමහල දැන් තුටින්        නිදි

ඉක්මවා ගොසින්                සීමා
වද දුන් පසු යවා                 ලාවා
දැනෙන සුව මෙතෙක්        වේවා
කියා යමහල සිනා              පෑවා

Saturday, April 18, 2015

වීදුරු කටු

යකඩ සපත්තුවෙන්
හැමදාම පාගන
දූවිල්ල අතර
ඉඳ හිට
වීදුරු කටු
ඇති බව
යාන්තමට
ලේ බිඳුවක්
යටි පතුලෙන්
නොදැනුනත්
එළි බහින බව
පෙනෙනතුරු
නොසිතෙන අන්දම

Tuesday, April 14, 2015

අළුත් අවුරුද්ද 2015



ජීවිතේ පළවෙනි වතාවට අළුත් අවුරුදු දවසේ ගෙදර නොසිට වැඩට ආවා. ඇයි අනේ මම විතරක් වැඩට යන්නේ, අනික් හැමෝම ගෙදරට වෙලා අවුරුදු සමරනවා.වැඩට යන්න බෑ කියලාමයි හිතුනේ. උදේ අවදිවුනාම ගෙදර ඉන්නමයි හිතුනේ.අවදිවෙන්න පරක්කු වුනාම තාත්තා ඇවිත් නැගිටින්නේ නැදද කියලත් ඇහුවා. උදේ හයට කිට්ටු කරලා අවදි වුනාම අම්මා උදේටයි දවල්ටයි කන්න බත් උයලා, ඒ මදිවට අනික් නේවාසික වෛද්‍යවරු හතරදෙනාටත් අතිවෙන්න බත් මුල් දෙකකුත් බැඳලා. අද අපේ චමරියේ කෑම උයන කෙනා නිවාඩු නිසා අම්මාගේ බත් මුල් දෙක කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. ඒ එක්කම කැවුම් උඳුවැල් ආදී රස කැවිලි පාර්සලයකුත් ඔතලා. දැන් නම් කොහොමත් වැඩට යන්නම වෙනවා.

වෙනදාට මහපාරේ අයිතිකාරයෝ වුනු පෞද්ගලික බස් ඔක්කොම පාර අයිනේ නිදි, මහපාරේ සින්නක්කර ඔප්පු තිබුන ත්‍රීවිල් ඇත්තෙම නැති තරම්. වාහන ඔක්කොම වගේ අත්‍යවශ්‍ය සේවා වලට යන උදවියගේ. මහපාරේ බොහෝම සංවරව වාහන යනවා.

කොහොම කොහොමහරි ගම්පොළ ශික්ෂණ රෝහලට උදේ අටට කලින් ආවා. කියන්න හදන කතාව පටන් ගන්නේ දැන්. මුලින් කී ඔක්කොම වල්පල්. නවයේ වාට්ටුවේ කතාවක්. නවය වාට්ටුව කියන්නේ නාරිවේද (gynecology) වාට්ටුව. වාට්ටුවේ හිටියා සති විසි හයක දරු ගැබක් සහිත අම්මා කෙනෙක්, මෙයා ඇවිත් තිබුනේ බඩ රිදෙනවා කියලා. ස්කෑන් එකක් එහෙම කරලා තිබුනා, බබා හොඳට හිටියා. හැබැයි බඩේ අමාරුව එන්න එන්නම වැඩි වුනා. අන්තිමට මේ අම්මා නියමිත කාලයට පෙර සිදුවෙන ප්‍රසූතියකට ගියා.[Preterm delivery නියමිත කාලයට පෙර ප්‍රසූතිය කියන්නේ අඩු සති ගනනකින් දරුවා ඉපදීම, ඒ සඳහා විවිධ හේතු තියනවා, සමහර හේතු වලට ප්‍රතිකාර කරන්න බෑ. අනික තමයි ලංකාවේ නොමේරු ළදරු ඒකකයක (SBU Special Baby Unit) දාලා බේරගන්න පුළුවන් අඩුම වයස සති විසි අටෙන් උපන් දරුවන්. අද උපන් දරුවා සති විසි හයයි. අතිශය නොමේරූ ළදරුවෙක් (Extreme Preterm). පොතේ හැටියට ලංකාවේ නොමේරූ ඒකකයක ප්‍රතිකාර කරන්න බැරි තරම් පොඩියි. හැබැයි එහෙම කිව්වට නොමේරූ ළදරු ඒකකවලින් ඉඳලා හිටලා සති විසි හයේ හතේ දරුවෝ නිරෝගීව පිටවුනු අවස්ථා නැතුව නෙවෙයි ].

