Thursday, December 25, 2014

හැමෝම එහෙම නෑ

එකම සතියේ එකම වාට්ටුවේ සිටි සමාන නමුත් අසමාන තිදෙනෙක්

මේ තුන් දෙනාම තමන්ගේ පළමු දරු ප්‍රසූතියට වාට්ටුවට ඇතුළු වී සිටිය අය. තුන් දෙනාම සිසේරියන් සැත්කම් වලින් දරු උපත් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා. සිසේරියන් කිරීමට හේතු නම් එකිනෙකාගෙන් වෙනස්.

පළමුවැන්නිය මුස්ලිම් ජාතික කාන්තාවක්. වයස විස්සක් විතර වෙන ගෘහණියක්. බොහොම සන්තෝෂයෙන් වාට්ටුවේ සිටියා. දරුවා ලැබෙන්න කලින් ඒ ගැන හෙදියන්ගෙන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් එක එක ප්‍රශ්න අහමින් හිටියා මම දැක්කා. ඇයි බබාලා උපදිනකොට අම්මලා කෑගහන්නේ? රිදෙනවාද? කොහොමද ඒ වෙලාවට ඉන්න ඕනේ විදිහ? මොකද කරන්න ඕනේ විදිහට මේ අම්මාට පොඩි පොඩි ප්‍රශ්න ගොඩායි. හැබැයි හෙදියන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ ප්‍රශ්න අහන එකට හරිම කැමති. මොකද කවුරුවත් එහෙම අහන්නෙත් නෑ. හැම පොඩි පොඩි දේම නිරාකරණය කරගත්තාම හෙදියන්ට,පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට මේ අම්මාගෙන් වාට්ටුවේදී චෝදනා පැමිණිලි කන් කෙඳිරි නෑ, කොටින්ම කිව්වොත් මේ අම්මා වදයක් වෙන්නේ නෑ.
කොහොමහරි මේ අම්මාට බබා ඉපදුනා. කිසි පැමිණිල්ලක් නෑ, හොඳට බබාව ඔතලා කිරි දෙනවා. බබා ටිකක් පොඩියි, බර අඩුයි හැබැයි ලොකු ගැටළුවක් නෑ. ලෙඩ්ඩු බලන වෙලාවට මේ අම්මාගේ නෑදෑයෝ බර ගානක් එනවා බලන්න. වරකට ලෙඩ්ඩු බලන්න දෙන්නේ පාස් දෙකයි. ඉතින් ඒ පාස් දෙක මාරු කරගනිමින් නෑදෑයෝ ගොඩක් අය මේ අම්මාව බලන්න ආවා. ටිකට් කපලා යනකොටත් වැඩිහිටි කාන්තාවෝ හතරදෙනෙකුයි කාන්තාවගේ සැමියයි ඇවිත් හිටියා. බඩු මළු ටික තුන් දෙනෙක් අරගෙන යනකොට බබාව තව එක්කෙනෙක් වඩාගෙන යනවා. මේ කාන්තාවගේ සැමියා එයාව අල්ලගෙන යනවා. යන ගමන් " ගිහින් එන්නම් , ගොඩක් ස්තූතියි  " කියලා අපිටයි නර්ස් නෝනලාටයි කියලත් යන්න ගියා.

දෙවැනි ලෙඩා වතුකරයේ දෙමළ ජාතික කාන්තාවක්. ඒ අම්මාත් ඇවිත් තිබුනේ පළවෙනි දරු ප්‍රසූතියට. දරිද්‍රතාව උපරිමයි.බොහොම දුර ග්‍රාමීය රෝහලකින් එවලා තිබුනේ. මේ කාන්තාවගේ සැමියාත් වතු කම්කරුවෙක්. හැමදාම මේ අම්මා බලන්න රෝහලට එන්න වත්කමක් නෑ. කෑම ගේන්නත් විදිහක් නෑ. ඉතින් රෝහලෙන් කෑමත් ලබා දුන්නා. වැඩිය සිංහලත් බෑ. බොහොම අහිංසකව දන්න සිංහලෙන් හා දෙමළෙන් සන්නිවේදනය කලා. මේ අම්මටනම් කිසිම ප්‍රශ්නයක් අහන්න තිබුනේ නෑ."බබාව සීසර් කරලා ගන්න වෙනවා " කිව්වම "කමක් නෑ සර්"  "ලේ එකක් ගන්න ඕනේ පරීක්ෂණයකට "කියලා නර්ස් කෙනෙක් කිව්වම ඒකටත් "ගන්න මිසී " කියනවා. කන්න කිව්වම කනවා, ඔපරේෂන් එකට කලින් කන්නේ නැතිව ඉන්න කිව්වම කිසි දෙයක් අහන්නේ නැතිව ඒකටත් හා කියනවා.මේ අම්මාටත් දැන් ඔන්න බබා ඉපදුනා. බබාලා ඉපදුනාම බබාලා ඔතන්න බබාලට අන්දවන්න ඇඳුම් එහෙම වට්ටෝරුවක් දෙනවා මාතෘ සායනයෙන් ( ක්ලිනික් එකෙන් ) මේ අම්මට කොහෙන්ද එච්චර දේවල් ගන්න සල්ලි? ඉතින් වාට්ටුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ටිකක් මේ අම්මට කෑගහලත් තිබුනා බබාට අන්දවන්න ඇඳුම් එහෙම අවශ්‍ය තරම් ගෙනත් නෑ කියලා. ඒවා ගන්න තරම් අතමිට සරු නෑ කියලා මුවින් නොකීවට මේ අම්මාගේ දෙනෙතින් කියවුනා. ටිකට් කපලා යන දවසේ මේ අම්මාගේ ස්වාමිපුරුෂයා ඇවිත් හිටියා.ඒ කියන්නේ ඔවුන්ට එදා දවසේ පඩිය ලැබෙන්නේ නෑ කියන එක. ටියුලිප් මළු දෙකක රෙදි ටිකත් දාගෙන මේ දෙන්නා, රෑ වෙන්න කලින් බස් එකේ ගොඩක් දුර යන්න තියන නිසා ඉක්මනින් ඉක්මනින් අඩි තියමින් යන්න ගියා.

තුන්වැන්නී සිංහළ කාන්තාවක්.වයස විසි හතයි , රජයේ රැකියාවක් කරන මවක්. පළමු දරුවා ලැබෙන්න ඇවිත් හිටියේ. දරුවා සිසේරියන් සැත්කමකින් ඉපදුනා. බබාව අම්මට දුන්නා. මේ අම්මත් කිරි දිදී හිටියා. දෙවෙනි දවසේදී මේ බබා කහ පාට වුනා.( Neonatal Jaundice) ඔන්න දැන් තමයි හොඳම හරිය. මේ කාන්තාවගේ ගම් පලාත ටිකක් දුර, දැන් ඉන්නේ සැමියාගේ නිවසේ. සැමියා රැකියාව කරන්නේ ටිකක් දුර පළාතක.නැන්දම්මා සර්වබලධාරියා.බබා කහ පාට වුන එකට  නැන්දම්මගෙන් චෝදනාවක්. "ඔය කරගත්තේ, කිරි නෑ , ඒකනේ බබාට ඔහොම වුනේ " මරේ මරු නැන්දම්මෙක්. මව් කිරි නිපදවීමට මවගේ පෝෂණය වගේම මානසික තත්වයත් හොඳින් තියෙන්න ඕනේ කියලා පොත පතේ තියනවා . ඉතින් මේ අළුත මව් පදවිය ලත් අම්මා බොහොම දුකට පත් වෙලා සිටියා, කිරි නෑ කියලා නැන්දම්මා චෝදනා කරනවා. මේ අම්මා අඬනවා, නිතරම කලන්තේ වගේ කියනවා, කෑම රුචිය නෑ කියනවා. ඉතින් ප්‍රතිපලය මව් කිරි තවත් අඩු වීම, බබාව දැන් දැම්මා බේබ් කාමරය හෙවත් ( SBU / Special Baby Unit  )
දැන් වැඩේ තවත් උග්‍රයි.අවාසනාවට මේ කාන්තාගේ නෑනලා දෙන්නම නර්ස් නෝනලා. (නල්ලමලේ නර්ස් නෝනලා ) වෙලාවට ටිකක් දුර පැත්තක වැඩ කරන්නේ. මුන්දැලා දෙන්නත් මේ අම්මට කතා කරලා තව තව බනිනවා. කිරි පිටි පොවන්න වැඩේ කලා නේද කියලා. අන්තිමට මේ අම්මා බොහෝම අසරණ වෙලා. මේ අස්සේ දුරින් නෑදෑ වෙන මිඩ් වයිෆ් කෙනෙකුත් ලෙඩ්ඩු බලන වෙලාවේ නැතිව අවේලාවේ ඇවිත් තවත් දෝස්මුරයක් දාලා ගිහින් කිරි නෑ කියලා.

මේ අම්මා අඬ අඬ ඉන්නකොට මොකද කියලා ඇහුවම මුළු කතාන්දරයම කිව්වා. මේ ප්‍රශ්නයට විසඳුම දුන්නේ ළමා රෝග අංශයේ පළපුරුදු වෛද්‍යවරියක්. ඒ අම්මට තේරෙන බාසාවෙන් පැහැදිළි කරලා දුන්නා  අන්තිමට මෙහෙමත් කිව්වා "අම්මා ඔය බය වෙන්න එපා ඔයාට කිරි කළ හතකටත් වඩා තියනවා, කවුද කියන්නේ කිරි නෑ කියලා. අපි ඉන්නවනේ උදව් කරන්න, ආයෙ  ඔයාට කිරි නෑ අරක මේක කිව්වොත් නැන්දම්මවයි නෑනලාටයි මාව හම්බවෙන්න කියන්න, මම උන්දැලාට අමතන්නම්කෝ " ඉතාම ප්‍රායෝගික විදිහට සිදුවුනු මේ උපදේශනය දිගු කාලීන පලපුරුද්දෙන්ම ආව එකක් වෙන්න ඕනේ.
මේ අම්මා දවස් ගනනාවක් ඉඳලා ටිකට් කපලා පිට වුනා. හැබැයි සතුටට කරුණක් තිබුනා, ඒ තමයි ටිකට් කපනකොට මේ අම්මාට බබාට හොඳට කිරි දෙන්න පුළුවන් වෙලා තිබුනා.

පහුගිය සතියේ වාට්ටුවේදී දකපු මේ සිදුවීම් අකුරු කරලා අන්තිමට කියන්න තියෙන්නේ "හැමෝම එහෙම නෑ " කියලා තමයි





Friday, December 19, 2014

කතා කීපයක්

ආපහු කතා කීපයක්. මේවා ඕපාදූප කියලා හිතෙනව නම් එහෙම හිතාගන්න. ඒ වුනාට මේ හැම දෙයක්ම අපි අවට අපි සිදුවෙන අපි නොදකින දේවල්. කතා පොත් වල හෝ චිත්‍රපටිවල තියන දේවල් වගේ වුනාට මේවා ඇත්ත ජිවිතයේ හැමෝම නොදකින අපි දකින සංවේදී සිදුවීම්.

බබාලා උපදින වාට්ටුව හෙවත් ප්‍රසව වාට්ටුව බහුතරයක් අම්මලාට හරිම සතුටුදායක තැනක්.අළුත උපන් පොඩි එකෙක් සුරුට්ටුවක් වගේ ඔතාගෙන (:පී) බොහෝම ආඩම්බරෙන් තමයි බහුතරයක් අම්මලා ඇවිදින්නේ.හැබැයි මේ ආඩම්බරකාර තාත්තලාගේ ආඩම්බරකාර අම්මලා අතර (ආඩම්බරකාර ) තාත්තලා නැති අම්මලා වගේම තව දිග කතාන්දර ගුලි කරගෙන වැදුම් වේදනා නිහඬව විඳින අම්මලාත් සිටිනවා.

පළවෙනි කතාව

මවුන් දුවට කුමක් කියම්ද?

මේ අම්මට වයස අවුරුදු 44යි, අනපේක්ෂිතව තමයි බබෙක් හම්බවෙන්න ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ උපත් පාලන ක්‍රමයක අසාර්ථකත්වයක් හින්දා බබෙක් ලැබෙන්න ඇවිත්. මේ අම්මාට තව දරුවෝ හතරක් ඉන්නවා, ඒ කියන්නේ මේ පස් වෙනියා. කොහොම උනත්  මහා ලොකුවට බෙරිහන් දෙන සිංහල බෞද්ධ රටේ හොරන් හොරෙන් නීති විරෝධි ගබ්සා ඕන තරම් වෙනවා, විශේෂයෙන් මේ වගේ සිදුවීමක් වුනාම බහුතරයක් අම්මලා (හැමෝම නෙවෙයි  ) කරන්නේ ලැජ්ජාවට හෝ දරුවන් ලොකු හින්දා හෝ ඒ දරුවා නැති කරගන්න උත්සාහ කරන එක. ඒක ලොකුම ලොකු පවක් ඒ වගේම දන්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව අපරාධයක්. හබැයි මේ කතාවේ කියන අම්මා නම් දරුවා හදාගන්න තීරණය කරලා පහු වෙලා හරි , හරි විදිහට සායන වලට එහෙම ඇවිත් තිබුනා. කොහොම හරි මේ අම්මට බබා ඉපදුනා.
නිකමට වගේ වෝඩ් රවුන්ඩ් එකේදී මේ අම්මා එක්ක පොඩි කතාවකට වැටුනා. මේ අම්මගේ ලොකුම දරුවා පුතෙක්, වයස 19යි දෙවනියා දුවක් 14යි. මහත්තයා එළවළු ගොවිතැන් කරන්නේ. ලොකූ ආර්ථික අපහසුකමක් නැතත් ඒ තරම් සරු බවකුත් නෑ. ගෙදර තරමක් පිටිසර පැත්තක. මහත්තයාගේ නෑදෑයෝ අමනාපයක් නිසා මේ අයගේ නිවසට එන්නේ නෑලු.මේ අම්මගේ මව්පියන් මිය ගිහින් කාලයක් වෙනවා.
සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකට පස්සේ සංකූලතාවයක් නැතිනම් ටිකට් කපන්නේ පැය 48 කට පස්සේ. මේ අම්මාගේ ටිකට් කපන්න දවසක් තියෙද්දී උදේක අඬ අඬ ලොකූ කතාවක් කෙටියෙන් කියනවා."අනේ සර් මගේ දුව ලොකු ළමයෙක් වෙලා, මට අද ටිකට් කපලා ගෙදර යන්න දෙන්න" "ළමයින්නේ තාත්තා විතරයි ගෙදර, වටපිටාවෙත් උදව්වට කවුරුත් නෑ"
" මේකනේ අම්මා , ටිකට් කපන්නේ පය 48 කට පස්සේනේ. ඉතින් නෑදෑයෝ එහෙම නැද්ද? " මගෙන් අසංවේදී ප්‍රශ්නයක්.
එතකොට තමයි කිව්වේ නෑදෑයොන්ගේ කෙරුවාව. තමන්ගේ දුව වැඩිවියට පත් වුන දවසේ අම්මා බබෙක් ප්‍රසූත කරලා ගෙදර යනකොට ඒ අම්මවයි දුවයි අසරණ කරන්න අපහාස උපහාස කරන්න නම් කීදෙනෙක් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්ද? ගමේ ගෑනු කීදෙනෙක් තැන තැන ඕපාදූප අවලාද කියන්න බලාගෙන ඉන්නවා ඇතිද? හැබැයි උදව්වට ඉන්නේ කීයෙන් කී දෙනාද?
ප්‍රශ්නය සුපුරුදු පරිදි ඉහළට යොමු කළා. පළපුරුදු ජේශ්ඨ වෛද්‍යවරයෙකුට යොමු කළා. එතුමා බොහොම කාරුණිකව මේ අම්මට පැහැදිළි කළා ටිකට් නොකපන්න හේතුව, සිසේරියන් සැත්කමේ බැරෑරුම්කම තේරුම් අරගෙනද කොහෙදෝ නැතිනම් කරන්න දෙයක් නැතුවටද කොහෙදෝ මේ අම්ම තව දවසක් ඉවසාගෙන ඉඳලා පහුවදා ගෙදර ගියා.

