Tuesday, April 14, 2015

අළුත් අවුරුද්ද 2015



ජීවිතේ පළවෙනි වතාවට අළුත් අවුරුදු දවසේ ගෙදර නොසිට වැඩට ආවා. ඇයි අනේ මම විතරක් වැඩට යන්නේ, අනික් හැමෝම ගෙදරට වෙලා අවුරුදු සමරනවා.වැඩට යන්න බෑ කියලාමයි හිතුනේ. උදේ අවදිවුනාම ගෙදර ඉන්නමයි හිතුනේ.අවදිවෙන්න පරක්කු වුනාම තාත්තා ඇවිත් නැගිටින්නේ නැදද කියලත් ඇහුවා. උදේ හයට කිට්ටු කරලා අවදි වුනාම අම්මා උදේටයි දවල්ටයි කන්න බත් උයලා, ඒ මදිවට අනික් නේවාසික වෛද්‍යවරු හතරදෙනාටත් අතිවෙන්න බත් මුල් දෙකකුත් බැඳලා. අද අපේ චමරියේ කෑම උයන කෙනා නිවාඩු නිසා අම්මාගේ බත් මුල් දෙක කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. ඒ එක්කම කැවුම් උඳුවැල් ආදී රස කැවිලි පාර්සලයකුත් ඔතලා. දැන් නම් කොහොමත් වැඩට යන්නම වෙනවා.

වෙනදාට මහපාරේ අයිතිකාරයෝ වුනු පෞද්ගලික බස් ඔක්කොම පාර අයිනේ නිදි, මහපාරේ සින්නක්කර ඔප්පු තිබුන ත්‍රීවිල් ඇත්තෙම නැති තරම්. වාහන ඔක්කොම වගේ අත්‍යවශ්‍ය සේවා වලට යන උදවියගේ. මහපාරේ බොහෝම සංවරව වාහන යනවා.

කොහොම කොහොමහරි ගම්පොළ ශික්ෂණ රෝහලට උදේ අටට කලින් ආවා. කියන්න හදන කතාව පටන් ගන්නේ දැන්. මුලින් කී ඔක්කොම වල්පල්. නවයේ වාට්ටුවේ කතාවක්. නවය වාට්ටුව කියන්නේ නාරිවේද (gynecology) වාට්ටුව. වාට්ටුවේ හිටියා සති විසි හයක දරු ගැබක් සහිත අම්මා කෙනෙක්, මෙයා ඇවිත් තිබුනේ බඩ රිදෙනවා කියලා. ස්කෑන් එකක් එහෙම කරලා තිබුනා, බබා හොඳට හිටියා. හැබැයි බඩේ අමාරුව එන්න එන්නම වැඩි වුනා. අන්තිමට මේ අම්මා නියමිත කාලයට පෙර සිදුවෙන ප්‍රසූතියකට ගියා.[Preterm delivery නියමිත කාලයට පෙර ප්‍රසූතිය කියන්නේ අඩු සති ගනනකින් දරුවා ඉපදීම, ඒ සඳහා විවිධ හේතු තියනවා, සමහර හේතු වලට ප්‍රතිකාර කරන්න බෑ. අනික තමයි ලංකාවේ නොමේරු ළදරු ඒකකයක (SBU Special Baby Unit) දාලා බේරගන්න පුළුවන් අඩුම වයස සති විසි අටෙන් උපන් දරුවන්. අද උපන් දරුවා සති විසි හයයි. අතිශය නොමේරූ ළදරුවෙක් (Extreme Preterm). පොතේ හැටියට ලංකාවේ නොමේරූ ඒකකයක ප්‍රතිකාර කරන්න බැරි තරම් පොඩියි. හැබැයි එහෙම කිව්වට නොමේරූ ළදරු ඒකකවලින් ඉඳලා හිටලා සති විසි හයේ හතේ දරුවෝ නිරෝගීව පිටවුනු අවස්ථා නැතුව නෙවෙයි ].

මේ අම්මා දැන් දරුවා ප්‍රසූත කරන්න යන්නේ, හැබැයි සති විසි අටට අඩුයි, ඒ වගේම ඉක්මනින් ප්‍රසූතියකට ගියා (Preterm delivery), සූතිකාගාරයට ගෙනියන්න ගියා නම් දරුවා බිහි වෙන්නේ මගදි ට්‍රොලියේ. පොඩිම පොඩි දරුවෙක් නිසා ප්‍රසූතිය ඉක්මනින් අමාරුවක් නැතිව සිදු වුනා.  කතාවේ වැදගත්ම හරිය.මේ වාට්ටුවේ නර්ස් නෝනලා සූතිකාගාර පුහුණුව ලබපු අය නෙවෙයි. ඒ වගේම මේ වාට්ටුවේ මිඩ් වයිෆ්ලා නෑ [මතකයි නේද කාලයකට කලින් ඔය දෙගොල්ලො අතර සූතිකාගාර පුහුණුව ගැන තිබුන ගැටුම. උන් ඕනේ කියනවා, මුන් එපා කියනවා ] එතකොට මේ වාට්ටුවේ මේ සම්බන්දයෙන් ඉන්න වගකිවයුතු හා සුදුසුකම් සහිත එකම කෙනා මේ මම විතරයි.
කොහොමින් හරි ප්‍රසූතිය සිදුවුනා. සති විසි හයයි.බබා පොඩ්ඩක් දඟලනවා. අම්මගේ උදරය මතට දරුවාව ප්‍රසූත කලා. හැබැයි නර්ස් නෝනලා බොහෝම හොඳට උදව් කළා.ජීවානුහරිත රෙදි දාලා දීලා එහෙම හරියට උදව් කළා. බබා හොඳට හුස්ම ගන්නේ නෑ, පපුවත් වැඩ නෑ, බබා ඇඬුවෙත් නෑ.කකුල පොඩ්ඩක් හොල්ලනවා වගේ පේනවා. වහාම බබාට පපුවට පීඩනය යොදලා (Cardio pulmonary resuscitation  ), ඔක්සිජන් දීලා බැලුවා. ඇත්තටම කියනවා නම් උත්සහයක් පමනක් වීමට බොහෝ දුරට ඉඩ ඇති වැඩක් තමයි මම මේ කරන්නේ. ටික වෙලාවකින් මෙන්න මේ බබාට පොඩි කැස්සක් ආවා. මෙන්න ටිකකින් හුස්ම ගන්නවා, පොඩි ඇඬුමකුත් ආවා.එච්චර හොඳ ඇඬුමක් නම් නෙවෙයි, හැබැයි හිටපු හැටියට සෑහෙන හොඳ දියුනුවක්.