මේ අම්මා දැන් දරුවා ප්‍රසූත කරන්න යන්නේ, හැබැයි සති විසි අටට අඩුයි, ඒ වගේම ඉක්මනින් ප්‍රසූතියකට ගියා (Preterm delivery), සූතිකාගාරයට ගෙනියන්න ගියා නම් දරුවා බිහි වෙන්නේ මගදි ට්‍රොලියේ. පොඩිම පොඩි දරුවෙක් නිසා ප්‍රසූතිය ඉක්මනින් අමාරුවක් නැතිව සිදු වුනා.  කතාවේ වැදගත්ම හරිය.මේ වාට්ටුවේ නර්ස් නෝනලා සූතිකාගාර පුහුණුව ලබපු අය නෙවෙයි. ඒ වගේම මේ වාට්ටුවේ මිඩ් වයිෆ්ලා නෑ [මතකයි නේද කාලයකට කලින් ඔය දෙගොල්ලො අතර සූතිකාගාර පුහුණුව ගැන තිබුන ගැටුම. උන් ඕනේ කියනවා, මුන් එපා කියනවා ] එතකොට මේ වාට්ටුවේ මේ සම්බන්දයෙන් ඉන්න වගකිවයුතු හා සුදුසුකම් සහිත එකම කෙනා මේ මම විතරයි.
කොහොමින් හරි ප්‍රසූතිය සිදුවුනා. සති විසි හයයි.බබා පොඩ්ඩක් දඟලනවා. අම්මගේ උදරය මතට දරුවාව ප්‍රසූත කලා. හැබැයි නර්ස් නෝනලා බොහෝම හොඳට උදව් කළා.ජීවානුහරිත රෙදි දාලා දීලා එහෙම හරියට උදව් කළා. බබා හොඳට හුස්ම ගන්නේ නෑ, පපුවත් වැඩ නෑ, බබා ඇඬුවෙත් නෑ.කකුල පොඩ්ඩක් හොල්ලනවා වගේ පේනවා. වහාම බබාට පපුවට පීඩනය යොදලා (Cardio pulmonary resuscitation  ), ඔක්සිජන් දීලා බැලුවා. ඇත්තටම කියනවා නම් උත්සහයක් පමනක් වීමට බොහෝ දුරට ඉඩ ඇති වැඩක් තමයි මම මේ කරන්නේ. ටික වෙලාවකින් මෙන්න මේ බබාට පොඩි කැස්සක් ආවා. මෙන්න ටිකකින් හුස්ම ගන්නවා, පොඩි ඇඬුමකුත් ආවා.එච්චර හොඳ ඇඬුමක් නම් නෙවෙයි, හැබැයි හිටපු හැටියට සෑහෙන හොඳ දියුනුවක්.

වහාම ළදරු ඒකකයට කතා කළා. බබාගේ වෙලාව හොඳයි, කවදාවත් අහන වෙලාවට ඉඩ නෑ කියන නොමේරු ළදරු ඒකකයේ ඉන්කියුබේටරයක්ම ඔන්න තියනවලු.

ජීවානුහරිත රෙදිකඩක ඔතපු යාන්තම් හුස්ම ගන්න කිලෝ එකකටත් අඩු, යන්තම් පන ගට ගහගන්න වෙර දරන, තවත් මනුස්ස පරාණයක් දෑතින්ම උස්සගෙන ළදරු ඒකකයට දුවනකොට, ඇටෙන්ඩන් කෙනෙක් ඔක්සිජන් සිලින්ඩරය තල්ලු කරගෙන දුවගෙන ආවා, නර්ස් නෝනා කෙනෙක් ඔක්සිජන් මුහුනු වැස්ම නොගැලවෙන්න අල්ලගෙන දුවගෙන ආවා.

බබාව ළදරු ඒකකයේ ඉන්කියුබේටරයකට දැමුවා. බබාව බාරදීලා  වාට්ටුවට ආවා, මේ දරුවාගේ අම්ම මම බලාපොරොත්තු වූ ප්‍රශ්නය ඇහුවා. "බබාට කොහොමද ? " අමාරුම නමුත් ඇත්ත උත්තරයක් දුන්නා. "දැනට මොකුත් කියන්න බෑ, බබා ගොඩක් පොඩියි, අපිට තාම බබා ජීවත් වෙයි කියලා 100% සහතිකයක් දෙන්න බෑ. අපි බලමු"  කියන්න ලේසියි, නමුත් අම්ම කෙනෙකුට මේක දරාගන්න ගොඩක් අමාරුයි.