වෛද්‍ය සහතිකයක් ඉල්ලා පැමිණි සහෝදරයා

මේ කතා නායිකාව අවුරුදු 17 ක අවිවාහක ,දෙමළ, වතු කම්කරු, මාස හතක ගැබිණි මවක්.සායනයට එන කෙනෙක්, එක දවසක ඇවිත් තිබුනේ අයියාත් එක්ක.මේ කාන්තාවට සිංහළ බෑ, අයියාට සිංහළ පුළුවන් (මට කොංජම් කොංජම් පුළුවන් )
දිග කතාවක් කියන්න ගත්තා. මේ කාන්තාව ඇතුළු පවුලේ සාමාජිකයන් වතු කම්කරු ජනතාව.ලැයිම් කාමර වල ජීවත් වෙන්නේ. ලඟපාත ලැයිමක තරුණයෙක් මේ කාන්තාව එක්ක හාදකමක් පටන් අරගෙන. එහි අවසානය වුනේ මේ කාන්තාව ගැබ් ගෙන කියලා දැන ගත්තාම කොන්දක් නැති, පිරිමි කමට නොවටිනා පරිදි ඒ තරුණයා පැන යාම. අන්තිමට මේ අම්මා අප්පෙක් නැති දරුවෙක් කුස දරාගෙන මාස ගනනක් දුක් විඳිමින්  සිටියා. මේ කාන්තාවගේ අයියා ඒ තරුණයා සොයාගෙන ගිහින් තර්ජනය කරලා, අන්ඩකුත් කඩලා තිබුනා, හැබැයි ඒ තරුණයා මේ කාන්තාව බාර ගන්න බෑ කියලා.

කමක් නෑ කියලා මේ අයියා තමන්ගේ නංගිගේ දරුවා බාරගන්නම් කියලා.මේ අයියා පාපැදියකින් ගිහින් මාළු විකුනලා ජීවත් වෙන දුප්පත් හාදයෙක්. මේ කාන්තාවට බැංකු පොතක් තියනවා, දැන් දරුවා ලැබෙන්න කිට්ටුයි, ඉතින් මේ කාන්තාවගේ අයියා රෝහලට ඇවිත් අපෙන් ඔය දිග කතාවම කියලා ඉල්ලීමක් කළා.ඒ තමයි දැන් නංගිට දරුවා ලැබෙන්න යන්නේ, වියදමට සල්ලි නෑ, මේ කාන්තාවට තාම 17යි, බැංකු පොතෙන් තාම සල්ලි ගන්න බෑ, ඉතින් ඒකට මොකඛරි කරලා දෙන්න කියලා.
මේ ප්‍රශ්නයත් දැම්මා විශේෂඥ වෛද්‍යතුමාට.එතුමා තත්වය පැහැදිළි කළා. "අපිට පුළුවන් මේ ළමයා ගර්භනී, අහවල් දවසේ ප්‍රසූත කරනවා, සහ අපේ සායනයට එනවා කියලා වෛද්‍ය සහතිකයක් දෙන්න විතරයි, ඉතිරි ටික ග්‍රාම සේවකට කියලා කරගන්න " ඒ තමයි අපේ සීමාවේ කළ හැක්ක. මම ඉතින් වෛද්‍ය සහතිකයක් නිකුත් කළා.ඒකත් අරගෙන  මේ දෙන්න පිටත් වුනා, ඒ දිහා බලාගෙන හිටපු මට මුල ඉඳළම හිතට වද දුන් කාරනාව නැවතත් හිතුනා. කාටද කියන්න පුළුවන් මේ අයියා නංගිගේ පොතේ සල්ලි ටිකත් අරගෙන ඒකෙන් කටගොන්නක් බීලා ජොලියක් දාලා ඔක්කොම අමතක කරයිද කියලා? කාටද කියන්න පුළුවන් මේ අයියාගේ බිරින්දෑ ඒ සල්ලි ටික අරගෙන ගැබ්බර තරුණිය එළවලා දමයිද කියලා? එහෙම නොවේවා කියලා හිතලා මෙඩිකල් එක ලියනකොට කීප වතාවක්ම මට හිතුනා.



Monday, November 3, 2014

නිදහස් සෞඛ‍ය සේවය



මේ කතාවත් ඇත්තම සිදුවීමක්. පේරාදෙණිය න්‍යශ්ටික වෛද්‍ය අංශයට ලංකාවේ හතර පැත්තෙන්ම තයිරොයිඩ් පිළිකා රෝගීන් එනවා. ඒ එන්නේ ඔපරේශන් එකට පස්සේ විකිරණ අයඩින් ප්‍රතිකාර ලබාගන්න. ඔන්න අදත් ආවා මේ වගේ ලෙඩෙක්. මඩකලපුවේ රෝහලෙන් ගිලන් රථයක එවලා තිබුනේ වයස පනස් ගානක දෙමළ කාන්තාවක්, ඒ එක්ක දෙමළ  සාත්තු සේවිකාවකුත් (ඇටෙන්ඩන් කෙනෙක්)  ආවා. දෙන්නටම සිංහළ බෑ.
හොඳම වැඩේ කියන්නේ ලංකාවේ ගිලන් රථයක් යවනකොට උපරිම ප්‍රයෝජනය ගන්න හැකි විදිහට යවනවා. අදත් එහෙමයි. වැරැද්දක් කියන්නත් බෑ ඉතින්, රෝහලකට තියෙන්නේ සීමිත ගිලන් රථ ගානක්නේ. මඩකළපුවේ ඉඳලා පේරාදෙණියට එක ලෙඩෙකුයි තව ලෙඩෙක් කොළඹටයි ගෙනයන්න එක පාර ගිලන් රථය ඇවිත් තිබුනේ. පේරාදෙණියේ ලෙඩාව උදේ 9 ට විතර බස්සලා ගිලන් රථය කොළඹ යන්න ගියා.
 න්‍යශ්ටික වෛද්‍ය අංශයේ විනාඩි ගානක වැඩක් තියෙන්නේ. ලෙඩාව පරීක්ෂා කරලා විකිරණ අයඩින් දෙන්න දිනයක් ලබාදෙන එක.

දැන් ලෙඩා ඉන්නවා ආපසු මඩකළපු යන්න ගිලන් රථය එනකම්. මේ වැස්ස දවස් වල මහනුවර ඉඳලා කොළඹට යන්න පැය 3ක්වත් යනවා. ඉතින් මේ ලෙඩාටයි සාත්තු සේවිකාවටයි පැය 6ක් බලාගෙන ඉන්න වෙනවා ගෙදර යන්න.

න්‍යශ්ටික වෛද්‍ය අංශයේ දිග පුටුවකට වෙලා දෙන්නම හොඳට නිදි. දවල් වෙලාවත් වුනා. මේ ලෙඩා නම් සල්ලි ගෙනෙන්න නැතිව ඇති. නමුත් සාත්තු සේවිකාව එයාගේ ගනනේ වෛද්‍ය පීඨයේ කැන්ටිමෙන් "රසවත්" කෑම වේලක් අර රෝගියාටත් අරගෙන යනවා මම දැක්කා.
කොහොම කොහොම හරි හවස් වේගෙනත් ආවා. හවස හතරට විතර ගිලන් රථය ආවා.

ඊට කළින් න්‍යශ්ටික වෛද්‍ය අංශයේ තාක්ෂණ නිලධාරියෙක් මේ දෙන්නත් එක්ක කතා වෙනවා ඇහුනා.
"කොහොමද ? හරි වැඩේ නේද? පැය ගානක් නිකම් බලාගෙන ඉන්න වුනා නේද?"

මරු උත්තරයක් තමා දුන්නේ. "නෑ මහත්තයා කමක් නෑ, මෙහෙ (මහනුවර ) හරි සනීපයි රස්නෙත් නෑ හොඳට නින්ද ගියා. වෙලාව යනවා දැනුනෙත් නෑ " ගැට ගගහා සිංහලෙන් කියනව මමත් අහගෙන.

"පෙරළුනු පිට හොඳයි කියනවා"  කියලා රෝහන බැද්දගේ මහත්තයා සින්දුවකත් කියනවලු

Saturday, September 6, 2014

අධිතයිරොයිඩතාව

මේකත් තයිරොයිඩ් කතාවක්. අධිතයිරොයිඩතාව (හෙවත්  Hyperthyroidism ) කියන තත්වය ගැන මුලින්ම වචනයක් කියන්න ඕනේ. තයිරොක්සින් හෝර්මෝනය වැඩිවීම නිසා මේ තත්වය ඇතිවෙනවා.මෙහි රෝග ලක්ෂණ හැටියට බර අඩුවීම, කළබල ගතිය, තරහ යාම, නොරිස්සුම් සහගත භාවය, වෙව්ලීම, අධික දහඩිය, පපුවේ වේගවත් ගැස්ම (සමහර විට දරුවන් නැතිවීමත් විය හැකි )  ඇස් ඉදිරියට නෙරා ඒම සමහර රෝග තත්ව වලදී සිදු වෙනවා.




දැන් පාඩම ඇති. ඇයි මේවා කියන්නේ කියලා බලමු.
සුපුරුදු පරිදි පේරාදෙණිය වෛද්‍ය පීඨයේ න්‍යශ්ටික වෛද්‍ය සායනයේ මම දැකපු සත්‍ය සිදුවීමක්.
මේ රෝගියාත් කාන්තාවක්. (තයිරොයිඩ් සම්බන්ධ රෝග වැඩිපුරම හැදෙන්නේ කාන්තාවන්ට, ඒ හින්දා වෙන්න ඇති කතා හැම එකටම වාගේ කාන්තාවන් ප්‍රධාන වෙන්නේ ) මේ රෝගී කාන්තාවගේ ප්‍රශ්නය අධිතයිරොයිඩතාව. මුලින් කිව්ව රෝග ලක්ෂණ සියල්ලම පාහේ මේ කාන්තාවට තිබුනා. ප්‍රතිකාර පටන්ගෙන බොහොම ටික කාලයක් වෙනවා. ප්‍රතිකාරය තීරණය වෙන්නේ ප්‍රාථමික හෝ ද්විතික හේතුවක් නිසාද යන්න මත. වැඩේ පෙනුමට හරි සරළයි. රෝග ලක්ෂණ ටික තියනවා, රුධිර පරීක්ෂාවකින් සහතික කරන්න පුළුවන් අධි තයිරොයිඩතාව. ඊට පස්සේ ස්කෑන් එකකින් බලලා රෝගී තත්වය හරියටම හොයාගෙන ප්‍රතිකාර කරනවා. එච්චරද?

කතාව ඔය කියන තරම් සරළ නෑ. ඒ මොකද කියනවා නම් ප්‍රතිකාර කරන්නේ මනුස්සයෙකුට නිසා,පරීක්ෂණ වාර්තාවලට බෙහෙත් කළා නම් රිපෝට් නෝමල් වෙනකම් බෙහෙත් කරන එක කොච්චර ලේසිද. හරි දැන් මේ ලෙඩාව බලලා, රුධිර පරීක්ෂණ වලට ලේ ගන්න ඉන්නේ.

ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමේදී සායනික ඉතිහාසයේ වැදගත් කොටසක් වන සමාජීය තොරතුරු හරිම සංවේදී. සමාජීය ගැටළු ගොඩාක් උඩ රෝගියා ඉන්න වෙලාවක කොච්චර බෙහෙත් පෙති  දුන්නත් ලෙඩ හොඳ වෙන්නේ නෑ. සමහර විටක එක උපදේශයක් විතරක් ඒ රෝගීන් සුවපත් වෙන්න ප්‍රමාණවත් වෙන වෙලාවල් තියනවා. දැන් මේ රෝගියාගේ විස්තර අහලා බැළුවා.  බලාගෙන යනකොට මේ රෝගී තත්වය අවුරුදු පහක් හයක් විතරම තිබිලා තියනවා. කිසි ප්‍රතිකාරයක් කරලා නෑ. මේ කාන්තාව රජයේ රැකියාවක් කරන කෙනෙක්. වයස තිස් හයක් විතර මට මතක හැටියට. විවාහකද කියලා මම ඇහුවා. ටිකක් නිහඬව ඉඳලා මෙහෙම කිව්වා. විවාහ වෙලා හිටියා පස්සේ දික්කසාද වුනා කියලා. පෞද්ගලික දේවල් නිසා එතනින් එහාට ඒ ගැන මම අහන්න ගියේ නෑ. හැබැයි මේ කාන්තාව ඒ කතාව මට කිව්වා.එහෙම කියන්න හේතු වුනේ මම ඒ කාන්තාවට අධි තයිරොයිඩතාවයේ රෝග ලක්ෂණ ගැන කියා දුන්න නිසා කියලා මට හිතුනා.

 මේ කාන්තාව විවාහ වෙලා තිබුනේ වයස විසි හයෙන් විතර. සැමියාත් රජයේ රැකියාවක් කරලා තිබුනේ. විවාහයෙන් පස්සේ සැමියාගේ ගෙදර වාසයට ගිහින් තිබුනා. විවාහයෙන් පසු පළවෙනි අවුරුදු දෙක විතර කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් ඉඳලා තියනවා. දරු සුරතල් බලන එක ටික කාලයක් කල් දාලා තියෙනවා, ඒකට හේතුව තමා මේ කාන්තාවගේ රැකියාවේ විභාගයකට ලෑස්ති වෙමින් සිටීම.විවාහයෙන් අවුරුදු දෙකකට විතර පස්සේ , විභාගයටත් පස්සේ, එතෙක් කල් හොඳට හිටපු නැන්දම්මයි ලේලියි ටික ටික කෙහෙවළු පටලව ගන්න පටන්ගෙන.  ඊට ටික කලකට පස්සේ මේ කාන්තාව සැමියා එක්කත් නිතරම රන්ඩු සරුවල් කරන්න පටන්ගෙන.මේ කාන්තාවට කිසිම කෙනෙක් රුස්සන්නේ නැතිලු. ඒ කාලේ හරියට දාඩිය දැම්මලු, කෙට්ටු වෙලා ඇට පෑදිලාලු හිටියේ. මේ කාන්තාවගේම වචන වලින් කියනවා නම් යක්සනියෙක් වගේලු හිටියේ. ( ප්‍රතිකාර නොකළ අධිතයිරොයිඩතාවයෙන් පෙළෙමින් ඉඳලා තියනවා )

 කොහොම වුනත් සැමියා මේ කාන්තාවට ආදරෙයිලු. මේ ප්‍රශ්න වලින් බේරෙන්න නැන්දම්මා ලේලී දුරින් තියන්න , කුළියට ඇනෙක්ස් එකක් අරගෙන ජෝඩුව ඒකේ පදිංචියට ගියාලු. ඒ වුනත් ප්‍රශ්නෙ විසඳිලා තිබුනේ නෑ. දරු පල නැති නිසා මේ ප්‍රශ්න ඇතිවෙනවා කියලා හිතුන නිසා ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර  ගන්නත් ගිහින්. ( හැබැයි මේ වෙලාවෙදිවත් තයිරොයිඩ් තත්වය බලන්න ලේ පරීක්ෂා කරලා නෑ  )   කොහොමින් කොහොම හරි දිගටම සැමියා මේ කාන්තාව එක්ක හොඳින් ඉන්න උත්සහ කරලා තියනවා. මේ කාන්තාව කියන විදිහට එයාගේ සැමියා කවදාවත් වචනයක්වත් කියන්නේ නෑලු, අතක් උස්සලා නෑලු. ඒ වුනාට මේ කාන්තාවම කියනව තමන් කොච්චර නපුරු විදිහට සැමියාට සැලකුවද කියලා.හැමදාම ගෙදර බහින්බස් වීම්ලු. අන්තිමට දික්කසාදයෙන් සියල්ල අවසන් වුනාලු. ඒ වුනත් සැමියා වචනයක් සැරෙන් කියලා නෑ.

