Monday, August 21, 2017

පහේ සිස්ස්ත්තේ (20.08.2017)



පහු ගිය දවසක උදේ වැඩට යන්න යනකොට ජෝසප් එක ගාව කවදාවත් නැති කලබලයක්. ඉස්කෝලෙ නිවාඩු වුනාට එතන මහ සෙනගක්. මොකුත් කලබලයක්ද මන්දා. පස්සෙ මට මතක් වුනා අද අම්මලාගේ විභාගේ නේ කියලා. පහේ සිස්සත්තෙ. ඉස්කූටිවල, මහේන්ද්‍රා කැබ් වල, ත්‍රීවීල්වල, පුස් බයිසිකල් වල, කාර් වල, මොන්ටෙරෝවල නලලේ අළු ගාගත්ත අත් වල පිරිත් නූල් (සමහර ඒවා පිරිත් කඹ ) බැඳගත්ත පොඩ්ඩො පොඩිත්තියො අම්මලා තාත්තල එක්ක එනව එක සීරුවට.
තදබදය අතරින් යනකොට මමත් සිතින් පහේ සිස්සත්තෙ කාලෙට ගියා. හිතාගන්නත් බෑ ඒ මීට අවුරුදු විස්සකට කලින් ,ඒ කියන්නේ 1997. එච්චර කාලයක් ගත වෙලා කියන එක හීනයක් වගේ. ඒ කාලෙ තාමත් අද ඊයෙ වගෙයි.
ඒ කාලේ සූර්යයා දැනට වඩා ලස්සනට පායනවා, රවන් ඔයේ වතුර අදට වඩා තිබුනා, කුඹුරු එකක්වත් ගොඩ කරලා තිබුනේ නෑ, පාරවල් කාපට් හෝ කොන්ක්‍රීට් කරලා තිබ්බෙත් නෑ.

හතර වසරෙන් පටන්ගමු. නෑ තුන වසරෙන් පටන් ගනිමු. ඒ කියන්නේ 1995. සිස්සත්තේ ගැන මම මෙලෝ බෝලයක් දන්නෙත් නෑ. ඒ සමය වනාහි මාගේ වැඩිමහල් සහෝදරිය පහේ සිස්සත්තයට වාඩි වන වසරයි.ඇයගේ පන්තියේ අවාසනාවකට පාසලේ ගුරුවරියකගේ දුවක් සිටියාය. පන්තියේ මීටරය වූ මගේ සහෝදරිය අපමන කැපිලි කෙටිලි මැද ඉගෙන ගනිමින් සිටියාය.ගුරුවරියගේ දියනිය (විභාග වංචා ) නිසා මගේ සොහොයුරියට පන්තියේ පලවෙනියා වීමට නොදුන්නාය. පහ වසරේ සිටියදීම සාමාන්‍යපෙල ගණිතය ප්‍රශ්න පත්‍රයේ සමහර ගැටළු විසදීමේ හැකියාව තිබූ මගේ සොහොයුරිය 1995 දී පහේ සිස්සත්තෙන් ලකුණු 179ක් ලබාගෙන මහනුවර මහමායාවට ගියාය. යටකී ගුරුවරුයගේ දුවට සිස්සත්තෙ පාස් වීමට ද බැරි උනාද කොහෙදෝ. හැබැයි ඒ ළමයාගේ ප්‍රතිපලේ අපේ අක්කීට මාරු වෙලා ඇවිත් කියලා, කොළඹ ගිහින් බලන්න ඕනේ කියලා ඒ ගුරුවරිය කියලා තිබ්බා. ගිහින් බැළුවද දන්නේ නෑ.

හරි දැන් කතාවට. එකල්හි මම අක්කා තරම් මීටරයක් නොවීමි. අක්කාට වඩා මෝටරයක් වීමි. ඒ කිව්වේ මීටරයක් නෙවෙයි හැබැයි ලැම්බෝගිනියක වේගයෙන් වැඩ කිරීමේ හැකියාව ඇත්තෙක් වීමි. විනාඩි 45 පළමු ප්‍රශ්න පත්‍රය විනාඩි 15කින් හා දෙවනි පත්‍රය පැය බාගයකින් කිරීමේ හැකියාව තිබිනි. ඉවර කරාට උත්තර වල නිරවද්‍යතාව අප්සට්ය.