නොමේරූ ළදරු ඒකකයට හවස ගිහින් බලනකොට නම් ඒ බබා හුස්ම ගන්නව සුදුමැලි පාටත් ටිකක් අඩු වෙලා ටිකක් හොඳයි. හවස නවයේ වාට්ටුවට ගිහාම මේ බබාගේ අම්මා හොඳ හිනාවක් එක්ක හිටියා.ලොකු ස්තූතියක් පුද කළා, ඉක්මනින් උදේ බබා බේරගන්න (14.04.2015 හවස මේක ලියනකම් ) කටයුතු කලාට. නමුත් මම ඒ ස්තූතිය බාරගන්න ඉක්මන් වෙන්නේ නෑ. ඒකට හේතුව තවම මේ බබා ජීවත්වෙයිද කියලා 100% විශ්වාසයක් නෑ. කොහොම වෙතත් සොබාදහම එච්චරම අකාරුණික නෑ කියලයි මගේ විශ්වාසය.



සොබා දහම ටිකක් කපටියිත් එක්ක, ඒ මොකද කියනවා නම් ජීවිතය ටිකක් පසුපසට යන්නට හිතෙනකොට එහෙම වෙන්න නොදී ඉදිරියටම ගෙනියන්න මොකක් හරි උප්පරවැට්ටියක් ගහන නිසා. උදේ පාන්දර මට දැනුනු කම්මලිකම, නිවාඩු දවසේ වැඩට යාමට වීම නිසා ඇතිවූ අප්‍රසාදය, ඒ හින්දා මොන මගුලකට මෙඩිසින් කලාද කියලා හිතුන සිතුවිලි ඔක්කොම උදේ වාට්ටුවේ වුන සිදුවීම නිසා විනාඩියෙන් නැතිවෙලා ගියා.හවස වෝඩ් රවුන්ඩ් එකේදී ඒ අම්මගේ මූනේ තිබුනු සැනසුම දැක්කම එන සතුට ගෙදර ඉඳන් කිරිබත් කාලා නිදිමත වෙනකොට දැනෙන හැඟීමට වඩා කොච්චර වටිනවද කියලත් හිතුනා.

හවසත් එන ගමන් බේබි යුනිට් එකට ගිහින් ඒ බබාව බලලා ආවා, බුදු සරණින් බෙහෙත් හා රැකවරණයේ පිහිටෙන් දරුවා තාමත් හොඳින්.මාසයක් හරි කමක් නෑ ඉන්කියුබේටරයේ ඉඳලා බබා යහතින් ගෙදර යත්වා කියලා ඒ එන ගමනුත් මම ප්‍රාර්ථනා කළා.




Sunday, April 12, 2015

නොදනිමි වැරදි කවුරුද නිවැරදිද කියා




තේ වත්තේ උදේ හවා වැඩ             කරනා
අඟුරු කැටක් දුටු විට මතකය         ගන්නා
සුන්දර රාජ් කහ වන් දත් ඇඳි        පෙන්වා
වාට්ටුවේ පසෙකට වී ඉඩ               දුන්නා


දරු තුන් දෙනෙකු පාසල වෙත නොම        ඇදෙනා
ඉඳහිට දිනක තේ වත්තේ වැඩ                    කරනා
සෙල්වරාණි හැකි ලෙස බත් හොදි              පිසිනා
අතරම නිතර හිරු රැස් ගෙබිමට                  වැටුනා


වළඳට පෙමින් බැඳි ගින්දර නොම                  දකින
කුසයට නිතර නොනොමෙන ගිනි ඇත           දවන
ලිප ගිනි නිවා නිවනට ගිනි කුස                      දවන
බැල මෙහෙයට සයුරෙන් පිට ඇය                  ඇදුන


වසරක් දෙකක් මෙලෙසට හෙමිහිට            ඇදුන
දරුවන් හැඩට ඇඳ පැහැයට මඟ                 ඇදුන
අරුනළු එකින් එක ගෙබිමට මුන               ගැසුන
ලොකු දුව හෙමින් දීගෙක හොරැහින්           ඇදුන