කොහොම හරි දික්කසාදයෙන් අවුරුද්දකට දෙකකට විතර පස්සේ වෙනත් අසනීපයකට බෙහෙත් ගන්න ගිය වෙලාවක වෛද්‍යවරයාට සැක සිතුනු නිසා තයිරොයිඩ් හෝමෝන පරීක්ෂා කරලා රෝග තත්වය හොයාගෙන.ප්‍රතිකාර පටන් අරගෙන. ඊට මාස තුනකට විතර පස්සේ තමයි අපේ සායනයට ඇවිත් තිබුනේ. දැන් ඉස්සර හිටියාට වඩා සෑහෙන්න හොඳයිලු. හැබැයි තාම නිට්ටාවට සුව වෙලා නෑ. සුව වෙමින් තියෙන්නේ. මේ කාන්තාවගේ තරහ යාම නොරිස්සුම් සහගත භාවය දැන් ටික ටික අඩු වේගෙන යනවා.

මම ඇහුවා දැන් මොකද හිතෙන්නේ කියලා. මේ කාන්තාව කියන්නේ මෙහෙම කතාවක්. පව් අර අසරණ මනුස්සයා (සැමියා ) අවුරුදු ගානක් මගෙත් එක්ක වචනයක් කියන්නේ නැතිව හිටියා. මේ ලෙඩේ මුලින්ම හොයාගත්තා නම් ඒ මනුස්සයට මගෙත් එක්ක ඉඳලා විඳවන්න වෙන්නේ නෑනේ. දැන් ඉතින් මොනවා කරන්නද.

එතනින් එහාට හොයන්න මම උත්සහ කලෙත් නෑ. එහෙම විස්තර අහන්න ගියා නම් ඒවා ඕපා දූප නිසා.

මට ප්‍රශ්න කීපයක් තිබුනා. අවුරුදු ගානක් ඔහොම තරහායන , බැන වදින, සහ නොරුස්සන කෙනෙක් එක්ක ඉන්නකොට ඒ සැමියාට නිකම්වත් මේ කාන්තාව වෛද්‍යවරයෙකුට පෙන්නන්න හිතුනේ නැද්ද? අනික ඔය අවුරුදු ගානට අඩුම ගානේ හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් ගන්න ගිය වෙලාවක ඒ බලපු වෛද්‍යවරයෙකුට මේ කාන්තාවගේ රෝගී තත්වය පෙනුනේ නැද්ද? ඇඟට පතට අමාරු ගතිය නිසා, පපුවේ ගැස්ම වැඩි නිසා, දාඩිය දැමීම වැඩි හින්දා හින්දා මේ කාන්තාවට ඔය අවුරුදු ගානට බෙහෙත් ටිකක් ගන්න යන්න හිතුනේ නැද්ද?

අන්තිමට , ලෙඩේ හොයාගෙන බෙහෙත් පෙති වලින් සනීප කරනකොට ඒ රෝගියාගේ ජීවිතයේ ආපස්සට ගිහින් හදන්න බැරි තරම් දේවල් සිදුවෙලා ඉවරයි . බෙහෙත් පෙති වලින් විතරක් හැම දෙයක්ම  සුව කරන්න පුළුවන් උනා නම් මේ ලෝකේ කොච්චර හොඳ තැනක් වෙයිද කියලා මට හිතුනා.

Tuesday, September 2, 2014

ලෙඩෙක්


සමහර විට අපිට  නොසිතූ වෙලාවක නොසිතූ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙනවා.පසුගිය දවසක තිරිකුණාමලයේ විනෝද සංචාරයක් ගිය මටත් වුනේ එහෙම වැඩක්.දවස් දෙකක මේ සංචාරයේ පළවෙනි දවසේ නවාතැන වුනේ නිලාවැලි වෙරළ ආසන්නයේ පිහිටි මහජන බැංකුවේ නිවාඩු නිකේතනය.  මහනුවර ඉඳලා තිරිකුණාමලයට යනකොට තරමක් හවස් වුනා. හැබැයි හවස් වුනා කියලා කට්ටිය චාරිකාවේ වැදගත්ම වැඩේ අතහරින්න කැමති වුනේ නෑ. ඒ තමා මුහුදේ නාන එක. කට්ටියම හැකි ඉක්මනටම මුහුදු වෙරළට ගියා. හැබැයි ඒ වෙනකොටත් වෙලාව හවස හයට විතර ඇති. කළුවරත් වැටීගෙන එනවා.

ඔන්න කට්ටිය මුහුදු වෙරළට ආවා.තීරණය එල්ලේ ගහන්න. කණ්ඩායම් දෙකකට බෙදුනා. බොහොම උද්වේගකර එල්ලේ තරඟ දෙකක් පැවැත්වුනා .ටිකකින් ආලෝක තත්වය අයහපත්. බෝලෙ පෙනෙන්නේ නැති තරමට කළුවරයි. එල්ලේ ක්‍රීඩාව නැවැත්තුවා. දැන් කට්ටියම පිට්ටු ගහන්න තීරණය කළා. (පිට්ටු ගහන්න දන්නේ නැති අය දන්න කෙනෙක් ගෙන් අහ ගන්න ) කොහෙන් කොහෙන් හරි පොල්කටු දෙකකුයි තැඹිලි කෝම්බෙකුයි කොරළ් පර කෑල්ලකුයි හොයාගත්තා. වැඩේ හරි. කාසියේ වාසිය අනුව මුලින් පිට්ටු කඩන කණ්ඩායම මගේ කණ්ඩායම.
පිට්ටුව කඩලා දුවන්න ගත්තා. කළුවරයි වෙරලේ පොඩි පොඩි වලවල් වැලි  කඳු බෝතල් කටු එහෙම හැම තැනම. මම දුවගෙන යනකොට වලකට කකුල ගිහින් හැරවිලා වැටුනෙ නැද්ද හරියට කෙසෙල් ගහක් කැපුවා  වාගේ. ක්‍රීඩාශීලීත්වය උපරිම වෙලාවක්. නැගිටලා දුවන්න ඕනේ. හැබැයි මාර වැඩේ. දුවන්න තියා නැගිටගන්න බෑ. ඒ මදිවාට ඉවසන්න බැරි තරම් වේදනාවක්. කකුල හොලවන්නවත් බෑ , වේදනාව වැඩි වෙනවා.වටේ හිටපු අනික් කට්ටිය බලනවා මම මොකද කරන්නේ කියලා. දෙපයින් හිටගන්න බෑ වැටෙනවා. දරුණු මාංශ පේශී ඉරී යාමක්.
දුක යනු සෙල්ලම එතනින්ම අහවර වීම සහ මුහුදේ නෑමට නොලැබීමයි.  බොහෝම අමාරුවෙන් සගයන් දෙදෙනෙකුගේ උදව්වෙන් නොන්ඩි ගගහා වේදනාව දරාගෙන නවාතැනට ආවා.නවාතැනට ඇවිත් නාලා කකුලට බැන්ඩේජ් එකක් දාලා වේදනා නාශක පෙත්තක් බීලා පොඩ්ඩක් නිදාගන්න බැළුවා. මොන නින්දද? වේදනාව එන්න එන්නම වැඩී. දරාගන්නම බෑ. අම්මයි තාත්තයි නංගීයි ලඟම ඉඳගෙන ඉන්නවා ,වේදනාවෙන් ඇඹරෙනකොට ටිකක් හරි සහනයක් ඒ අය ළඟ ඉන්න එක.කකුල හොලවන්නවත් බෑ. මොනවා කරන්නද, යමු ඉස්පිරිතාලෙට. අන්තිම තීරණය ඒක. දොස්තර වුනත් අසාධ්‍ය ලෙඩෙක් වෙන වෙලාවක් එනවා
.




 කොහොමද ඉස්පිරිතාලෙට ගෙනියන්නේ? ත්‍රිවීල් එකක? අඩි හයක් උස කෙනෙක් කකුල නවන්න බැරිව ඉන්නකොට කොහොමද තීවීල් එකක යන්නේ? චාරිකාව ආව බස් එකෙන්ම මාව ඉස්පිරිතාලයට එක්කගෙන යන්න පිටත් වුනා. දැන් තව ප්‍රශ්නයක්. ඩ්‍රයිවර් මහත්තයාට ප්‍රශ්නයක්. "දැන් මහත්තයා ඉස්පිරිතාලෙට ගියොත් ටිකට් කපන් නැතිවෙයිනේ? එතකොට කොහොමද හෙට යන්නේ? " මම වේදනාවෙන් දඟලනකොට මේ ඩ්‍රයිවර් කාරයා මෝඩ ප්‍රශ්න අහනවා. මම කියලා ටිකට් කපාගන්නම් කිව්වම මනුස්සයා ඒක පිළි අරගෙන බස් එකේ ගමන පටන් ගත්තා.
තවත් ප්‍රශ්නයක්.  කොහෙද දැන් ඉස්පිරිතාලෙ තියෙන්නේ? පාරේ හිටිය මිනිස්සුන්ගෙන් අහ අහ ඉස්පිරිතාලෙට යන්න ගියා. පරංගියා කෝට්ටේ ගියා වගේ පාර වැරදි වැරදි ඉස්පිරිතාලෙට ගියා. රෝගියාගේ වේදනාව උත්සන්නයි. කොහොම හරි ඉස්පිරිතාලෙට ගියා. ගේට්ටුව ගාවදී තවත් ප්‍රශ්නයක්. බස් එකක් ඉස්පිරිතාලෙ ඇතුලට දාන්න දෙන්න බෑ කියලා ආරක්ශක නිළධාරියා කියුවා. මගෙත එක්ක ඒ වෙලාවෙ බස් එකේ ගිය බන්දුල අයියා මෙහෙම කිව්වා "දොස්තර කෙනෙක් තමයි මේ ලෙඩ වෙලා තියෙන්නේ ඇවිදින්න බෑ, බස් එකේ ආවේ කකුල නවන්න බැරි හින්දා" නොඇරුනු ගේට්ටුව ඒ වෙලාවෙ විවර වුනා. හැබැයි බන්දුල අයියා ඒ කියපු විදිහට බස් එකේ ගිය අපි ඔක්කොටම හිනා.
ජීවිතේ දෙවනි වතාවට රෝද පුටුවක ගිහින් හදිසි අනතුරු වාට්ටුවට ඇතුලත් වුනා. ත්‍රිකුණාමලයේ රෝහල නම් අති විශිෂ්ටයි. අළුත් ගොඩනැගිලි. හරිම පිරිසිදුයි. රෝගීන් ඇතුලත් කරන තැන විශිෂ්ටයි.ඔක්කොම පරිඝනක ගත කරලා. නම, වයස, ග්‍රාම සේවක කොට්ඨාශය ඔක්කොම අහලා ටයිප් කරලා ප්‍රින්ට් අවුට් එකක් දෙනවා ටිකට් එකේ මුල පිටුව හැටියට. මම මේකට විශිෂ්ටයි කියන්නේ හේතු කීපයක් නිසා.
 පසු කාලීනව සමීක්ෂන එහෙම කරන කෙනෙකුට මේ ඉලෙක්ට්‍රොනික් දත්ත ගබඩාව ඉතාම පහසුවක්. මොකද කියනවා නම් රෝගීන් ගැන දත්ත ඉතා පිළිවෙලට පහසුවෙන් ලබාගත හැකි පරිදි ගබඩා වෙලා තියනවා. ඒ වගේමයි (lol :P ) වෛද්‍යවරුන්ගේ මුතුවන් අකුරින් ලියන දත්ත වලට වඩා මේ දත්ත කියවන්න පුළුවන්. අනික හරිම ඉක්මන්.
 දැන් ඉතින් හදිසි අනතුරු වාට්ටුවට ආවා. විනාඩියක් විතර රෝදපුටුවේ වේදනාවෙන් ඉන්නකොට හෙද නිළධාරියෙක් ඇවිත් ඇඳකට දාන්න කිව්වා. වෛද්‍යවරයෙක් ඇවිත් බලලා කතා කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. හෙද නිළධාරීන්ගේ සහ වෛද්‍යවරයාගේ මෙන්ම ඇටෙන්ඩන්වරුන්ගේද සැලකිල්ල උපරිමයි.විශේෂයෙන් කියන්න ඕනේ මේ හෙද නිළධාරින් සියල්ලම දෙමළ , ඒ අයට සිංහල හොඳට බෑ, හැබැයි කැඩිච්ච සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් මා එක්ක කතා කරලා උපරිම සුව පහසුව සැලසුවා. හැම රෝගියාටම මෙහෙමද නැතිනම් මම වෛද්‍යවරයෙක් නිසා මට විශේෂ සැලකිල්ලක්ද දන්නේ නෑ.

කොහොම හරි පැය කීපයක් රෝහල්ගත කරලා ප්‍රතිකාර කළාට පස්සේ තරමක් වේදනාව අඩු වුනා. වෙනත් අමාරුවක් නැති නිසා ටිකට් කපාගෙන ආපසු යන්න පිටත් වුනා. ඒ එන ගමන් තව තව දේවල් දැනගන්න ලැබුනා. එතන හිටපු සිංහළ ඇටෙන්ඩන්ලා කීප දෙනෙක් මා සමඟ ගිය පවුලේ කට්ටිය හා මිතුරන් කීප දෙනා එක්ක බොහොම හිතවත් වෙලා. යනකොට රෝදපුටුව බස් එක ලඟටම තල්ලු කරගෙන ආවා. සර් මේ පැත්තෙ ආවොත් ඇවිත් යන්න කියන තරම් ඔවුන් සුහදයි.මමත් ඉතින් පේරාදෙණිය රෝහල/ න්‍යශ්ටික වෛද්‍ය ඒකකය පැත්තෙ ආවොත් කතා කරන්න කියලා පිටත් වුනා.

 සතියක් විතර නොන්ඩි ගහන්න වුනත් , දවස් කීපයක් නිවාඩු දමන්න වුනත් මේ සිදුවීමෙන් පාඩම් කීපයක් ඉගෙනගත්තා.එයින් වැදගත්ම එක තමයි මේ. අපි ළඟට එන්නේ අසරණ වෙච්ච රෝගීන්. ඔවුන්ගේ වේදනාව තේරුම් නොගන්නාතාක් කොච්චර බෙහෙත් කළත් සුව වෙන්නේ නෑ කියන එක. වේදනාවක් විඳින්නම ඕනේ ඒකෙ කටුක රසය තේරුම් ගන්න, එහෙම නැතිව , වේදනාවෙන් කෑගහන ලෙඩෙකුට සැර වැර කලා කියලා බැන්නා කියලා ඒ වේදනාව අඩු වෙන්නේ නෑ . මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැමෝටම අදාලයි. සරළව කියනවානම් වෙදෙක් වෙන්න කළින් ලෙඩෙක් වෙලා ඒ අත්දැකීම ලැබීම ගොඩක් දේවල් හිතන්න පොළඹවනවා.

Monday, August 18, 2014

දේශපාලනය



පසුගිය දවසක වාහනය සර්විස් කරගන්න ගිය වෙලාවක මේ කතාවට සම්බන්ධ සිදුවීම වුනේ. වාහනය සර්විස් කරන තුරු මම බලාගෙන හිටියා, හවස් වරුවක් නිසා වැඩි තදබදයක් තිබුනෙත් නෑ තවත් වාහන දෙකක් විතරයි තිබුනේ. සර්විස් අංශයේ ලොක්කා මගෙත් එක්ක කතා බහ කරමින් සිටියා. එතකොට පොඩි ස්විෆ්ට් කාර්  එකක් ආවා. ඒකෙන් ආවෙ වයසක පුද්ගලයෙක්, කහ පාට ජාතික ඇඳුමක් ඇඳලා දැක්කම බොහොම ප්‍රසන්න පුද්ගලයෙක්.හරිම චාම් පෙනුමක්. වාහනයේ අනික් පැත්තේ වාඩි වෙලා හිටියේ ඔසරියක් ඇඳලා හිටපු බොහොම ප්‍රසන්න විදිහට හිනා වුනු, මේ පුද්ගලයාගේ බිරිඳ.
" මේ මහත්තයාව හොඳට බලාගන්න , කවුද කියලා දන්නවද?" මගෙන් එහෙම අහන ගමන් සර්විස් අංශයේ ලොක්කා මේ වයසක පුද්ගලයාට කතා කරන්න ගියා.
 මේ මනුස්සයා ආවා කියලා දැකපු සර්විස් ස්ටේශන් එකේ කීප දෙනෙක්ම ආවා කතා කරන්න.  වාහනයේ මොකකක් හරි පොඩි ප්‍රශ්නයක් තිබුනේ. විනාඩි කීපයකින් වාහනය හදලා දුන්නා. මේ පුද්ගලයා හැමෝටම යන්නම් කියලා ගියා.