හතරේ පන්තියට එනකම් නිකම්ම පන්තියේ සාමාන්‍ය මැද පෙල පිතිකරුවෙක් වූ මම අපේ අම්මාගේ හැකියාව නිසා මුල් පෙළට ආවෙමි.අම්මාගේ අත් ගුනය නිසාත් කන ගමන් උයන ගමන් නිදාගන්න ගමන් කියලා දෙන දෙවල් නිසා පන්තියේ මුල් පෙලට එන්නට හැකි විය. හතරේ පන්තියේදී අපූරු ගුරුතුමියක් හමුවිය. නවරත්න ටීචර්, අකුරු බෝල කරලා ලියන්න, රචනා ලියන්න ආදී මෙකී නොකී හැම දෙයක්ම සෑහෙන උනන්දුවෙන් උගන්වපු හොඳම ටීචර් කෙනෙක් විය. මා තුලින් හොද ලියන්නෙක් රචනා කරුවෙකු නිර්මාණය කලේ ඒ ගුරුතුමියයි.
ඔය කාලේදී නිවස අවට ඉන්න පන්තියේ මිතුරන් කීප දෙන්නෙක් සමග පයින් පාසල් යෑම ඉතා විනෝදජනකය. උදේට රේල් පාර දිගේ පයින් යන ගමන් රේල් පීල්ල උඩ සමබරව යන්න උත්සහ කළෙමු. ඉඳහිට රේල් පාරේ කෝච්චියෙන් වැටුනු නිධන් වස්තු එහෙමත් තියනවා, එතකොට නහය අකුලාගෙන  දුවනවා. ඒ කාලේ ලොකුම දේ තමයි රේල් පාරේ ගැලවුනු තඩි යකඩ ඇණයක් හම්බෙන එක. බරට බරේ ඕකත් උස්සගෙන ඉස්කෝලෙ යනවා. තව දෙයක්, ගෙදරින්  අයිස් පැකට් කන්න සල්ලි ඉල්ලගෙන එනවා, අයිස් පැකට් එකක් රුපියලයි. අපි රුපියලේ කාසියක් පීල්ල උඩ තියලා කෝච්චිය යනකම් බලාගෙන ඉන්නවා.
හවස ඉස්කෝලෙ ඇරිලා එන්නේ වෙන පාරකින්. ඒ පාරෙන් එන වෙනම යාලුවෝ කට්ටියක් හිටියා මංජුල ,ජනක, සමරසිංහ  ඉන් කීප දෙනෙක්, දැන් ඒ යාලුවො කොහේ ඉන්නවද දන්නේ නෑ. ඒ එන මග ලොවි  වෙරළු ගස් කීපයක් තිබුනා. ගෙඩි හැදෙන කාලෙට ඒවත් කාලා තමයි ගෙදර එන්නේ.  ගෙදර ඇවිත් කාලා බීලා වත්ත වටේ නටලා දඟලලා හවස ජාතික රූපවාහිනියේ ගිය හයිලෑන්ඩර් බැළුවා. පොත් වල වැඩ කරලා රෑ අටට නිදාගත්ත. දැන් කාලෙ වගේ ජීවිතය සංකීර්ණ නෑ.

ඊට පස්සේ පහේ සිස්සත්තෙට පන්තියකට දැම්මා. නාපාන පන්තිය.ට්‍රාන්ස්පෝමර් තුනක දුර. ඒ කියන්නේ ගෙවල් ගාවින් ට්‍රාන්ස්පෝමරේ ළඟින් බස් එකට නගිනවා, මඩවලින් ට්‍රාන්ස්පෝමරේ ලඟින් බහිනවා නාපාන හරහා යන බස් එකක ගිහින් ට්‍රාන්ස්පෝමරය ගාවින් බහිනවා.පයින් ඉස්කෝලෙ ගිය අපිට බස් එකේ පන්ති යන එක හෙන ජොලි වැඩක්. නැව් වගේ පැද්දෙන ෆූසෝ, මිට්සුබිශි , රෝසා බස් තමයි ඒ කාලේ අපේ ඩ්‍රීමි වෙහිකල් උනේ. ඒ පන්තිය පැයක්ද කොහෙදෝ තිබ්බේ.මට මතක විදිහට ගුනවර්ධන ටීචර් තමයි පන්තිය කලේ. කොහොම හරි පන්තියට ගියා සතර පොත් කළා පත්තර බැළුවා.
ප්‍රශ්න පත්‍ර කරන්න ගත්තම මගේ කඩි කුලප්පුවට හැමදාම වගේ බැනුම් අහගන්නවා. ඒ වුනත් මම නෙවෙයි මගේ වේගය අඩු කලේ.
ඉස්කෝලෙ පහේ සිස්සත්තෙට විභාග අංකය දෙන්න ගෙදරින් කාවහරි එක්ක එන්න කියලා දවසක් කිව්වා. ඒ කියන්නේ ඇඩ්මිෂන් ගන්න. ඒ දවස් වල මගේ නංගී පොඩී, ඒ උනත් අපේ අම්මා තමයි කලින්ම ඇඩ්මිෂන් එක ගන්න ඉස්කෝලෙට ආවේ. එදා මරු සිද්දියක් උනා, තව ළමයෙක් හිටියා එයාගෙ අම්ම තමයි ඉස්කෝලෙ ඇරෙන්න කිට්ටු වෙලා අන්තිමටම ආවේ, පන්තියේ ටීචර් ඒ ළමයගේ අම්ම ගියාට පස්සේ වෙන ටීචර් කෙනෙක් එක්ක කියනවා " නිල ඇඳුම් රෙදි ගන්න නම් ඉස්සෙල්ලම එන්නේ එයා , මේකට තමයි අන්තිමටම එන්නේ "