දිනයක හදිසියේ ඈ ගම රට                          ඇදුනා
වෙනසක් ඇතත් නැති ලෙස හැමටම         පෙන්වා
මහ රෑ වේදනාවෙන් ඈ කුස                          අල්ලා
හඬනා විටදි රෝහල වෙත ගෙන                   ඇදුනා


දුඹුරු කෙසින් කිරි සුදු පැහැයෙන්                  දිලෙනා
නිල් වන් දෙනෙත් ඇති කුමරෙකු පෙම්             වඩනා
සුන්දර්ගේ කළු පැහැ ඇඹනිය                       සොබනා
සෙල්ලම්මා සුදු දරුවෙකු බිහි                        කෙරුවා


සුන්දර රාජ් උරණව ඒ දරු                       පෙන්වා
කළකී බහට ඈ හට කඳුලක්                       ඉනුවා
ඉල්ලා දනන් කඳුලට කහවනු                   පෙන්වා
වෙදදුරු බහට මුදලට දරු නොම                  වික්කා


සෙල්වා බහට කළ යුතු දේ සිත              යොමවා
පරිවාසයට දී දරුවා දුක                             සඟවා
රහසින් නෙතින් ගිලිහුනු කඳුලක්                 දුටුවා
නොදනිමි වැරදි කවුරුද නිවැරදිද                   කියා 



 ප. ලි

නම් ගම් ඇරෙන්නට අනික් ඔක්කෝම අමූලික ඇත්ත. හයේ වාට්ටුවේ ඇත්තටම වුනු සිද්ධියක් ඇසුරෙනි



බ්‍රොයිලර් කුකුල්ලු





බිම් අඟලක් මහ පොලවේ උරුම          නැති
උපන් නමුත් ඒ උරුමය වත්           නොමැති
අඟල් දෙකක් පමනක් ඉදිරිය               දකිති
උන්ට කියා කිසිවක් කිසිවෙකුද             නැති

වියතක දෙකක අව් වැසි මැද කල්            ගෙවනා
උන් උන් බහට හැම අතටම මුන්            නැමෙනා
නොදැන කිසිත් ලොව ගැන අද දිවි           ගෙවනා
මුදලට අනුන් වෙත දිවියම දෙති                 පුදනා

පව් පින් එකට කැටිකර මහ මඟ               ඇදෙනා
දොරගුළු යදම් මැද දිවිමඟ නිම                   දකිනා
සුදු පරවියන් අහුලා කන දෙස                 නොබලා
අවසන යලිත් යති එකපිට එක                    පටවා

Wednesday, March 4, 2015

දුඹුරු කළු මඩ පහැය

දුර බැහැර ගිරි කුළක
පැන නැඟී රහසින්ම
හෙමි හෙමින් ගලා ආ
නොකැළඹි දිය දහර

ඉසිඹුවක ඇරඹුමෙන්
එක්ව පහලට ගලන
දොලක මිහිරට මැදිව
ගලා ගල් පර මැදින්
පිට කළා ලේ කඳුළු
පවුරු මුදුනින් ඉවත

ගල් බොරළු ගව කුරද
බොර කළා වල ගොඩැලි
චන්ඩ කැළඹිලි සමඟ
බෙදී දෙපසට නැවත
නිහඬ නිසසල ගමන
තෙමා බිම දොළ පහර

චන්ඩ හිරු රැස මැදින
සිඳී වියලී නොයන
දිවිය යදිනට නැවත
එක්ව ඇදෙනට දියට

නිසසලම දිය පහර
මොහොතකට පෙර ගැළුව
මතුපිටක නිසල බව
නුදුටු ඇතුලත අඳුර
දුඹුරු කළු මඩ පහැය
ඇදුනු නොදැනී නිහඬ
කැළඹි තැනකින් කලෙක

Sunday, February 22, 2015

කියවූ නොකී කව

කුසේ දරා දස මස් දහ දුක්                     විඳලා
බුදු බව පතා නැත මව් වී නුඹ                 වදලා
කිරිකැටි සුවඳ විඳිනට නැත පින්            කරලා
කිරි මව් දනට වඩිනට නැත පින්           ලැබිලා

මිහිරිද කොතෙක් හඬනා බිළිඳුන්                  නාදේ
රසයද කොතෙක් කුසගිනි  නොහැඟෙන       මාගේ
තුටුවෙද කොතෙක් නිදිනැති රැය මා             නින්දේ
සොඳුරුද කොතෙක් ඒ දුක මා සතු            නොවුනේ