මේ මහත්තයා කවුද කියලා දන්නවද? මගෙන් සර්විස් එකේ ලොක්කා ඇහුවා. මම දන්නේ නෑ කිව්වා.ඊට පස්සේ මේ පුද්ගලයා කව්ද කියලා මට කියලා දුන්නා. මේ හිටපු ඇමති කෙනෙක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු පේෂකර්ම ඇමති, යූ.බී විජේකෝන්. අද කාලේ අපි දකින ඇමතිලා වගේ නෙවෙයි. මහා ලොකු කෝටිපතියෙක් නෙවෙයි. හරිම සරල මනුස්සයෙක්. දැන් කාලෙ පාර්ලිමේන්තු ඇමතියෙක් නෙවෙයි අඩුම ගානෙ පලාත්සභා ඇමතියෙක් ඔහොම සරල විදිහට ඇවිත් මජං ගාගෙන ඉන්න බාස්ලාට කතා කරලා යයිද?

සර්විස් ස්ටේෂන් එකේ මනුස්සයා නම් කිව්වේ මේ ඇමතිවරු එකතු කාලේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව ලු. (මම නම් ඇත්ත නැත්ත දන්නේ නෑ  මොකද ඒ ආණ්ඩුව තිබුන කාලේ මම ඉපදිලාත් නැතිව ඇති  ) නමුත් මේ වයසක මනුස්සයා දැක්කම කියන්න පුළුවන් මේ හොරෙක් මංකොල්ල කාරයෙක් ,කුඩු මුදලාලියෙක්, චේන් කඩපු එකෙක්, එතනෝල් ගෙන්නපු එකෙක්, ස්ත්‍රී දූශකයෙක් නෙවෙයි කියලා.  එහෙම කෙනෙක්  වුනා නම් නීතියෙන් බේරුනාට සොබා දම් නීතියෙන් දඬුවම් ලැබෙනවා. නමුත්  බොහොම නිරෝගී, ආචාරශීලි , ප්‍රසන්න  මේ වයසක මනුස්සයා ,සොබා දහමෙන් ආශිර්වාද ලද, ලංකාවේ ඉස්සර හිටපු, දැන් වඳවීගෙන යන යහපත් දේශපාලකයන්ගෙන් එක්කෙනෙක් කියලා මට හිතුනා.

Monday, July 28, 2014

බත් ගෙදර


 ජීවිතයේ ගතකළ් රසවත්ම කාලය  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගතකළ අවුරුදු පහමාරක කාලය බව මම නම් තරයේම විශ්වාස කරනවා. ඒ කාලය ආපසු එන්නේ නෑ. ඒ මතකයේ බොහෝ රසවත් තැන් හමු වෙනවා. මේ කාලයේදී අපූරු චරිතයන් හමු වෙනවා .මේ සටහනත් ඒ වගේ අපූරු මතකයක්.
පැණිදෙනිය කියන්නේ පේරාදෙණියේ ඉඳලා කිලෝමීටරයක් විතර ගියාම තියන පොඩි නගරයක්. මේ ලෝකේ මම දැකලා තියන දෙවෙනියට හෙමින්ම යන බස් තියෙන්නේ මහනුවර ඉඳලා පැණිදෙනියට.
( ලෝකේ හෙමින්ම යන බස් තියෙන්නේ මහනුවර ඉඳලා මහකන්දට {මහකන්ද කියන්නේ පේරාදෙණිය සරසවිය මැදින් ඇදෙන පාරෙන් ගිහාම හමු වෙන පළවෙනි නගරය })

පැණිදෙනියෙන් තමයි කොළඹ ඉඳලා එන කෝච්චිය බදුල්ලට හරවන්නේ . කතාව කෝච්චිය ගැන නෙවේ. කෝච්චියට ටිකක් එහා පැත්තෙන් තමයි මේ කතාව යන්නේ. කෝච්චි ඉස්ටේෂන් එකට එහා පැත්තෙන් කෝච්චියෙන් නුවරට එන පෙට්‍රල් ඩීසල් ගබඩා කරන  "ලංකා තෙල් ගබඩාව" ඊට පාරෙන් අනික් පැත්තෙන් පැණිදෙනියේ සුප්‍රකට "බත් ගෙදර'

ඔන්න හරි ට්‍රැක් එකට ආවා. මේ බත් ගෙදර මතකයෙන් බිඳක්. බත් ගෙදර ගැන දන්න  කට්ටිය ඉන්නවානම් අඩුපාඩු හදන්න, තව දේවල් එකතු කරන්න. බත් ගෙදර කියන්නේ සරසවි සිසුන්ට, දුම් රියපොලේ සේවකයන්ට, පෙට්‍රොලියම් එකේ සේවකයන්ට තුන් වේලම බත සපයන්න නොමදවම වෙහෙසුනු තැනක්. කියන්න වරදක් නෑ මෙතන කෑම නම් කන්න පුළුවන්.
බත් ගෙදර චරිත හයක් ඉන්නවා ප්‍රධානියා තමයි සුජී. අනික් අය සුජීගෙ අම්මා තාත්තා ඇන්ටී බිරිඳ දරුවා සහ තඩි ජර්මන් ෂෙපඩ් බල්ලා. සුජී කියන්නේ අවුරුදු 35-40 විතර තරුණ/මැදිවියේ කොනෙකුට.සුජීයි අම්මයි ඇන්ටියි තමයි බත් ගෙදර කරගෙන යන්නේ. බලු තඩියා හිටපු ගමන් ඇවිත් වැඩපල නිරීක්ෂණය කරලා යනවා.
ගෙදරක අයිනේ දිගටි කොරිඩෝවක තමා බත් ගෙදර බත් ව්‍යාපාරය පැවැත්වුනේ.මෙතන පළල අඩි පහක් විතර ඇති දිග අඩි සීයක් විතර අති. හැබැයි හවස 7 ට විතර මේ පොඩි ඉඩේ ඉඳලා 100ක් විතර කෑම ගන්නවා. මෙතන බත් හා ව්‍යංඤන බේසම්වල දාලා තියනවා, ගිහින් කෑම ඉල්ලුවම පිඟානකට හරි පාර්සලයකට හරි බෙදලා දෙනවා.
 බත් ගෙදර තුන් වේලටම කෑම තියනවා.
 උදේට බත් හා ඉඳිආප්ප පරිප්පු කරවල හෝ හාල්මැස්සන් සමඟ පොලුයි පොල් කුඩුයි දාපු සම්බෝලෙ. රුපියල් 40 යි ඒ දවස් වල. දවල්ටයි රෑටයි නම් බත් එක්ක ව්‍යංඤන පහක්වත් තියනවා, ඒ එක්ක කුකුළු මස්, උයපු මාළු, බැදපු මාළු, ඔම්ලට් ගන්න පුළුවන්. (කටට කෙළ උනනවා නේද? )

පැණිදෙණියේ බෝඩින් වෙලා ඉන්න සරසවි සිසුන් වගේම හොස්ටල්වල ඉන්න කට්ටියත් බත් ගෙදරට කන්න එනවා. බත් ගෙදරින් කාපු කෙනෙකුට මාස දෙක තුනකට හරි පස්සේ හොස්ටල් කැන්ටිමේ කෑම එපා වුනාම ආපහු "බත් ගෙදර කෑම පාරක් " දාන්න හිතෙනවා.
බත් ගෙදර දවල්ට කෑම දවල් 11.30 ඉඳලා දෙනවා, රෑට කෑම හවස 6.30 ඉඳලා දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවට සරසවි සිසුන්ගේ මෝටර් බයික්  එතන පිරිලා.
කෑම ගෙනියන්නයි කාලා යන්නයි පෝලිම් දෙකයි.(හෝටල් වල වගේ ) සාමාන්‍යයෙන් හවස හතට එහෙම බත් ගෙදරට කන්න ආවොත් අඩුම ගානේ පැයක්වත් පෝලිමේ ඉන්න වෙනවා.හිතාගන්න පුළුවන්නේ කොහොම සෙනගක් මෙතනට එනවද කියලා.
 කොහොම කොහොම හරි පෝලිමේ ඉඳලා බත් එකක් ගත්තා කියමු, ගෙනියනවා නම් ප්‍රශ්නයක් නෑ, කනවානම් එතන තියන දිග බංකුවේ වාඩිවෙලා කන්න ඕනේ.බල්ලොත් එනවා අතුලට, මස්සොත් ඉන්නවා, කෙල ගිල ගිල කෑම ගන්න පෝලිමේ ඉන්න කට්ටියත් ඉන්නවා.

බත් දාලා තියන බේසම තියෙන්නේ ඇතුලටම වෙන්න. බත් පොඩි පීරිසියකින් පිඟානට බෙදනවා.බත් එකක සාමාන්‍යයෙන් හොඳටම ඇතිවෙන්න බත් තියනවා. ව්‍යඤන? එතන පොඩි කොස්සක් තියනවා.ව්‍යඤන බොහොම පොඩ්ඩයි , එතකොට අන්තිමට කන්න වෙන්නෙ නිකම් සුදු බත්. සම්මත ක්‍රමයට කන්න දන්න අයට නම් අවුලක් නෑ (සම්මත ක්‍රමයට කන හැටි දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න ) බත් එකට ව්‍යංඤන පහක් විතර දෙනවා. අනිවාර්යයෙන්ම පරිප්පු තුන් වේලටම දෙනවා. සරසවි සිසුන්ගේ සදාකාලික නොවිසඳෙන ගැටළු වලට උත්තර ලබා ගන්න කන පරිප්පු වලට ගරු කිරීමක් වශයෙන්ද කොහෙදෝ හැමදාම පරිප්පු වරද්දන්නේ නෑ.කටට කෙළ උනන පරිප්පු කරියක් රතු පාට බේසමක , රතුයි කහයි පාටවල් එකතු වුනාම තියන ලස්සන, දැක්කම පරිප්පු කන්නමයි හිතෙන්නේ.දුක යනු පොඩි හැන්දකින් පරිප්පු පොඩ්ඩක් බත් එකේ ගෑවෙන්න දමීමයි. ඒකත් සමහර විට පොඩ්ඩක් ආපහු බේසමට හලලා තමා දමන්නේ. ඊළඟට බෝංචි, වෙළඳපොලේ මිල කොහොම උච්චාවචනය වුනත් බෝංචි වරදින්නේ නෑ. කිරි දාලා උයපු බෝංචි හොද්ද කටට කෙළ උනනකොට   පොඩි කන් හැන්දක් වගේ පොඩි හැන්දකින් බෙදනවා. ඊට පස්සේ තියන ව්‍යංඤන නම් දිනපතා වෙනස් වෙනවා, ගෝවා වගේ එකක් නම් දුක නැතිව බෙදනවා. (මම නම් ගෝවා කන්න කැමති නෑ ;) ) අන්තිමට ඔය ඔක්කොම ව්‍යංඤන වලට පොල් කිරි මිරිකපු
පොල් රොඩු වලින් හදපු සම්බෝලය. ඉඳලා හිටලා ළුුනු කෑල්ලක් එහෙමත් තියනවා. හැබැයි ඇස්වහක් කටවහක් නෑ මේ සම්බෝලෙ නම් කැම්පස් එකේ කටේ තියන්න බැරි සම්බෝලයක් වගේ නෙවෙයි කන්න පුළුවන්.

ඊළඟට එන්නේ වැදගත්ම කොටස. "සුජී අහනවා චිකන්ද කියලා" ඉඳලා හිටලා තමයි මාළු ගන්නේ.ගොඩක් අය චිකන් තමයි . චිකන් කිව්වොත් තමයි ලස්සනම වැඩේ.හැන්දෙන් සුජී බේසමේ තියන පොඩිම චිකන් කෑල්ල හොයනවා. කොහොමත් මූන බලලා තමයි චිකන් කෑල්ල බෙදන්නේ. හැමදාම එන කෙනෙක් නම් ටිකක් ලොකු කෑල්ලක් බෙදනවා. ආගන්තුකයෙක් නම් පොඩි කෑල්ලක්.පිහිනුම් ඇඳුම් කට්ටලයක් තිබනම් සුජී  චිකන් බේසමේ පීනලා ගිහින් පොඩිම කෑල්ල හොයාගෙන එනවා. ඒ තරම් ප්‍රවේශමෙන් තමයි චිකන් බෙදන්නේ.
සුජීගෙ අම්මත් බත් බෙදුවොත් චිකන් කෑල්ලක් තෝරන්නේ සුජී වගේමයි. හැබැයි අනික් ඇන්ටි නම් එහෙම තෝරන්නේ නෑ අහුවෙන කෑල්ල දානවා. මෙච්චර චිකන් ගැන ලිව්වේ චිකන් කන්න මට ආසාවක් ඇති හින්දා නෙවෙයි, චිකන් බෙදන හටි දැක්කම හිනා යන හින්දා.
 මේ බත් ගෙදර කෑම බෙදලා දෙන තුන් දෙනා පුදුම විදිහට සිත දමනය කරගත්ත කට්ටිය.
ඒ ඇයි කියනවා නම්, ලෝකෙ පෙරළුනත් ඒ අයට ගානක්වත් නෑ, එයාලා සුපුරුදු පරිදි එයාලගේ වේගයට වැඩ. කොටින්ම කියනවා නම් කෝච්චියෙ යන්න හදිස්සියේ ඉන්න මනුස්සයෙක් කෑම එකක් ගන්න ආවෙත් අඩුම පස් ගමනක්වත් ඉක්මනට දෙන්න පුළුවන්ද අහනවා.මේ කට්ටිය නෙවෙයි සත පහකටවත් ගනන් ගන්නේ. කෝච්චිය මිස් වුනත් බත් බෙදන්නේ එයාලගේ වේගයටම තමා.
බත් ගෙදර කියන්නේ කන තැනක්ම පමනක් නෙවෙයි. සරසවියේ විවිධ පීඨ වල සහෝදරයන් විනාඩියකට දෙකකට හරි හමු වෙන තැනක්. මෙතනෙන් කෑම ගෙනියන්න කාන්තා පාර්ශවය එනවා දකලාම නෑ.


කොහොම හරි පෝය දවසට බත් ගෙදර වහලා. කන්න පුළුවන් කෑම ඒ දවස් වල රුපියල් 75කට දෙනවා. පෝය දවසට සුජීගෙ අම්මයි ඇන්ටීයි සිල් ගන්න යනවා. එදාට බත් ගෙදරින් කන කැම්පස් කොල්ලො බඩගින්නේ. දවසක් මම කෑම ගන්න ඉන්නකොට කව්දෝමෙන්න මෙහෙම කියනවා ඇහුනා "ඇන්ටී පෝයට සිල් ගන්න යන්න ඕනේ නෑ එදාටත් කෑම හදලා දෙන්න කැම්පස් කොල්ලන්ට. ඒ පින් ඇති ආයේ අමුතුවෙන් සිල් ගන්න ඔනේ නෑ" ඒ කතාවත් ඇත්ත වෙන්න ඇති නේද?

Wednesday, July 23, 2014

කවුද හරි?