ඉස්කෝලෙ කාලේ  අමිහිරි සිදුවීම් නොවුනාම නොවේ. එකක් තමයි ප්‍රාථමික අංශභාර ලොකු සර් ගේ බලෙන් කළ සිස්සත්ත පන්තිය. පන්තියේ හොඳට වැඩ කරන ළමයි ටික සෙනසුරාදා ඉරිදා ගෙන්නගෙන පන්ති කිරීම. ආවෙ නැත්නම් සඳුදාට ගුටි. හැබැයි පන්තියේ කරන්නේ පේපර් එකක් ලියන්න දීලා සර් මාරු. පස්සේ ඇවිත් උත්තර කියා දෙනවා. ගෙදර ගිහින් පෙන්නුවම උගන්නලා තියන උත්තර වලින් බාගයක් විතර වැරදි.  ගුටි කෑමට ඇති බයට ඒ පන්තියටත් යන්න වුනා.

කොහොම හරි සිස්සත්තෙ ටික ටික ලං වුනා. ඔය අතරේ සමහරු බාර හාර වෙන්න ගියා, සමහරු පෑන් මතුරගෙන ආවා. අපේ ගෙදර ඔය එකක්වත් නෑ මම නම් මැට්ටා වගේ ඔය එකක්වත් නැතිව පාඩම් වැඩ විතරක් කර කර හිටියා.    
ඉස් ඉස්සෙල්ලම අත් ඔරලෝසුවක් හම්බුනේ සිස්සත්තෙ ලියන්න කලින් දවසේ. ඉතින් හෙන සතුටින් ඔරලෝසුවත් බැඳගෙන සිස්සත්තෙ ලියන්න ගියා.
කියන්න සතුටුයි අපේ හාන්දුරුවනේ, සිස්සත්තෙ විභාගෙත් පළවෙනි පේපර් එක විනාඩි පහළවෙන් ඉවරයි. ඉතිරි පැය බාගෙ ඔරලෝසුව ඔබ ඔබ හිටියා. දෙවෙනි පේපර් එකත් ආලෝකයේ වේගයෙන් ඉවර කලා.

පහ වසර සමත් වෙලා හය වසරටත් ආවා.විශේෂයක් නැතිව ඉස්කෝලෙ ගමන ගෙවුනා.එක දවසක් සිස්සත්ට විභාගෙ ප්‍රතිපල ආවා කියලා ආරන්චියක් ආවා. ඉතින් මට පාන්ද? මම නෙවෙයි සත පහකට ගනන් ගත්තේ. පන්තියේ අනික් කොල්ලො ඔෆිස් එකට ගිහින් බලලා ඇවිත්. හෙන ගහන්නාවගේ ඇත්ත මේ කියන්නේ මම ප්‍රතිපල බලන්න ගියේ නෑ, පන්තියේ හිටපු ටීචර් මට කතා කරලා ඇහුවා කොහොමද වැඩ කලේ, කොහොමද පාඩම් කලේ බ්ලා බ්ලා බ්ලා. ඒ කියන්නේ මම විභාගේ පාස්  වගේ. (දැන් වගේ අන්තර්ජාලෙන් ජංගම දුරකථන වලින් ප්‍රතිපල බලන්න බෑ මීට අවුරුදු විස්සකට කලින්). හයේ පන්තිය තියෙන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉහල මහලක. උඩ ඉඳන් බලනකොට තාත්තා ඉස්කෝලෙට ඇවිත් යනවා දැක්කා. තාම මගේ ප්‍රතිපලය මම දන්නේ නෑ.
එදා ගෙදර ගියාම තමයි මගේ ප්‍රතිපලය දැනගත්තේ. මම තමයි ඒ අධ්‍යාපන කලාපේ වැඩිම ලකුණු. ටවුමේ තිබුනු බාලිකා විද්‍යාලේවත්  දෙමළ විද්‍යාලෙවත් මට වඩා ලකුණු ගත්ත කෙනෙක් නෑ. පාස් කලේ 115න් මට 153. අම්ම නම් කිව්වේ මදි කියලා.
මදි කියලා තේරුනේ ජනප්‍රිය පාසල් වල කඩයිම් ලකුණු දැම්මම. ධර්මරජෙට ගන්නේ 154 න්.
ඊට පස්සේ නිවසට ලඟම මනරම් පරිසරයක පිහිටි, දැනට මගේ සාර්ථකත්වයක්  වේ නම් දක්ෂතාවයක් වේ නම් ඒ සියල්ලට හේතු වූ පේරාදෙනි සරසවියට මග පෙන්වූ ශාන්ත අන්තෝනි විදුහලේ රාජාලියාගේ සෙවනට පැමිනියා.
ඒ කාලේ හත වසරේ සිංහල පොතේ පලවෙනි පාඩම මීටර් සියය.ඒ වුනත් ඒ කතාවෙ තේරුම කියලා දුන්නේ අවුරුදු හයකට පස්සේ දහතුන වසරේදී රසායන විද්‍යාව උගන්වපු මෙන්ඩිස් සර්

No comments:

Post a Comment