නුහුරක් හැඟේ හුරු තැන හුරු උන්                අතරේ
වදනත් ගොළුව නිහඬව දෙනෙතක්                බරවේ
බැනුමත් මිහිරි ගොළුවන විට මා                   හමුවේ
සැඟවී යන්න සිත් වෙයි ලොවටම                 රහසේ

 අළුත උපන් කිරි කැටියන් තුරුළු කර සිටින මව්වරු අතර,මළ දරු උපතකට පසුව හිස් අතින් වාට්ටුවේ සිටින මවකගේ දෙනෙතින් කියවූ නොකී කව 

පුරට්ටාසි වත්තේ පුනිදමලර්

පුරට්ටාසි වත්තේ
පුනිදමලර්
පාන්දර බස් එකෙන්
ඇවිත් නැවතී දිනක
වාට්ටුව අංක හය
කොනේ වැසිකිලිය ලඟ
අවසාන ඇඳේ සිට
බඩයි කොන්දයි අතයි
පයයි බෙල්ලයි හිසයි
කී නොකී බොහෝ තැන්
කැක්කුම්ද වේදනා

හිනාවක් නැති මූන
උදේ පරවී වැටෙන
බඳුය උඩවඩියාව
මා පමන හිතවතා
අහන දුක සැප එකම
කෑවෙහිද බීවෙහිද
රෑට නින්දක් වේද

පසුව දින ගනනකට
අහවරව වේලක් NO8
නැගුනි මදහස් මුවඟ
පසුපසින් ඒ සතුට
දුටිමි නොලියූ පුවත
ඉහපතේ පත් අතර
පෙත්තකින් සුව නොවන 




Saturday, January 24, 2015

පඩික්කම



රත් කර යබොර මුහු කර දඹරන්                 සමඟ
දහඩිය හෙලා කැටයම් කර එහි                සොබන
මල්වැල් මැදින් සුමටව රන් පැහැ              දිලෙන
පෙර රජ දවස සිට පැවතෙන බව                කියන

මුල් තැන හොවන සඟ හෝ මහ රජ             ලඟම
දිදුලන පැහැය ගෙන පසුපස වැඩ                  හිඳින
පෙර මග දකින උන් ගරුතර බව                   සිතන
පිටතට ඔපය නොදකින දුක ඇත                  ඇතුල

කාරා කෙළ ගසා සෙම් සොටු ඇද                  උඩට
හප වූ බුලත හෙලමින් ඇල කර                     මුඛය
දෑතද ලොඹු මුවද සෝදා එහි                       හෙළන
අරුමය කරුමයද ගෙවනා රන්                      බඳුන

මෙහෙමත් වෙනවා



කවුරුත් ඇඟිල්ල දික් කරන්න කලින් අපි අපිටම ඇඟිල්ල දික් කර ගන්න පුරුදු වුනොත් අපේ වැරදි පහසුවෙන්ම හදාගන්න පුළුවන් කියන විශ්වාසයෙන් මේ කතාව ලියන්නේ. කතාවක් කිව්වට පොඩිම පොඩි සත්‍ය සිදුවීමක්.
පසුගිය දවසක රෑ දහයට විතර හදිසියේම ගම්පොල හයේ වාට්ටුව්ට (ප්‍රසව වාට්ටුවට ) ගර්භනී අම්මා කෙනෙක් ඇතුළු වුනා. බොහොම කළබලෙන් තමයි ආවේ. බබා ලැබෙන්න දවසුත් හරි.
එදා මම රෑ වැඩ මුරය බාරව හිටියේ. ඉතින් මොකද කින්ද මන්ද කියලා අහලා රෝගියාව පරීක්ෂා කරලා එහෙම අවශ්‍ය ලේ පරික්ෂණ සී ටී ජී (අම්මාගේ බඩේ ඉන්න බබාගේ හෘද ස්ඵන්දනය ලකුණු කරන පරීක්ෂාව  )
 එහෙම කළා. කොහොම හරි මේ අම්මා ප්‍රසූතියට ආසන්නව හිටියේ. සූතිකාගාරයට යැව්වට පස්සේ එදා රෑම බබා ඉපදුනා.
මේ අම්මාගේ වාට්ටුවේ සිදුවිය යුතු වැඩ ටික ඉවර කරලා සූතිකාගාරයට  යවන්න යනකොට තව ගර්භනී අම්මලා දෙන්නෙක් වාට්ටුවට ඇතුලත් වීමට ආවා.
ඉතින් මොකද්ද ඕක කියන්නත් දෙයක්ද කියලා ඔබට සිතෙන්න පුළුවන්. හැබැයි මේ සම්පූර්ණ ඇත්තක්, අපේ රටේ මෙහෙම දේවල් සිදු වෙනවා. හරිද වරදිද කියලා තීරණය කිරීම කියවන අයට බාරයි.