මේ කතාවත් ඇත්තම සිදුවීමක්. කාට හරි හිතෙන්න පුළුවන් මොකටද මේ ඕපාදූප හොයන්නේ කියලා. නමුත් කාටවත් අපහාසයක් උපහාසයක් උදෙසා නොවන විදිහට , අපි නොදකින අපි අවට තිබෙන ලෝකයෙන් අංශුමාත්‍රයක් අකුරු කිරීම ඕපාදූප සෙවීමක්ම නොවෙයි කියලා මට හිතෙනවා

කතාව පටන් ගන්නේ මාස හතරකට විතර කලින්.හැබැයි කතාව අවසන් වෙන්නේ මේ සතියෙන්. නැවතත් න්‍යෂ්ටික වෛද්‍ය අංශයේ අන්තරාසර්ග රෝග සායනයේදී දුටු සිදුවීමක්. කතා නායිකාව අවුරුදු තිස් පහක කාන්තාවක්. විවාහකයි දරුවෝ දෙන්නෙක්ගෙ මවක්. රැකියාවක් කරන්නේ නෑ,ගෘගණියක් විදිහට ඉන්නවා. ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ කාන්තාවට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් හැදිලා තියනවා. ඒ වෙනකොට ඒ කාන්තාවගේ කුඩාම දරුවාට වයස අවුරුදු දෙකයි.කොහොම හරි ශල්‍යකර්මයක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ස්ම්පූර්ණයෙන්ම ඉවත් කරලා.
[තයිරොයිඩ් පිළිකාව මුලින් හඳුනාගත්තොත් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්, මේ සඳහා තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ශල්‍යකර්මයකින් ඉවත් කරලා, පස්සේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය ලබා දුන්නම හරි. කීප විටක් අයඩින් ස්කෑන් කරන්නටත් වෙනවා. 'කියන තරම් ලේසි නෑ මේවා ප්‍රායෝගිකව කරනකොට'] ඊළඟ අදියර සඳහා මේ කාන්තාව පේරාදෙණිය වෛද්‍ය පිඨයේ න්‍යශ්ටික වෛද්‍ය අංශයට යොමු කරලා.
න්‍යශ්ටික වෛද්‍ය ස්කෑන් හා ප්‍රතිකාර නොකළ යුතු අවස්ථා කීපයක් තියනවා.ගර්භණී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට න්‍යශ්ටික වෛද්‍ය ප්‍රතිකාර කරන්නේ නෑ. ඒ වගේමයි මේ ප්‍රතිකාර දෙන කාන්තාවන් අඩුමගනනේ මාස හයක්වත් ගැබ් ගැනීමෙන් වැලකිය යුතුයි ඊට හේතුව තමා දරු ගැබට විකිරණවල බලපෑම නිසා අහිතකර තත්වයන් ඇතිවිය හැකි වීමත්, කුඩා දරුවන් විකිරණ වලට අනාවරණය වීම වැලැක්වීමත්.
ඉහත කී කාන්තාවත් විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයට ආවා.ඒ මීට මාස තුන හතරකට කලින්.
ප්‍රතිකාරයේ ස්වභාවය සහ ඇයගේ රෝගී තත්වය වන පිළිකා තත්වය ගැනත් විස්තර කරලා දුන්නම මේ කාන්තාව අවුරුදු දෙකක් වන ඇගේ දරුවාට කිරි දෙන නිසා දැන්මම  මේ සඳහා එන්න බෑ කිව්වා. කොහොම වුනත් මේක අසාධාරණ කොන්දේසියක්, අවුරුදු දෙකක ළමයෙකුට මව් කිරි දීම අනුමත කරන්න බෑ  ඒ වගේම පිළිකාවක් කියන්නේ සෙල්ලමක් නෙවේ, පිළිකාවක් කියන්නේ දිනය දාපු නැති මරණ සහතිකයක් අතේ තියාගෙන ඉන්නවා වගේ. තත්වය පැහැදිළි කළාම මේ කාන්තාව බබාට කිරි දෙන එක නවත්තලා ප්‍රතිකාරයට එන්නම් කියලා දිනයක් වෙන්කරගෙන එහෙම පිටත් වුනා.

මාස තුන හතරකට පස්සේ  මේ කාන්තාව විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයට පෙර  සායනයට ආවා. පිළිකාවේ පැතිරීමක්/වර්ධනයක් තියනවාද බලන්න සිදුකරන තයිරොග්ලොබියුලින් පරීක්ෂනයකුත් කරගෙන ඇවිත් තිබුනා. ප්‍රතිඵලය නරකයි. පිළිකාව වර්ධනය වෙලා.වැඩේ නරක අතට හැරිලා. අයඩින් ප්‍රතිකාරය වෛද්‍ය උපදෙස් අනුව, මව් කිරි දීම නවත්වලා කලින්ම දුන්නා නම්  මෙපමන නරක අතට නොහැරෙන්න තිබුනා. කමක් නෑ කියලා දැන් හරි ප්‍රතිකාරය දෙමු කියලා රෝගියාගේ විස්තර ගත්තා.

තවත් ප්‍රශ්නයක්. උපදෙස් දීලා තිබියදීත් මේ කාන්තාව දැන් ළඟදී ගැබ්ගෙන. පිළිකාවත් ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා. මේ නොසැලකිළිමත් කාන්තාව මුලින් ප්‍රතිකාරය අවුරුදු 2ක ළමයෙකුට කිරි දෙන නිසා කල් දැම්මා, දැන් ආපසු ගැබ් ගෙන. විකිරණ ප්‍රතිකාර දෙන්න විදිහක් නෑ.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව  (303 වගන්තිය වෙන්න ඕනේ මතක හැටියට  )  මවගේ ජීවිතයට බේරාගැනීමට සිදුවෙන අසාධ‍ය  අවස්ථාවක හැර කිසිම විටක ගබ්සාවක් කරන්න තහනම්.
[ හැබැයි ඔය මවගේ ජීවිතයට හානි වෙනවා කියලා වුනත් ගබ්සාවක් කරනවා මම නම් දැකලාත් කරපු බවක් අහලත් නෑ]කොහොමත් ගබ්සාවක් කරන්න තහනම්. මේ කාන්තාවගේ ජිවිතයට එහෙම තදබල අසාධ්‍ය තත්වයක් නෑ.

විශේෂඥ වෛද්‍යතුමිය ,මේ රෝගියාට නියමිත උපදෙන් නොපිළිපැදීමට අප්‍රසාදය පළ කරලා , මේ දරුවා ඉපදිලා, මාස 6 ක් මව් කිරිත් දීලා ඊට පස්සේ ප්‍රතිකාරයට එන්න කිව්වා. හැබැයි පිළිකාවත් ඇඟ ඇතුලේ වැඩෙනවා. පොඩ්ඩක් අඬලා එහෙම මේ කාන්තාව යන්න ගියා.

ඊට පස්සේ සති දෙකකින් විතර පසුව ආයෙත් මේ කාන්තාව සායනයට ආවා. බොහොම සතුටින් ඇවිත් තිබුනා. බඩේ හිටපු දරුවා නැතිවුනාලු, බඩ රිදෙන්න ගත්තාලු ගෙවල් ලඟ තැනකින් බෙහෙත් ගත්තලු ඊට පස්සේ දිගටම ලේ ගියාලු.පස්සේ මූත්‍රා පරීක්ශා කරාලු. එතකොට බඩේ දරුවෙක් නෑ කියලා එච් සී ජී නෙගටිව් ලු.
ඔබට තේරුනේ නැතිව ඇති සමහරවිට, අපට නම් හොඳටම තේරුණා. මේ කාන්තාව නීති විරෝධී විදිහට කොහෙදෝ තැනකින් ගබ්සාවක් කරගෙනයි මේ ඇවිත් අපිව අන්දන්න හදන්නේ. මේ කාන්තාවගේ වැරැද්ද/ නොසැලකිල්ලට අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වෙලා තිබුනේ මෙලොව එළියවත් නොදැකපු කළලයක්.

වාචිකව උපදෙස් දීලා, ඒ එක්කම දැනුවත් කිරීමේ පත්‍රිකාවකුත් දුන්නට පසුව,
 ලොකු දරුවෙකුට මව් කිරි දීම ඉක්මනින් නවත්තන්න කටයුතු නොකළ, අන්තිමට නොසැලකිල්ල නිසා හෝ, වැරදීමක් නිසා හෝ ගැබ් ගත්තට පස්සේ, කළ හැකි හොඳම විකල්පය කියා තිබියදීත් ගබ්සාවක් කරලා තමුන්ගේ ජීවිතය රැක ගන්න බයෙන් තැති ගත්ත මේ කාන්තාවට කියන්නේ කවුරු කියලාද?

කවුද හරි?

{ප.ලි. හරියටම මේ කාන්තාව නීති විරෝධී ගබ්සාවක්  කරගෙන කියලා චෝදනා කරන්නේ කොහොමද කියලා ඔබ අහන්න පුළුවන්. මේ විස්තර කියන කොට ඒ කාන්තාවගේ අහකට හැරවුනු ඇස් දෙකත්, ඒ ගැන කිසිම වෛද්‍ය වාර්තාවක් නොමැතිකමත් හොඳම සාක්කි කියලා මට හිතෙනවා }

Thursday, July 17, 2014



An Old Irish Blessing
May the road rise up to meet you.
May the wind always be at your back.
May the sun shine warm upon your face,
and rains fall soft upon your fields.
And until we meet again,
May God hold you in the palm of His hand.

Sunday, June 29, 2014

ජුනි 27



විසිරුණු මිදුල හැම තැන කොළ බිමට    වැටී
දුහුවිලි සිතුවමින්      ඇතුලත රටා         ඇඳී
ලොකු තැන නොමද උදහස් වී අසන       ලදී
මහේෂ්වරී ඊයේ නොම දකින                ලදී

දින දෙක තුනක් කුස ඇත හුදෙකලා              වී
ඒ බැව් නිසා පා යුග වාරුවද                     සිඳී
දෙල්තොට බසය වෙත දෙන්නට මුදල්      නැතී
කියනට කෙසේ අරඹනු මුව ගොළුව          ඇතී

දෙකකින් එකෙක් රෝගී දරුවෙකුද           වුනී
දරුවන් පියා ඔත්පල වී ඇඳක                  නිදී
තුන් සියයකට අඩුවෙන් දිනයකට           ලැබී
යන්තම් එයින් සිව් කුසයක් රකිනු            ඇතී

අද්දා දෙපය රෝහල වෙත ඇදෙන         ලදී
ඇඟ පත විඩාවට ඔසුවක් පතනු             සිතී
රෝහල අහස කැරකෙන බව දකිනු        ලැබී
සිහි එන විටක ඇය බා උනි ඇඳක          එහී

සුවයක් නොලැබ මා හමුවට පැමින            රැඳී
ඉල්ලා සිටී බෙහෙතක් සුව සැදුම                සරී
මේ හැම දෝස සුව කරනට බෙහෙත්         පෙතී
මේ ලොව නොමැති බව පවසනු කෙලෙස    සකී

විසි හත සවස රිය සැනකෙළි මහ           නුවර
තද බද  සමඟ කන බොන උන් යන          අතර
උදයෙහි  දුටුව නොදකින ලොව වැසු         තිමිර
මිරිඟුව දවයි හදවත නොදකින                කතර 


ඔබ මා කා බී විනෝද වන මේ පොඩි ලංකාව ඇතුලේම එදා වේල හොයාගන්න බැරි, රැකියාවට එන්න බස් එකට සල්ලි නැති, නොකා නොබී සොච්චම් පඩියක් ගන්න රැකියාවට ඇවිත් කලන්තේ දාලා වැටෙන මිනිස්සු ඉන්නවා. වැඩි ඈතක නෙවෙයි අතේ දුරින්. දවසේ පඩිය රුපියල් 300ක්වත් නැති මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා කවදාහරි ඔබ හිතුවාද. රු2500කින් ජීවත් වෙන්න පුලුවන් රටක මෙහෙම මිනිස්සු කාටවත් පෙනෙන්නේ නෑ.පෙනුනත් දකින්නේ නෑ. මෙහෙම කෙනෙක් ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නකොට කලන්තේ හැදිලා වැටිලා, පස්සේ ඇවිත් මගෙන්  බෙහෙතක් ඉල්ලුවා. බෙහෙත් පෙත්තකින් මේ මිනිස්සුන්ගේ ජීවිත සනීප කරන්න පුලුවන් වුනා නම් මේ ලෝකේ මීට වඩා ගොඩාක් ලස්සන සුන්දර තැනක් වෙන්න ඉඩ තිබුනා. ඒ සිදුවීම වුනේ පසුගිය සිකුරාදා ( ජුනි 27). ජූනි 27 විශේෂයෙන් කිව්වේ ඇයි කියලා මහනුවර හරහා ගිය කෙනෙක් නම් දන්නවා.

Tuesday, June 24, 2014

අමු කොහොඹ කොළ



ඇවිදගෙන යන විටක
වූස් කැන්ටිම මැදින්
කළා සිසු සිසුවියන්
සිනා සී හදවතින්
දොඩයි වදනක් තොසින්
මා සමග පසෙක ගිය
කළා ඇදුරිඳු සමඟ

සිනා එයි මා මුවට
නොදැනීම සිහිව ඒ
ගෙවත්තේ තිත්ත රස 
අමුම අමු
කොහොඹ කොළ

Saturday, June 21, 2014

බේබද්දෙකුගේ කතාවක්



මේ  පොඩිම පොඩි කතාවක්.දිනය ජූනි විසි වෙනිදා.මම  රෑ නවයට විතර ගෙදර යන්න කටුගස්තොට බස් නැවතුමේ, බස් එකක් එනකම් බෙල්ල දික් කරගෙන ඒ නවය පාරේ අයිනේ බලාගෙන සිටියා. දුර ගමන් යන බස් නම් කීපයක් ගියත්, මට ඕන බස් එක තාම නෑ.යාපනය , කුළියාපිටිය, පේදුරු තුඩුව, ත්‍රීකුණාමලය බස් බොහොම වේගයෙන් පියාඹලා ගියා. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට කළුවර අතරින් කොහෙන්දෝ මතුවෙලා අවුරුදු 35ක විතර තරුණයෙක් හෙමින් හෙමින් ඇවිත් බස් නැවතුමේ වාඩි වුනා.
ටික වෙලාවකට පස්සේ මේ මනුස්සයා වෙලාව ඇහුවා "මහත්තයා වෙලාව කීයද" මම උත්තර දුන්නා "නවයයි දහයයි" කියලා. මේ මනුස්සය ඔලුවෙ අත් දෙක ගහගෙන වාඩි වෙලා ඉන්නවා. අසනීපයක්වත්ද කියලා බලන්න මම නිකම් කතා කරලා බැලුවා. "කොහෙට යන්නද ඉන්නේ " කියලා මම ඇහුවා. මේ මනුස්සයා කිව්වා කුරුණෑගලට යන්න ඉන්නේ කියලා. හැබැයි මේ වෙනකොට කුරුණෑගල බස් දෙකක් ගිහින් තිබුනා. ඉතින් මම අහුවා "දැන් කුරුණෑගලට බස් දෙකක් ගියානේ මොකෝ නැග්ගේ නැත්තේ කියලා". මේ මනුස්සය හොඳ කතාවක් කිව්වේ."මහත්තයා මම බීලා ඉන්නේ, ටිකක් ඔලුව අවුල් වගේ, බස් එකට නැග ගන්න බැරි උනේ ඒකයි"
මට හිනා, හොඳ වැඩේ බොනවාට කියලා හිතුනා. අමද්‍යප වීම ගැන ආඩම්බරයකුත් ආවා. බස් එකකට  බීපු මිනිහෙක් ගොඩ වුනාම හරිම කරදරේ, ගඳයි, කෑගහනවා ඒ මදිවාට විකාර හැසිරීම බලන්නත් වෙනවා.
 ඔය දේවල් කල්පනා කර කර ඉන්නකොට කුරුණෑගල ඒ සී බස් එකක් ආවා.මම අත දාලා නැවැත්තුවා. ඊට පස්සේ අර වෙරිමතින් බස් හෝල්ට් එකේ හිටපු මනුස්සයව ඒ බස් එකට දාලා යැව්වා."ගොඩක් ස්තූති සර් "කියලා ඒ මනුස්සයා බස් එකට ගොඩ වුනා. පස්සේ මමම කල්පනා කරලා බැලුවා ඇයි මට එහෙම ඒ මනුස්සයට උදව්වක් කරන්න හිතුනේ කියලා. කරටි කැඩෙන්න බීපු එකට පාඩමක් උගන්වන්න ඒ මිනිහාට එළි වෙනකම් බස් හෝල්ට් එකේ ඉන්න ඉඩ අරින්නත් තිබුනා.ඒ වුනත් පොඩි අනුකම්පාවකුත් හිතුනා. ඔය බහුබූත කල්පනා කර කර ඉන්නකොට අන්තිම බස් එකට කළින් යන බස් එක ආවා.මම ඒ බස් එකට ගොඩ වෙලා ගෙදර එන්න ආවා.