වහාම ළදරු ඒකකයට කතා කළා. බබාගේ වෙලාව හොඳයි, කවදාවත් අහන වෙලාවට ඉඩ නෑ කියන නොමේරු ළදරු ඒකකයේ ඉන්කියුබේටරයක්ම ඔන්න තියනවලු.

ජීවානුහරිත රෙදිකඩක ඔතපු යාන්තම් හුස්ම ගන්න කිලෝ එකකටත් අඩු, යන්තම් පන ගට ගහගන්න වෙර දරන, තවත් මනුස්ස පරාණයක් දෑතින්ම උස්සගෙන ළදරු ඒකකයට දුවනකොට, ඇටෙන්ඩන් කෙනෙක් ඔක්සිජන් සිලින්ඩරය තල්ලු කරගෙන දුවගෙන ආවා, නර්ස් නෝනා කෙනෙක් ඔක්සිජන් මුහුනු වැස්ම නොගැලවෙන්න අල්ලගෙන දුවගෙන ආවා.

බබාව ළදරු ඒකකයේ ඉන්කියුබේටරයකට දැමුවා. බබාව බාරදීලා  වාට්ටුවට ආවා, මේ දරුවාගේ අම්ම මම බලාපොරොත්තු වූ ප්‍රශ්නය ඇහුවා. "බබාට කොහොමද ? " අමාරුම නමුත් ඇත්ත උත්තරයක් දුන්නා. "දැනට මොකුත් කියන්න බෑ, බබා ගොඩක් පොඩියි, අපිට තාම බබා ජීවත් වෙයි කියලා 100% සහතිකයක් දෙන්න බෑ. අපි බලමු"  කියන්න ලේසියි, නමුත් අම්ම කෙනෙකුට මේක දරාගන්න ගොඩක් අමාරුයි.

නොමේරූ ළදරු ඒකකයට හවස ගිහින් බලනකොට නම් ඒ බබා හුස්ම ගන්නව සුදුමැලි පාටත් ටිකක් අඩු වෙලා ටිකක් හොඳයි. හවස නවයේ වාට්ටුවට ගිහාම මේ බබාගේ අම්මා හොඳ හිනාවක් එක්ක හිටියා.ලොකු ස්තූතියක් පුද කළා, ඉක්මනින් උදේ බබා බේරගන්න (14.04.2015 හවස මේක ලියනකම් ) කටයුතු කලාට. නමුත් මම ඒ ස්තූතිය බාරගන්න ඉක්මන් වෙන්නේ නෑ. ඒකට හේතුව තවම මේ බබා ජීවත්වෙයිද කියලා 100% විශ්වාසයක් නෑ. කොහොම වෙතත් සොබාදහම එච්චරම අකාරුණික නෑ කියලයි මගේ විශ්වාසය.



සොබා දහම ටිකක් කපටියිත් එක්ක, ඒ මොකද කියනවා නම් ජීවිතය ටිකක් පසුපසට යන්නට හිතෙනකොට එහෙම වෙන්න නොදී ඉදිරියටම ගෙනියන්න මොකක් හරි උප්පරවැට්ටියක් ගහන නිසා. උදේ පාන්දර මට දැනුනු කම්මලිකම, නිවාඩු දවසේ වැඩට යාමට වීම නිසා ඇතිවූ අප්‍රසාදය, ඒ හින්දා මොන මගුලකට මෙඩිසින් කලාද කියලා හිතුන සිතුවිලි ඔක්කොම උදේ වාට්ටුවේ වුන සිදුවීම නිසා විනාඩියෙන් නැතිවෙලා ගියා.හවස වෝඩ් රවුන්ඩ් එකේදී ඒ අම්මගේ මූනේ තිබුනු සැනසුම දැක්කම එන සතුට ගෙදර ඉඳන් කිරිබත් කාලා නිදිමත වෙනකොට දැනෙන හැඟීමට වඩා කොච්චර වටිනවද කියලත් හිතුනා.

හවසත් එන ගමන් බේබි යුනිට් එකට ගිහින් ඒ බබාව බලලා ආවා, බුදු සරණින් බෙහෙත් හා රැකවරණයේ පිහිටෙන් දරුවා තාමත් හොඳින්.මාසයක් හරි කමක් නෑ ඉන්කියුබේටරයේ ඉඳලා බබා යහතින් ගෙදර යත්වා කියලා ඒ එන ගමනුත් මම ප්‍රාර්ථනා කළා.




2 comments:

  1. eyata jewath wenna wasanawa labewa... e amma thaamath aiyata pin denawa athi...

    ReplyDelete
  2. good work.... gedarata wela awurudu kanawata wediya eeka hodai...
    -sanje-

    ReplyDelete