මේ රෝගීන් තුන් දෙනාම ඇවිත් තිබුනේ එකම තැනකින්. දුෂ්කර පළාතක පොඩි ග්‍රාමීය රෝහලකින්. මේ රෝගීන් කියපු විදිහට ඒ රෝහලේ එකම එක වෛද්‍යවරයෙක් විතරයි ඉන්නේ. මේ අම්මලා ඒ රෝහලට ඇතුලත් වෙලා තිබුනේ දරු ප්‍රසූතියට. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙකුට අධි රුධිර පීඩනයත් තියෙනවා. කොහොමින් හරි ඉහත කී රෝහලේ වෛද්‍යවරයාට හවස මොකක් හරි පෞද්ගලික වැඩකට යන්න වෙලා තියනවා. මුළු රෝහලේම ඉඳලා තියෙන්නේ මේ ලෙඩ්ඩු (අම්මලා ) තුන්දෙනා විතරයි. ඉතින් මේ වෛද්‍යවරයා ඒ රෝගීන් තුන්දෙනාව අපේ රෝහලට එවලා තියනවා.

තනි වෛද්‍යවරයෙක් පමනක් සිටින මේ වගේ රෝහලක වෛද්‍යවරයාට තමන්ගේ අත්‍යවශ්‍ය දෙයකට වත් නිවාඩුවක් ගන්න වෙලාවක් නො එන්න පුළුවන්. එහෙම අත්‍යවශ්‍ය වෙලාවක වෛද්‍යවරයා නැති නිසා අමාරු රෝගීන් ටික ළඟ රෝහලකට යවන එකත් හරි. නමුත් ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ වෛද්‍යවරයා තමන්ගේ පෞද්ගලික ගමනකට රෝහලේ එකම ගිලන් රථය අරගෙන ගිහින්. මේ ගර්භනී අම්මලා ටිකට තමන්ට හැකි විදිහකට ගම්පොල රෝහලට යන්න කියලා ලියලා දීලා පිටත් කරලා තියනවා. මේ අම්මලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් බබා උපදින්න ඉතාම ලං  වෙලා තිබුනා. තව ටිකක් ප්‍රමාද වුනා නම් එයා ආව ත්‍රීවීල් එකේම බබා උපදින්නත් තිබුනා. ඒ වගේම තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට අධ් රුධිර පීඩනය තිබුනා. ඒ අම්මට මූලික ප්‍රතිකාරයක්වත් දිලා තිබුනේ නෑ.
ඒ වෙලාවේ ප්‍රවාහන පහසුකම් හොයාගන්නත් අමාරුයි ඒ පලාතේ. ත්‍රීවීල් වුනත් ඒ තරම් සුලභ නෑ. පසුව ආව අම්මලා දෙදෙනා ගාව ත්‍රීවීල් එකක එන්න සල්ලි තිබිලත් නෑ.ගර්භනී අම්මලා දෙන්නයි ඒ දෙන්නෙගේ පවුලේ අය දෙන්නෙකුයි ඔක්කොම හතර දෙනෙක් වල ගොඩැලි තියන ඉතා දුශ්කර දිගු මාර්ගයක් ගෙවාගෙන ඇවිත් තිබුනා.

පෙර කී වෛද්‍යවරයා ඇත්තටම ඒ රෝහලේ ගිලන් රථය අරගෙන ගියාද කියලා මම දන්නේ නෑ.හැබැයි මේ අම්මලාට  මට බොරුවක් කියන්න හේතුවකුත් නෑ. තවත් අමාරු වෙන්න කලින් කොහොම හරි අපේ රෝහලට මේ අම්මලා තුන්දෙනා කොහොම හරි එවපු එක නම් අගය කළ යුතුයි. ඒ වුනාට ඒ එවපු විදිහ කොච්චර සදාචාර සම්පන්නද කියන එක නම් ගැටළුවක්.