Sunday, June 1, 2014

උපාධි ප්‍රදානෝත්සවය



පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ 2013 වසර වෙනුවෙන් උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දිනක පැවැතිවුනා. විශ්වවිද්‍යාලයක වාර්ෂිකව පැවැත්වෙන වටිනාම සහ වැදගත්ම  උත්සවය, උපාධි ප්‍රදානෝත්සවය  කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.තවමත්  උපාධිලාභියෙකු නොවී ඒත් විශ්ව විද්‍යාලයේ තාවකාලික ආචාර්යවරයෙකු ලෙස උපාධි ප්‍රදානෝත්සවයයේ සංවිධාන කටයුතු වලට දායක වෙන්න අවස්ථාව ලැබුනු නිසා උපාධි ප්‍රදානෝත්සවය දිහා කවුරුවත් නොදකින පැත්තකින් දැක්කා කිව්වොත් වැරදි නෑ.

මේ දිනය  බොහොම විචිත්‍රවත්  ගාම්භීර විදිහට සිත්තම් කරන්න විශ්ව විද්‍යාලය මාස ගනනාවක් මහන්සි වෙන බව නම් නොකියාම බෑ. කතාව දැන් හරවමු උපාධි ප්‍රදානෝත්සව දිනය දිහාවට. පොඩි වැස්සකට පස්සේ අර  පේරාදෙණියේ ලස්සන  දෙගුන තෙගුන වෙලා තියන උදෑසනක වෙනදාට වඩා ගාම්භීර විදිහට ඉර පායනකොට, ගලහ හන්දිය දිහාවට හැම පැත්තෙන්ම වාහන පෝලිමක් ගලාගෙන එනවා. සරසවියේ රස දන්න බොහෝ දෙනෙක් මේ වාහන පෝලිමට බනින්නේ නැති වුනත් සමහර රියදුරෝ නම් අධික මාර්ග තදබදය නිසා නොසෑහෙන්න බනිනවා ඇහුනා සරසවි සිසුන්ට.බොහෝම සතුටින් ගලහා හන්දියෙන් ඇතුල් වෙනකොට ඒ සතුට හුලං ගිය බැලුමක් වගේ  හැකිලුනා. ඒ දවස් 150කට වැඩි ගනනක්, ඒ කියන්නේ අවුරුද්දකින් බාගයක් අව්ව වැස්ස මැද  ගලහ හන්දියේ අට්ටාලයක, තම ගැටළු වෙනුවෙන් අමන බීරි අලින්ට වීනා වයන සම සෞඛ්‍ය පීඨයේ සහෝදර සහෝදරියන් විඳින දුක දැක්කාම.ව්ශ්ව විද්‍යාලයට එන්නේ ඉගෙනගන්න මිසක් අරගල කරන්න නෙවෙයි, නමුත් පාලකයන්ගේ අදූරදර්ශී තීරණ නිසා විනාශ වෙන වටිනා උගත් තරුණ ජීවිත වෙනුවෙන් අරගල කරන්නට සිදු වෙනවා.

කොහොම කොහොමින් හරි උදේම උපාධිධාරීන්ව පෝලිමේ බොහොම ලස්සන පෙරහැරකින් උපාධි ප්‍රධානෝත්සව ශාලාවට එක්ක යනවා.මේවා ඉතින් හැමෝම දකින දේවල්නේ.

කොහොම හරි මේ දවස විශ්ව විද්‍යාලයට හරියට සැනකෙළියක් වගේ.එක එක පීඨ වල නංගිලා මල්ලිලා එක එක වෙළඳාම්. හරියට අර සැනකෙළි කාලේට තියන තොරොම්බෝල් කඩ වගේ.ටී ෂර්ට්, අත් පළඳනා, කැප්, මග්, ටෙඩී බෙයාලා, මල් පැල මේ මොකුත් නැත්නම් බීම එහෙමත් නැතිනම් අඹ විකුනන වෙලෙන්දෝ හරි හරියට.  ඒකත් බොහොම සුන්දර අත්දැකීමක්.

වෙනදාට කවුරුත් රිදවන්නේ නැති සරසවියේ කොළ පාට ලස්සන තණකොල පිටියට අද නම් බොහොම අපලයි.ලංකාවේ හතර පැත්තෙන්ම ආව වාහන වලට අහිංසක ළපටී තෘණ පත් යට වෙලා, හරියට බල සම්පන්න පාලකයන්ගේ අමන අදූරදර්ශී තීරණ වලට හැමදාම යට වෙන නිදහස් අධ්‍යාපනයේ විකසිත කුසුම් වන රාජ්‍ය විශ්ව විද්‍යාල සිසු සිසුවියන් වගේ.
උපාධි ප්‍රධානෝත්සව ශාලාවට යන අතරමග තමන්ගේ දරුවා උපාධිය ලබනවා දකින්න ආව නෑදෑ හිත මිතුරෝ පිරිලා.  බිම පැදුරු එළාගෙන, කෑම කනවා, පොඩි දරුවෝ නළවනවා, වයසක ආච්චිලා සීයලා නිදි, සමහරු තැඹිලි කපාගෙන බොනවා. මේ අය හැමෝම සාමාන්‍ය මිනිස්සු, රටේ බහුතරයක් වෙසෙන මධ්‍යම පාන්තිකයෝ. නිදහස් අධ්‍යාපනය නිසාම තම දරුවන්ගේ ජීවිත වඩාත් ඉහල , වඩාත් සැපවත් කිරීමට වෙහෙසිලා, ඒ ඵල නෙලාගන්න ඇවිත් තිබුනේ. ඒ හැමෝම බොහොම සතුටින් හිටියේ, ගිනි ගහන අව්වේ වුනත් කිසිම ගානක් නැතිව බොහොම සතුටින් හිටියා, මමත් ඉතින් වචනයක් දෙකක් කතා කරලා බැලුවා එතන උන්නු කෙනෙක් එක්ක.ඒ කතා කළ කෙනා උපාධිය ගන්න සරසවි සහෝදරයගේ බාප්පා. එයාලා තංගල්ලෙන්, කලින් දවසේ නෑදැයෝ කට්ටියම එකතුවෙලා  වෑන් එකක් හයර් කරගෙන නුවර ඇවිත්. දරුවා උපාධිය ගන්නවා බලන්න අම්මයි තාත්තයි ගිහින් , අනික් නෑදෑයෝ ටික උපාධි ප්‍රදානෝත්සවය අවසන් වෙනතුරු බලාගෙන ඉන්නවා.

උපාධි ප්‍රධානය තිබුනේ කොටස් දෙකකට, උදේ වරුවේ උත්සවය හවස එකට විතර ඉවර වුනා. හැබැයි උදේ උත්සවය ඉවර වෙනකම් මම එතන ඉන්නකොට දකින්න ලැබුනු දේ ගැන නම් එච්චර සතුටු නෑ. මොකද බහුතරයක් දෙමව්පියෝ තමන්ගේ දරුවාට උපාධිය ලැබුනාට පස්සේ උත්සව සභාවෙන් එළියට යන්න දොර ළඟ කළබල කරනවා. හැබැයි ආරක්ෂක අංශය කාටවත් යන්න දෙන්නේ නෑ, ඒමොකද කියනවා නම් උත්සවයේ ගරු ගාම්භීරත්වය උදෙසා එහෙම යන්න දෙන්නේ නැති නිසා. අතරමගින් නැගිටලා යන්න දෙන්නේ නෑ කියලා ආරාධනා පත්‍රයේ කියලා තිබුනත් මේ අයට ඒ ගන වගේ වගක් නෑ. සරසවියේ අපි නම් එකෙකුට ප්‍රශ්නයක් ආවාම ඒකට එළියට බහින්නේ පීඨයක් හැටියට නැත්නම් බැච් එකක් විදිහට එකට, තනි තනිව තමන්ගේ ගමන් යන කීප දෙනෙක් හිටියාට බහුතරයක් එකා වගේ වැඩ කළා. නමුත් බහුතරයක් දෙමාපියන්ගේ නම් ඒ ගති ගුණය දැක්කේ නෑ. ඉතින්  ඔහොම එක එක්කෙනාට අතරමැදදී යන්න දුන්නා නම්, අන්තිමට උපාධිය ගන්න එකාට අත්පුඩියක් ගහන්නවත් කවුරුත් නැති වෙනවානේ. අනෙකා වෙනුවෙන් ඉවසීම නම් තවම අපේ වැඩිහිටියන්ගේ දකින්න නෑ.


කොහොමහරි  දෙවැනි කොටසත් පටන් ගත්තා. මෙතනදීත් බොහොම කළකිරෙනසුළු අත්දැකීමක් , තමන්ගේ දරුවාගේ ජීවිතේ වැදගත්ම දවස දැකගන්න ආව දෙමාපියන්ගේ ඉවසීම නම් බින්දුවයි. පෝලිමට උපාධි ශාලාවට ඇතුළු කරන්න ගියාම තල්ලු කරගෙන පෙරලාගෙන බැනගෙන හරිම අශෝබන විදිහට තමා බහුතරයක් අතුල් වුනේ . හැමෝටම ඇති තරම් ඇතුලේ ඉඩ තියනවා වුනාට, මිනිස්සුන්ගේ ඉවසිම නම් බින්දුවටත් එහා.ඒ මදිවාට කලින් කියලා තිබුනත් ජංගම දුරකතන ගෙනෙන්න එපා කියලා හැමෝම වගේ අරන් ඇවිත් ආරක්ෂක අංශ එක්ක වාද කරගන්නවා. තමන්ගේ දරුවන් උසස් තැනකට ගෙන ආව උසස්, ගෞරවනීය දෙමාපියන් ආරක්ෂක නිළධාරීන්ගෙන් බොහොම නරක විදිහට බැනුම් අහගන්නවා කළබලය නිසා. ඒ ගැන නම් බොහොම දුක හිතුනා.මමත් පුළුවන් විදිහට සෙනග අඩු දොරටුවක් පැත්තට ගොඩක් දෙනෙක් යැව්වා අඩුම ගානේ බැනුම් අහගන්නේ නැතිව කරදරයකින් තොරව ඇතුලය යයි කියලා හිතලා.

මේ   දෙමාපියන් අතර බොහෝම ඉහළ රැකියා කරන ධනවත්  අය කීප දෙනෙක්ම දැක්කා. ඒ අතර විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙකුත් සිටියා. මට හරිම සතුටුයි , ඒ මොකද කියනවා නම් කොච්චර සල්ලි තිබුනත් "කට්ට කාගෙන" උසස් පෙල සමත් වෙලා "කට්ට කාගෙන" රාජ්‍ය විශ්ව විද්‍යාල වලින්ම  උපාධිය ගන්න ඔවුන් පෙළඹිලා තියෙන්නේ අපේ පාලක අමනයන්ට තවමත්  නොතේරෙන යතාර්ථය ඔවුන්ට වැටහිලා තිබුනු නිසා. ඒ යතාර්ථය තමා, රාජ‍ය විශ්ව විද්‍යාල වලින් නිදහස් අධ්‍යාපනය හරහා ලබාගන්නා පන්නරය හතු පිපෙන්නා වගේ පිපෙන බාල උපාධි කඩ වලින් ලබා ගන්න බැරි බව. නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාල වලින් අපි  සමත් වෙන්නේ විභාග විතරක් නෙවෙයි , අපි ජීවිතයම සමත් වෙනවා ඒක මුදල් දීලා ලබාගන්න බැහැ. මම මේ කිව්ව දේට විශ්ව විද්‍යාලයකට ආව නැති අය නම් පළු යන්න බනී. හැබැයි මම කියන්නේ බොරු නම් යන්න ආදී  විද්‍යාර්ථිකයන් වාර්ෂික සුහද හමුවකට, ගිහින් අහගෙන ඉන්න ඔවුන් කතා වෙන දේවල්. ඊට පස්සේ යන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගිය උදවියගේ ගෙට් ටුගෙදර් එකකට.ඊට පස්සේ ඔබම තීරණය කරන්න.

කොහොම කොහොම හරි හවස දෙක විතර වෙනකොට උත්සව ශාලාවම උපාධිලාභීන් හා දෙමාපියන්ගෙන් පිරුනා.බොහෝම ගරු ගාම්භීර විලාශයට පේරාදෙණිය සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයේ දෙවැනි අදියරත් ආරම්භ වුනා. එතනින් එන්න පිටත් වෙනකොට මට මෙහෙමත් හිතුනා. නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඕනේ කියන සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ආවඩන හා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කුඩම්මාගේ සැලකිලි දක්වහ හැමෝම උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ දොර ගාව තියන්න ඕනේ.මොකද කියනවා නම් එතනින් ඇතුළු වන අහිංසක අම්මලා තාත්තලාගේ මුහුනේ තියන සතුට, අහිංසක ආඩම්බරය , සැනසීම, බලාපොරොත්තුව දැක්ක කෙනෙක් ආපහු කිසිම දවසක නිදහස් අධ්‍යාපනය නැති කරන්නේවත් කැම්පස් ගිය එවුන්ට බනින්නේවත් නෑ.








Sunday, May 25, 2014

ගුරු මාරුව

මහත්තයෝ අපේ කෙළී
ගෙදර උන්නෙ ලඟම වෙලී
වැඩිම සතුටු උනේ මමයි
ඒකිට ගුරු පත්වීමක්
මහත්තයෝ ලැබුනු දිනේ

මොන පවක්ද මේ වෙනකන්
ඈ ඉන්නේ වන්නිකරේ
වලසුන් ඇවිදිති පාරේ
වල් ඌරන් හා සපුන්ද
හොල්මන් කරනා ඇතුන්ද
අතරින් පැන යයි කල වස

කීයක් කරදහි එව්වද
තෙතමනයක් නැතුවාමද
හාන්දුරුවනේ ඔබලාට
දරු දුක දැනිලා නැතිවද

අම්මා ඔත්පල ඇඳ ලඟ
අකුර අහිමි පොඩි කෙලීට
වතුර පොදක් නැති කුඹුරේ
නැති බත දෙන ලොකු එකීට
දරු පවුලක් වෙනු නාකද
ගෙදර එන්න පින් නැතිවද
ගිරහ දෝස අපල වේද?
ගමේ කනිස්ටෙට එන්නට
වරම් දෙන්න මහත්තයෝ
ඒ පින් ඇති නිවන් යන්න


මීට අප්පච්චි


[  තිළිණි දෙහිගොල්ලේ විසින් අත්දැක කටු සටහනක් ලෙස කුරුටු ගෑ පද කීපයක් ]

කතා දෙකක්


මේ කතා දෙකත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ න්‍යශ්ටික වෛද්‍ය අංශයේ අන්තරාසර්ග රෝග සායනයේ හමුවුන රෝගීන් පිළිබඳවයි.

පළමු කතාව

මේ කතාව අවුරුදු හතලිස් අටක කාන්තාවකගේ ජීවිත කතාව. තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධව ලේ පරීක්ෂා කරන්න ඇය පැමින තිබුනාය. රෝග සම්බන්ධ සායනික ඉතිහාසය විමසනවිට මිනිසුන්ගේ ජීවිතවල අපි නොදකින පැති හරි අපූරුවට විවර වෙනවා. මේවා අකුරු කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්නවත්, කිසිම කෙනෙකුට හිනා වෙන්නවත් අඬන්නවත් නෙවෙයි ,හුදෙක්ම ජීවිතය කියන දේ හරි පුදුමයි සහ අපි නොහිතන තරම් ගැඹුරු පරක් තෙරක් නොපෙනෙන සාගරයක් බව යාන්තම් පෙන්වන්න.

