Monday, June 8, 2015

හයේ වාට්ටුවේ අන්තිම කතාව



මේ තැනැත්තිය අවුරුදු දහ අටයි, පළවෙනි බබා හම්බවෙන්න බලාපොරොත්තුවෙන් වාට්ටුවේ නැවතිලා හිටියේ. බබා ඉපදුනා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. දැන් ටිකට් කපලා ගෙදර යන්න ඉන්නේ. හැබැයි ටිකට් කැපුවාට ගෙදර යන්න දෙන්නේ බබාගේ උප්පැන්න ලියාපදිංචි කලාට පස්සේ. එහෙම කරන්නේ ගොඩක් අය උප්පැන්න ලියාපදිංචි කරගන්න උනන්දුවක් නෑ, ඔහේ ගෙදර යනවා. ළමයාගේ උප්පැන්න මතක් වෙන්නේ ඉස්කෝලෙ දාන්න මතක් වුනාම. එතකොට ඇවිත් වාට්ටුවේ කරදර කරනවා පරණ වාර්ථා හොයලා දෙන්න කියලා. ඒක කරන්න බැරි වැඩක්.ළමයාගේ උප්පැන්න ලියාපදිංචි කරන්න අම්මගෙයි තාත්තගෙයි හැඳුනුම්පත් විවාහ සහතිකය වගේ ලියකියවිලි අවශ්‍ය වෙනවා.

දැන් ඉහත කී අම්මාව ටිකට් කැපුවට ගෙදර යන්න විදිහක් නෑ, දරුවාගේ උප්පැන්න හදාගන්න විදිහක් නෑ.බැලින්නම් මේ අම්මට හැඳුනුම් පතක් නෑ (අයිඩින්ටිටි කාඩ් එකක් නෑ ) ගෙදර අමතක වුනාද ඇහුවා, නෑ මට අයිඩින්ටි කාඩ් එකක් නෑ කියලා මේ අම්මා උත්තර දුන්නා. මගේ දෙවනි ප්‍රශ්නය, උපන්දිනය කවද්ද? "මම හරියටම දන්නේ නෑ 1995 කියලා කිරිඅම්මා කියල තියනව ඉස්සර" .

මේ අම්මගේ නොකී කතාවක් ඒ උත්තරය

 පිටිපස්සේ සැඟවිලා තියෙනවා කියන එක මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

කතාව මේකයි, මේ අම්මාගේ අම්මයි තාත්තයි නිතරම ගෙදර අඬදබර තිබිලා තියනවා, මේ කතා නායිකාවගේ දෙමව්පියන් කුළී වැඩ කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ පියා බීමට බොහොම තදින්ම ඇබ්බැහි වෙලා ඉඳලා තියනවා. පොඩි කාලේ හරියට කෑමක් බීමක්වත් තිබිලා නෑ.කන්න බොන්න දෙන්නේ නැති අඩදබර තිබුනු ඒ නිවසේ මේ දරුවන්ගේ උප්පැන්න සහතික ගැන කවුරු හොයන්නද? කොහොමහරි කිරිඅම්මා මැදිහත් වෙලා ගමේ පොඩි ඉස්කෝලෙට මේ තැනැත්තියව යවලා තියනවා. මේ කතා නායිකාවට මල්ලි කෙනෙකුත් ඉන්නවා. හැඳි නොගා හදන හොද්දයි තව මොකද්දෝයි හරියට හැදෙන්නේ නෑ කියනවා වගේ ඒ මල්ලි හොරකමකට අහුවෙලා මේ වෙනකොට ඉන්නේ හිරේ ලු.