ආයෙත් කතාවට බහිමු. මේ කාන්තාව ගුරුවරියක් විදිහට සේවය කරලා තිබුනා, නමුති වයස අවුරුදු 50 වෙන්නත් කලින්ම ගුරු වෘත්තියෙන් සමුගෙන. ඒකට හේතුව තමා අධික මහන්සිය , කම්මැලිකම, නිදිමත, අමතකවෙන ගතිය, ඇඟට පතට දැනෙන අපහසුතාවය ආදී  රෝග ලක්ෂණ.වෛද්‍ය සිසුවෙක්ට නම් දැන් තේරෙනවා මේ කාන්තාවගේ මේ තත්වයට හේතු දෙක තුනක්වත්. ඒ කාන්තාව මන්ද තයිරොයිඩතාවයෙන් පෙලෙමින් තිබුනා. කතාව ඒක නෙවෙයි.

මේ කාන්තාව විවාහකයි, ඊලඟ ප්‍රශ්නයත් ඇහුවා."බබාලා කී දෙනෙක් ඉන්නවද, එයාලගේ වයස් කොහොමද ?" ඔන්න කතාව පටන් ගන්න තැන. "බබාලා නෑ ඩොක්ටර්, දැන් මහත්තයයි මයි වෙන් වෙලා ඉන්නේ. අපි බැඳලා අවුරුදු 15ක් විතර එකට හිටියට ළමයි නෑ, අපි අතර එහෙම සබඳතාවක් තිබුනේ නෑ". මේ කාන්තාව දිගටම කතාව කියාගෙන යනවා." මහත්තයත් ඉහල  රැකියාවක් කලේ, අපි බොහොම සතුටින් හිටියා, මහත්තයාට අන්තිමට මහන වෙන්න ඕනේ වුනා. ඉතින් අපි දෙන්නා වෙන් වුනා.
මගෙන් ප්‍රශ්නයක්."ඉතින් මහත්තයා මහන වුනාද"
"ඔව් එයා මහන වුනා, මහන වෙලා අවුරුද්දක් විතර සිවුරේ හිටියා, ඊට පස්සේ සිවුරු හැරියා, එයාගේ හැටි ඔහොම තමයි.කිසි දෙයක් එක දිගට කරන්න බෑ, ඇය සිනාසෙමින් කියන්නට විය."මම ඕක කලින්ම දැනගෙන හිටියා.මහන වුනාට කවදාහරි සිවුරු අරිනවා කියලා, දැනුත් ඉඳලා හිටලා මතක් වුනොත් ඇවිත් බලලා යනවා"
"මට මේ කම්මැලි නිදිමත අමාරු ගතිය හින්දා රස්සාව කරන්න අමාරුයි ,ඒනිසා කලින්ම අයින් වුනා, මේක සංසාරේ ලබා උපන් හැටි වෙන්න ඇති"
[ඔන්න ඕකට නම් මට එකඟ වෙන්න බැරි වුනා.මොකද මන්ද තයිරොයිඩතාවය කියන්නේ සංසාරෙන් ගෙනෙන දෙයක් නොවන නිසා සහ තයිරොක්සින් පෙති උදේ පාන්දර හිස් බඩට බීමෙන් සනීප කරගන්න පුළුවන් රෝගයක් නිසා. ]

දැන් ඉතින් මේ කාන්තාව ඇගේ අම්මා එක්ක ජීවත් වෙනවා. මේ කාන්තාව ඇගේ සැමියා (හිටපු සැමියා) පිළිබඳ බොහොම මැදහත් සිතකින් දැන් ජීවත් වෙනවා. ඔහුගේ වරැද්දක් කියන්නෙත් නෑ, ඔහුට බනින්නෙත් නෑ.ජීවිතය ගැන ලොකු බලාපොරොත්තුවකුත් නෑ වගේ මට පෙනුනේ.

දෙවැනි කතාව
 මේ කතාවේ කතා නායිකාව දෙමළ කාන්තාවක් ව්යස තිස් ගනන්වල අග, ගෙවල් යාපනයේ. මහනුවර ප්‍රදේශයේ උසස් වැදගත් රැකියාවක් කරනවා. තවදුරටත් උසස් අධ්‍යාපනයේ යෙදෙමින් සිටිනවා. ඇගේ රෝගී තත්වය අදාල නෑ මේ කතාවට. ඇය විවාහකයි.ඇගේ සැමියාගේ ගමත් යාපනය, ඔහුත් ඉහළ රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වෙලා තිබුනේ සරසවි ප්‍රේමයේ ප්‍රතිපලයක් විදිහට.
මේ කාන්තාව මහනුවර රැකියාව කලාට ඇගේ සැමියා රැකියාව කරන්නේ යාපනයේ.සැමියා යාපනයේ රැඳී සිටීමට හේතු කීපයක් තිබුනා.ප්‍රධානම හේතුව වෙලා තිබුනේ පවුලේ එකම දරුවා නිසා ඔහුට තම වයස්ගත දෙමාපියන් රැකබලා ගන්න සිදුවී තිබුනා.මේ කාන්තාව කියූ පරිදි, ඇගේ සැමියාගේ දෙමාපියන් යාපනයේ ඉහල කුළයකට අයත්ලු. ඔවුන් ජීවිතේට යාපනය නගරයෙන් පිට ගිහින් තිබුනේ නැතිලු මේ "කුල අභිමානය" නිසා.
නමුත් කතානායිකාවගේ සැමියා ඇයට හරි ආදරෙයිලු. ඔහු කිසිම විටක ඇයට ඇගේ රැකියාව හෝ උසස් අධ්‍යාපනය අත හැරලා යාපනයට එන්න කියලා බල කරන්නේ නැතිලු. ඒ වෙනුවට මහනුවරින් නිවසක් මිලදීගෙන දෙමාපියන්ව යාපනයේ ඉඳලා මහනුවරට ගෙනෙ එන්නට කීප විටක් උත්සාහ කරලා තිබුනා. ඒ වුනත් ඒ වයසක යුවල නෙවෙයි යාපනයෙන් අඩියක් එලියට තියන්නේ.
මේ කියන කාන්තාව දැන් වයස අවුරුදු හතලිහ වෙන්නත් කිට්ටුයි.විවාහ වෙලා අවුරුදු දහයක් විතර වුනත් තාම දරුවෙක් නැහැ. ඒ ගැන ඇගේ හිතේ ලොකු කනස්සල්ලක්  තිබුනා. නමුත් ඇය කීප විටක්ම රැකියාව අධ්‍යාපනය අතහැරලා යාපනයට යන්න උත්සහ කළත් ඇගේ සැමියා හැම වෙලාවෙම ඇයව වලක්වලා තිබුනා. යාපනය මහනුවර පැය අටක විතර දුරක්  (කිලෝමීටර් 326ක්ද කොහෙදෝ ) ඔවුන් දෙපලගේ විවාහ දිවිය අතරමැද තිබුනා.
කොහොම වුනත් මට තේරුන කරුණු කීපයක් තිබුනා. මේ කාන්තාව කීප විටක් උත්සාහ කළත් රැකියාව හා උසස් අධ්‍යාපනය අත හැරලා යාපනයට යන්න සැබෑ උනන්දුවක්නම් මට පෙනුනේ නෑ. ඇය ඇගේ සැමියා ළග නැති එක ගැන ගොඩක් දුක් උනා.දරුවෙක් නැති එක ගැනත් ගොඩක් දුක් උනා. කිසිම විටක සැමියා යාපනයේ හිඳිමින් වයසක දෙමාපියන් බලාගැනීම ගැන වැරැද්දක් කීවේවත් හෝ තරහක් තිබුනේවත් නෑ. සැමියාගේ වයසක දෙමාපියන් මහනුවරට එන්න අකමැති වීම ගැන අමනාපයක් තිබුනෙත් නෑ.

සත්‍ය කතා දෙකක් .මේ  දෙන්නාගේ විස්තරය අකුරු කරන්නට හිත හිතා ඉන්න ගමන් අහම්බෙන් වගේ ෆේස්බුක් එකේ කව්දෝ සුනිල් එදිරිසිංහ සංගීතවේදියානන් ගයන කුඩා ගමේ මද්දහනේ කියන ගීය ශෙයා කරලා තියනවා දැක්කා.මේ කතාව අවසන් කරන්න ඒ ගීතයේ අවසන් පදය සුදුසුයි කියලා හිතුනා. ඒ මොකද කියනවානම් හැමදාම පුවත්පත්වල, රූපවාහිනීවල ,චිත්‍රපටිවල, කෙටිකතා, නවකතාවල දකින පොඩි දේටත් අඹු සැමි ආරවුල් ඇති වෙන මිනී මරාගන්න ගුටි බැට දෙන රටේ, මෙහෙම පුදුම ඉවසීමකින් ජීවත් වන මිනිස්සුත් ජීවත්වෙනවා කියන එක දැක්කම "ආල වඩන යන තේරුම බෝසත්කම සකි " කියන ගී පදය බොරුවක් නෙවේ කියලා හිතුන නිසා.



(අකුරු හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් පෙන්වා දෙන්න )












Friday, May 16, 2014

බිම්මල්



සඳුට හොරෙන් ඉඳ හිට මහ රෑ                 පිපෙනා
සඳැසක කවක කිසිවිට පදයක්              නොවෙනා
දින දෙක තුනක් සුදු පැහැයෙන් හිත           පිරෙනා
සුවඳක් නොදී මතකය හෙමිහිට              මැකෙනා





Sunday, May 11, 2014

(A beat) ගැස්මක්

මේ කතාව මගේ යාළුවෙකුගේ අත්දැකීමක්. මේ යාළුවා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී ඒ විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යාවක් ගැන පිළිබඳ සිතක් පහළ වෙලා තිබුනා. කොහොමින් කොහොම හරි මේ මිත්‍රයා කාලයක් ඔය ශිෂ්‍යාව පස්සෙන් ගිහින් තිබුනා ආදරයක් බලාපොරොත්තුවෙන්, මේ ගෑනු ළමයත් වැඩි අකමැත්තක් පෙන්නුවේ නෑ. කොහොම හරි මිත්‍රයා මේ වැඩේ බොහොම රහසිගතව තමා කරලා තිබුනේ, ඒ මොකද කියනවානම් කවුරුවත් මේ සිද්ධිය දැනගෙන අර ගෑනු ළමයාට විහිළු තහළු කරාවි කියන බයට. කොහොමහරි ටික කාලයක් ගිහින් ,දවසක් මේ මිත්‍රයා අර ගෑනු ළමයාගෙන් ප්‍රේමය අයැද සිටියා, ගත් කටටම ප්‍රතික්ෂේප කළා. මිත්‍රයාට බොහොම දුක හිතුනා, නමුත් ඒ දුක මත් පැන් හෝ වෙනත් දේකින් නැතිකරගන්න හිතුවේ නැහැ.
කවදා හෝ කැමැත්තක් ඇතිවෙයි කියලා හිතාගෙන ආයෙත් ඒ ගෑනු ළමයා පස්සෙම කාලයක් ගියා. මගේ මිත්‍රයා ආර්ථික අතිනුත් , ගතිගුණ අතිනුත් ගෑනු ළමයාට වඩා සෑහෙන ඉදිරියෙන් හිටියේ. නමුත් තුන් හතර පාරක්ම ආපහු ගෑනු ළමයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුනා. හැබැයි ඒ අහන වෙලාවට ඇරෙන්න අනික් වෙලාවට දෙන්නා අඹ යාළුවෝ ,ඒ බව ෆේස් බුක් එක සාක්ශි දරයි කියලා ගොඩක් දෙනෙක් කියනවා . අන්තිමට මගේ මිත්‍රයාටත් වැඩේ එපා වෙලා අත් ඇරලා දැම්මා .කොහොමහරි විශ්වවිද්‍යාලයෙන් පිට වුනාම මගේ මිත්‍රයා වෙනත් ගැහැනු ළමයෙක් සමඟ පෙම් සබඳතාවක් ඇති කරගත්තා.

දැන් කතාවට බහිමු. ළඟකදී තවත් මිතුරෙකුගේ විවාහ උත්සවයකට මගේ මිත්‍රයා සහභාගී වුනා.මේ උත්සවයට අර කලින් කී ගෑනු ළමයත් ඇවිත් තිබුනා. මුහුනට හමු වුනත් හිනා වෙලාවත් නෑ. කොහොමහරි විවාහා උත්සවය අවසන් වෙන්න යුවල පිටත් වෙනකොට කට්ටියම ආසන වලින් නැගිටලා දොර ගාවට ඇවිත් තිබුනා. මගේ මිත්‍රයා ඕන කෙහෙල්මලක් කියලා අර මුලින් කී ගෑනු ළමයාට කතා කරලා. ඉතින් කොහොමද කියලා අහලා තිබුනා.උත්තරය මොකක් වෙන්න ඇතිද?
අනේ මට සමා වෙන්න කියලා ඒ ගෑනු ළමය වැලහින්නක් වගේ වලපෙන්න පටන් ගත්තලු . මගේ මිත්‍රයා මොකක් කියන්නද කියලා හිතාගන්න බැරිව බලාගෙන හිටියාලු.



Friday, May 9, 2014

හිස් වූ මතක





දළදා නුවර චිරි චිරි දිය                      වෑහෙද්දී
රිය එළි අඳුරු කළු වතුරෙන්               සේදෙද්දී

හිස් වූ මතක මා දෝතේ ගුලි                  වෙද්දී 

මා යමි අඳුර අතරින් හිත බර                   වෙද්දී


අළුතින් එක්ස්ටර්නල් හාර්ඩ් එකක් මිළදී අරගෙන මහ වැස්සේ බස් එකක ගිය විමුක්තිට හිතුන දේ 

Monday, May 5, 2014

සෙනසුරාදා

දිනය සෙනසුරාදාවක්. ස්ථානය මහනුවර පිලිමතලාව අළුත් පාර බස් එකක්. මේ වෙලාවේ බොහොම තදින් වහිනවා. බස් එකේ සෙනග පිරිලා තිබුන නිසා වාඩි වෙන්න ඉඩක් තිබුනේ නෑ. බස් එක මහනුවරින් පිටත් වුනා. කොන්දොස්තර බස් එකේ ඉස්සරහ ඉඳන් මුදල් අය කරමින් පිටිපස්සට එනවා. ඔය අතරේ මම දැක්කා සීට් එකක කොනක හොඳටම තෙමුනු යාචක කාන්තාවක් වාඩි වෙලා ඉන්නවා.
කොන්දොස්තර මේ කාන්තාව ඉන්න තැනට ආව ගමන් සිදු වෙන්න යන අප්‍රසන්න කතාවත්, බොහෝ විට කොන්දොස්තර විසින් මේ කාන්තාව බස් එකෙන් එලියට ඇද දමන්නට ඉඩ ඇති බවත් දැනුන නිසා මම ටිකක් පිටිපස්සට ගියා.
කොන්දොස්තර මේ කාන්තාව ළඟට ආවා. කොහෙටද ටිකට් ගන්න කියලා කිව්වා. මේ යාචක කාන්තාව  කුණු ගෑවුනු මල්ලක් අතින් අල්ලගෙන කහට දත් විලිසා යන්තම් හිනා වෙන්න උත්සාහා කළා.
කොන්දොස්තරට තරහ ගියා. චික් මල වදේ කියලා ඒ කාන්තාව අත හැරලා අනික් අයගෙන් සල්ලි ගන්න වුනා. මටම පුදුමයි මේ ලංකාවේ කොන්දොස්තර කෙනෙක්ද කියලා.  කොන්දොස්තරගේ කිසිම බලපෑමක් නැතිව අර යාචක කාන්තාව නොමිලේම ගැටඹේ පන්සල ගාවින් බැහැලා ගියා.
මට ඉතුරු රුපියලක් අඩුවෙන් දුන්නත් කොන්දොස්තර ගැන තරහක් ඇති වුනේ නෑ, ඒ ඇයි කියනවා නම් ඒ ගමන අප්‍රසන්න අත්දැකීමක් නොකිරීමට කොන්දොස්තරගේ ඉවසීම හා අනුකම්පාව හේතු වුන නිසා

05.05.2014

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික වෛද්‍ය අංශය, වෙනදා වාගේම අද උදේත් හරිම කළබලයි. අවුරුදු නිවාඩුව නිසා පහුගිය සතිවල රෝගීන්ගේ අඩුවක් තිබුනත් මේ සතිය ආරම්භ වුනේම පහුගිය සතියේ අවුරුදු නිසා අසනීප අමතක කරපු රෝගීන් බොහෝ පිරිසක් සමගින්. උදේ 7.30 ඉඳලා එකම ඉරියව්වෙන් එක දිගට රෝගීන් බලලා කොන්දත් ටිකක් රිදෙනවා. හැබැයි ආව එක ලෙඩෙක්වත් ආපසු හරවල යැව්වේ නෑ, කොහොම හරි අන්තරාසර්ග රෝග පරීක්ෂණ වලට ලේ ගත්තා.
 දවල් 11ට විතර පොඩි දරුවෙක් එක්ක වැඩිහිටි කාන්තාවන් 3 දෙනෙක් ආවා. ඇවිත් තිබුනේ අර පොඩි දරුවාගේ වකුගඩු සම්බන්ධ (DMSA) ස්කෑන් පරීක්ෂාවකට දිනයක් ලබාගන්න.
මේ උදවිය ඇවිත් තිබුනේ කන්තලේ ඉඳලා.පාන්දරින්ම පිටත් වෙලා තිබුනා. විස්තර අහනකොට දරුවගේ අම්මා මොකුත් කියන්නේ නෑ. කිසි දෙයක් කියන්නේ නැති නිසා අර අනිත් කාන්තාවගෙන් මේ රෝගී දරුවා ගැන විස්තර ඇහුවා.
බලාගෙන යනකොට මේ දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නාටම උපතින්ම කතා කරන්න බෑ (ගොළුයි ) ඒ මදිවට කන් ඇහෙන්නෙත් නෑ ලු. හැබැයි දරුවා හොඳට කතා බහ කරනවා. පොඩි සැනසුම් සුසුමක් පිට උනේ, දරුවා හොඳට කතා බහ කරන නිසා. මම ඉතින් තව විස්තර ටිකක් අහලා බැලුවා. මේ දරුවාගේ අම්මා එක්ක ඇවිත් තිබුනේ දරුවාගේ ලොකු අම්මායි, නැන්දයි. අනේ ඒ මිනිස්සු දෙන්නා හරි හොඳයි, මේ දරුවා පොඩි කාලේ ඉඳලාම බලාගෙන තියෙන්නේ ඒ දෙන්නා. දෙමව්පියන් ගොළු වුනාට දරුවා කතා බහ ඉගෙනගෙන තියෙන්නේ මේ දෙන්නාගෙන්. තමන්ගේ දරුවෙකුට වගේ එහෙම ආදරයෙන් සහෝදරියගේ දරුවා බලා ගත්ත, තාමත් බලා ගන්න ඒ ලොකු අම්මා හා නැන්දා ගැන ලොකු සතුටක් ගෞරවයක් ඇති වුනා. ඉක්මනින් ස්කෑන් දිනයක් ලබා දීලා මේ උදවිය පිටත් කළා. යන කොට බොහොම සතුටින් තමා පිටත් වුනේ. [සතුටින් පිටත් වුනේ නැතිනම් ඉතින් ස්කෑන් එකට එනකොට කන්තලෙන් මී කිරි හට්ටියක් ගෙනෙන්නම් කියලා කියන්නේ නෑ නේ] .
  හැමදාම මම දකින්න ආසාම දේ තමයි මේ. සතුටින් පිට වෙලා යන රෝගියෙක්. ඒ දේ දකින්න ලොකු වියදමක් යන්නේ නෑ කියලයි මට හිතුනේ. හොඳට  කතා කරලා ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාරය/ පරීක්ශනය කරවල පිටත් කරන එකම ඇති කියලා මට හිතුනා.

නො පබඳිමි කව් මුතු
නුඹ වෙනුවෙන් මම්
නොහැඟෙනා බැවින් ඔබ 
තරමින් වැලි ඇටකුදු

Wednesday, April 16, 2014

තුවාල කැළල



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික වෛද්‍ය අංශය, සෑම උදෑසනකම කළබලකාරී වන්නේ හැම උදෑසනකම අන්තරාසර්ග රෝග සම්බන්ධ සායනය(Endocrine clinic) පැවැත්වෙන නිසාය. තයිරොයිඩ් සම්බන්ධ රෝග ඇති අය නිතරම මෙහි පැමිනෙනවා. එක් සඳුදාවක වයස අවුරුදු 45-50 විතර කාන්තාවක් තයිරොයිඩ් සම්බන්ධ රෝග සඳහා රුධිර පරීක්ෂණයකට පැමිණියා.මේ රෝගී කාන්තාවගේ බෙල්ලේ සුව වූ තුවාල කැළලක් තිබුනා. හරියටම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට පසුව ඇතිවන කැළල වගේමයි.
රෝග විස්තර අසන ගමන් මම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරලාද ඉන්නේ කියලා ඇහුවා .ඔන්න ආයේමත් දිග කතාවක්. මෙහෙමත් දේවල් මේ ළඟපාත සිද්ද වෙනවනේ කියලා මටම පුදුමයි.

මේ කාන්තාවගේ ගම ගම්පොල ප්‍රදේශයේ. ඇයට වැඩිමහල් සහෝදරියක් සිටිනවා .මේ කාන්තාවගේ ළමා හා තරුණ කාලය දරිද්‍රතාවයේ අඩියේම ජීවත්වුනු කාලයක්. මොවුන්ගේ මව් පියන් තේ වත්තක කම්කරුවන් ලෙස වැඩ කරලා තියනවා. මේ අතර මොවුන්ගේ පියා අධික ලෙස මත්පැනට ඇබ්බැහි වෙලා තියෙනවා. ලැබෙන සොච්චම් පඩිය ඔහු සම්පූර්ණයෙන්ම කසිප්පු වලට වියදම් කරලා පවුලේ ආර්ථිකයත් සතුටත් රහමෙරයෙන් දියකරලා දරුවන් හා බිරිඳත් කඳුළු සාගරයක පා කරවලා තිබුනා. පවුලේ ආර්ථික තත්වය හොඳ අතට ගන්නට මේ කාන්තාවගේ මව මැද පෙරදිග වහල් මෙහෙයට පිටත් වෙලා තියනවා, හැබැයි මේ මව රට රස්සාවට ගිහින් තියෙන්නේ බේබදු සැමියා සමග දුවරු දෙදෙනෙක් තනි කරලා.
කාලය හෙමින් ගෙවී යන්න වුනා. රට රැකියාවෙන් මව එවන මුදල් වලින් පියා කසිප්පු මුදලාලිටත් බාර් එකේ හිමිකරුවටත් සුභ අනාගතයක් උදා කරමින් සිටියා.  මේ කාලය වෙනකොට තරුණ වයසේ හිටපු යටකී රෝගී කාන්තාවත් ඇගේ අක්කාත් ඇඟළුම් කම්හලක සුළු පඩියකට ශ්‍රමය විකුනමින් සිටියා.
බෙල්ලේ ඉදිරිපස තියන තුවාල කැලල දැන් සෑහෙන දුර ගිහින් වගේ නේද?

මේ රෝගී කාන්තාවගේ බෙල්ලේ තියෙන තුවාල කැලල සම්බන්ධ කතාව දැන්. මේ අක්ක නගෝ දෙන්නා මේ කියන දවසේ වැඩ ඇරිලා හවස් වරුවේ ගෙදර එන ගමන්, බස් රථයෙන් බැහැලා පයින් නිවසට එන්න පිටත් වුනා.තරමක් අඳුරු පාළු පාරකින් මොවුන්ගේ නිවසට ලඟා වෙන්න තිබිලා තියෙන්නේ. නොහිතපු කරදරයකට ඒ දවසේ මේ දෙදෙනාට මුහුන දෙන්න වෙලා. ගමේ හිටපු චන්ඩියෙක් මග රැකගෙන ඉඳලා මේ කතානායිකාවගේ අක්කාව බලෙන් කැලෑවට ඇදගෙන ගොසින් දූෂණය කරලා. අක්කාව බේරාගන්න උත්සහ කළත් නංගිට එච්චර හයියක් තිබිලා නෑ.

කොහොම හරි නීතියේ පිහිට සොයන්න අක්ක නගෝ පොලිසියට මේ සිද්ධිය පැමිණිළි කරලා.මේක දැනගෙන කුපිත වුනු දූෂකයා අක්ක නගෝ දෙපලට තර්ජනය කරලා තිබුනා. කොහොම හරි නඩුවක් ගොනු කරලා. නඩුව යන අතරේ දූෂණයට ලක්වුනු අක්කා ලැජ්ජාවටම සියදිවි නසාගෙන. මේ කතාවට හේතුවුන කාන්තාව හෙවත් නංගී කොහොමහරි අක්කාට සාධාරණය ඉටු කරන්න ඕනේ කියලා නඩුවට සාක්ෂි දීලා. අර චන්ඩියා එක දවසක රෑ ඇවිත් මේ කාන්තාවට තර්ජනය කරලා, නඩුවට සාක්ෂි දෙන්න එපා කියලා. ඒත් මේ කාන්තාව දිගටම සාක්ෂි දීලා. අර දූෂකයා දවසක් රෑ මේ කාන්තාව මරන්න ඇවිත් තිබුනා.දැලි පිහියකින් බෙල්ල කපන්න ඇවිත්. මේ කාන්තාව දලි පිහි පාරට ලක් වෙලා.හැබැයි මේ කාන්තාවගේ කෑගැසීමට අහල පහල මිනිස්සු ඇවිත් බේරගෙන තිබුනා. එදා වුනු ඒ තුවාලය කාලයක් ගිහින් කැළලක් බවට පත් වුනාම හරියට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයේ යොදන කැපුම නිසා වුනු කැළල වගේමයි. (කොහොමහරි අර වැරදිකාරයා බරපතල වැඩ සහිතව හිරේට නියම වෙලා, මේ කාන්තාව තම මියගිය අක්කට සාධාරණය  ඉටු කරලා තිබුනා)
ඔන්න ඔහොමයි බෙල්ලේ තුවාල කැළලක් පිටුපස්සේ කතාවක් ලියවෙලා තිබුනේ






Sunday, February 2, 2014

ප්‍රමාද වී පැමිනි රෝගියා



මේ කතාවට පාදක වුනු සිදුවීම සිදු වුනේ මම පේරාදෙණියේ න්‍යෂ්ථික වෛද්‍ය සායනයේ වැඩ පටන් අරගෙන දවස් කීපයකින්.සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, අන්තරාසර්ග රෝග, පිළිකා, වකුගඩු රෝග සඳහා ස්කෑන් පරීක්ෂණ හා ප්‍රතිකාරයන් සිදුකිරීම න්‍යෂ්ථික වෛද්‍ය අංශයෙන් සිදුකෙරෙනවා. එතනට ලංකාවේ හැම තැනින්ම වගේ විවිධ වයස්වල විවිධ රෝගීන් එනවා. ඒ අයගේ ජීවිත ඇතුලේ පුදුම කතාවන් සැඟවිලා තියනවා.කාර්යබහුල සායනයේදී  ලැබෙන කෙටි කාලයකදී රෝග නිශ්චයට හා ප්‍රතිකාර වලට ඇවැසි ඔවුන්ගේ විස්තර අහන්න දැනගන්න නිමේශයක් වෙන් කර ගන්නවා.

මේ කියන දවසේදී , සායනය අවසන් කරලා ස්කෑන් පරීක්ෂණ බලන්න මම පේරාදෙණිය රෝහලට යන්න පිටත් වුනා. එලියට යනකොටම අවුරුදු 55ක විතර අම්ම කෙනෙක් ආවා. මොණරාගල ඉඳලා ඇවිත් තිබුනේ, ලේ පරීක්ෂාවක් කර ගන්න, හැබැයි මේ වෙනකොට සායනය අවසන් බව කවුන්ටරයේ ඉන්න උපස්ථායක (ඇටෙන්ඩන්) කියලා, පහුවෙනිදා එන්න කියලා.මේ අම්මා අඬ අඬා ඇවිත් මට කතා කළා.බොහොම දුර ඉඳලා ආව නිසා කොහොමහරි අදම පරීක්ෂණය කරලා දෙන්න කියලා අඬ අඬ කියනවා. ඒ අම්ම කියනවා, එයාටත් මම වගේ පුතෙක් හිටියාලු , කතා ගොඩක් කිව්වා.

පේරාදෙණියේ වෛද‍ය පීඨයේදී පොත පතින් ඉගෙනගත් දැනුමට එහා ඉගෙනගත් මානුශීය වෛද්‍යවරයා අවශ්‍ය වන වෙලාවක්, ඉතින් පොඩි වෙලාවක් මට පරක්කු වුනාට කමක් නෑ කියලා වහලා තිබුන සායනයේ දොර ආපසු විවර කලා.මේ රෝගී අම්මාගේ විස්තරය සටහන් කරගෙන පරීක්ෂා කරලා ලේ පරීක්ෂණයට සූදානම් කළා.
මේ අම්මා අහන්නත් කලින් බොහෝම සංවේදී කතාවක් කියන්න පටන් ගත්තා. මම වගේ පුතෙක් ඉන්නවා නම් අද මොකෝ තනියම මෙච්චර දුර ආවේ කියලා , ඒ අම්මා මට අහන්න ඉඩ තිබ්බේ නෑ .
මේ අම්මා ගොවි තැන් බත් කරගෙන ජීවත් වුනු පවුලක කෙනෙක්.කුඹුරු ගොවිතැන් කරගෙන බොහොම සතුටින් ඉඳලා තියනවා. මේ අම්මට එකම පුතෙක් ඉඳලා තියනවා මගේ වයසට කිට්ටු වයසක, ඒ එකම පුතා බුද්ධ ශාසනයට පූජා කළා කියලා කඳුළු අතරින් හරිම ආඩම්බරයෙන්  කිව්වා. නමුත් මොකද්දෝ අවාසනාවකට මේ අම්මගේ  ස්වාමියා මීට වසර කීපයකට කලින් වකුගඩු රෝගයක් හැදිලා මේ ලෝකය හැර ගිහින්.දැන් බොහෝම අමාරුවෙන් තමා ජීවිතය ගැට ගහගන්නේ.
පියාගේ අභාවයට පස්සේ අම්මා විඳින දුක දැකපු පොඩි හාමුදුරුවෝ කීප විටක්ම සිවුරු හැරලා ඇවිත් කුඹුරු වැඩ කරලා තියනවා. ඒ වුනත් අම්මලා ළමයි පාසල් යන්න කම්මැලි වුනාම එලවනවා වගේ පුතාව නැවතත් පන්සලට හරවලා යවලා. චීවරයේ සිටින ගමන්ම දැන් පොඩි හාමුදුරුවෝ අම්මව බලාගන්නවා.

මේ මනුස්සයාව වෙන දවසක එන්න කියලා පිටත් කළා නම් සමහර විට නැවත නො එන්නම වුනත් ඉඩ තිබුනා.මම වගේ පුතෙක් ඉන්න ඒ අම්මාව, බුදු පුතෙක් වුන ඒ පුතා බලාගන්නවා, ඒ වුනත් අවුරුදු ගනනාවක් මට උගන්වන්න මහන්සිවෙලා, මම වෙනුවෙන්  දුක් විඳලා තවමත් ඒ වෙනුවෙන් දුක් විඳින මගේ දෙමව්පියන්ට තවම මගේ ශක්තියෙන් සලකන්න මට තවම බැරි වුනා, තවමත් උදේට අම්ම මට බස් එකට සල්ලි දෙනවා.ඒ අම්මව  සායනය වහලා නිසා පිටත් කළා නම් මට ඉතිරි වන විනාඩි දහය පහලොවට වඩා මිල කරන්න බැරි ගොඩාක් ලොකු සතුටක් හිතට එදා දැනුනා.ඒ අම්මා මට පින් දිදී යන්න ගියා.හැබැයි මේ පින් වල අයිතිය මට නෙවේ,ඒ පින් අයිති මගේ දෙමව්පියන්ටයි කියලා මට හිතුනා.

 තවම මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් නැති නිසාදෝ මන්දා ඒ පොඩි සිදුවීමත් මේ විදිහට ලියවුනේ. (අකුරු වැරදි   තිබේ නම් පෙන්වා දෙන්න )