කාලය ගතවෙනකොට ඒ ගෙදර තත්වය එන්න එන්නම නරක් වෙලා තියනවා. බීමත් පියා ඒ ගෙදර අපායක් කරලා තියනවා. මේ කතා නායිකාවට වයස පහලොව විතර වෙද්දි ඒ බීමත් පියා මිය ගිහින් තියනවා. ඊට පස්සේ මේ තැනැත්තියගේ මව ආපසු කසාදයක් කරගෙන. ඒත් වැඩි වෙනසක් නෑ, ඒ මිනිහත් බේබද්දෙක්, ගොඩක් කරදර වලින් මේ දැරිවිය බේරගෙන තියෙන්නේ කිරි අම්මා. ටික කාලෙකින් කිරි අම්මත් මේ ලෝකේ හැරගිහින්. බේබදු බාප්පයි, දරුවගේ උපන්දිනයවත් නොදන්න අම්මයි බීමට ටික ටික හුරුවෙන මල්ලි කෙනෙකුයි එක්ක ඉන්නකොට අර මිහිපිට අපාය මෙහිම ඇත කියලා කව්දෝ කියපු එක මතක් වෙන්නත් ඇති. කොහොම කොහොමහරි ආර්ථික තත්වයත් හොඳටම නරක්වේගෙන ඇවිත් තියනවා .
මේ කතානායිකාවත් දැන් ගෙදරට බරක්වේගෙන ඇවිත් තියනවා. ඉස්කෝලෙ යනවා ඒකත් ඉඳහිට, ඊට වඩා හොඳයි කසාදයක් කරලා දුන්නොත් කියලා ඒ අම්මටයි බාප්පටයි හිතිලා තියනවා. ඉස්කෝලෙ ගමන මගදි නවත්තලා කසාදයක් කරලා දීලා. අඩුමගානේ සාමන්‍යපෙළ වත් කලා නම් අඩුමගානේ අයිඩින්ටි කාඩ් එකක්වත් හැදෙයි.

ඔන්න ඕකයි කතාව. හොඳ පැත්ත තමයි ත්‍රීවීල් රියදුරෙක් වන මේ තැනැත්තියගේ සැමියා මැයව හොඳින් බලාගන්න එක. මේ කතාව කියලා ඉවරවෙනකොට මේ අම්මා අලුත උපන් දුවත් ඔඩොක්කුවේ තියන් ඉකි ගසා අඬනවා.

මේ අම්මගෙන් මම අන්තිමට එක ප්‍රශ්නයක් ඇහුවා. "අම්මට විශ්වාසද ඔයාට වුනු දේ දරුවට නොවෙන්න බලාගන්න පුළුවන්ද කියලා ?" මේ අම්මා කිව්වා "ඔව් සර් මොනවා වුනත් මගේ දුවට හොඳට උගන්වනවා, මහත්තයත් ඉස්කෝලෙ ගිහින් නෑ,  ඒ වුනාට එයා බොන්නේ නෑ, ඒකම මට ඇති "

මගේ අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න ඕනේ කියලා හයේ වාට්ටුවෙන් නික්මිලා දහයේ වාට්ටුවේ වැඩ බාර ගන්නකොට මට අන්තිමට ආයෙත් හිතුනා.
 

4 comments:

  1. ඉතිං දොස්තර මහත්තය අර දැරිවිට මක්කැයි උදව් කලැයි

    ReplyDelete
  2. ඉතිං දොස්තර මහත්තය අර දැරිවිට මක්කැයි උදව් කලැයි

    ReplyDelete
    Replies
    1. මක්කවත් කරන්න වුනේ නෑ මචන්. වාට්ටුවත් මාරු වුනා. ඒ අම්මට තමන්ගේ දුවට ඒ දේ නොවෙන්න බලාගන්න කියල උපදෙස් දුන්නා

      Delete
  3. මේ වගේ කතා ගොන්නක් හැමදාම ඉස්පිරිතාල වල මදි නොකියන්න කියවෙනවා... එකම දේ ඒ ගැන මොනාහරි කරන්න අපිට ගොඩක් වෙලාවට විදියක් නෑ... මගේ අලුත් බ්ලොග් එක පැත්තට අයියත් එන්න...

    http://doczdiery.blogspot.com/

    ReplyDelete