Wednesday, November 11, 2015

දියවැඩියාව

නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය යෙදෙනවා. දියවැඩියාව ගැන කතා වෙන මේ නොවැම්බර් මුල, වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට මම දැකපු සත්‍ය සිදුවීමක් මතක් වුනා. නම් ගම් හෝ රෝහල මොකද්ද කියන එක හරි නෑ.
මේ කතාව දකින්නේ කාන්තා මානසික රෝග වාට්ටුවේදි. දියවැඩියාවයි මානසික රෝගයි අතර මොකද්ද තියන සම්බන්ධය කියලා ඔබට හිතෙනවා ඇති. මේ කතාවේ කතා නායිකාව අවුරුදු තිස් ගනනක රජයේ ලිපිකරු සේවයේ කාන්තාවක් (මගේ මතකන නිවැරදි නම් )ඇය විවාහකයි, දරුවෝ දෙන්නෙක්ද කොහෙදෝ හිටියා. වාට්ටුවට ඇතුළු වීමට හේතුව සිය දිවි නසාගැනීමට උත්සහ කිරීම. ( සියදිවි නසා ගැනීම හෝ ඊට උත්සාහ කිරීම කියන්නේ රෝගයක්, suicidal attempt මානසික රෝගයක්. ඒ කියන්නේ වහාම ප්‍රතිකාර ගත යුතුයි ) මේ කාන්තාව කළින් දවසක රෑ ගෙදර කට්ටිය නිදාගන්න ගියාට පස්සේ එයාගේ සාරියක් ගෙදර බාල්කයක් හරහා දමලා ඒකෙ කොනක තොන්ඩුවක් හදලා එල්ලිලා මැරෙන්න හදලා. කොහොම හරි සද්දේ ඇහිලා ඒ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇවිදින් බේරගෙන තියනවා. ඊට පස්සේ ඇයව හදිසි අනතුරු වාට්ටුවට දාලා තියනවා. හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර වලට පස්සේ මානසික රෝග වාට්ටුවට වැඩිදුර ප්‍රතිකාර වලට එවලා තිබුනා.

ඉතින් කෝ මේකේ දියවැඩියාවක්? තාම නෑ. මේ කාන්තාවගේ සායනික ඉතිහාසය ( clinical history ) ගන්න සිදුවුනා. සියදිවි නසාගැනීමට තැත් කිරීම හා ඊට අදාල ඇගයීමක් කරන්නත් ( Suicidal risk assessment ) මේ ඉතිහාසය වැදගත්. මේ කාන්තාව සියදිවි නසා ගන්න උත්සාහ කරන්න ආසන්නතම හේතුව තමයි අනියම් සම්බන්ධතාවයක්. මේ කාන්තාව හැමදාම උදේ හවස වැඩට යන බස් එකේ කොන්දොස්තර එක්ක අනියම් සම්බන්ධතාවක් පටන්ගෙන. තහනම් ගහේ ඵල නෙලන තරමටම මේ සම්බන්ධය දුර දිග ගිහින්. කොහොම කොහොමහරි මේක ගෙදරට ආරංචි වෙලා. යම් යම් කතාබහක් ගිහින්, ඊට පස්සේ දුක / ලැජ්ජාව හෝ තරහ නිසා මේ කාන්තාව තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා.

ඉතින් ඇයි ඉස්කෝලෙ යන දරුවොත් ඉන්න මේ කාන්තාව අර විදිහට දුර දිග ගිය අනියම් සම්බන්ධතාවක පැටලිලා තියෙන්නේ. මේ කාන්තාවගේ සැමියා නරක පුද්ගලයෙක් නෙවෙයි, බිමට ඇබ්බැහිවූවෙකුත් නෙවෙයි, ඒ වගේම අනියම් සබඳතා තියෙන කෙනෙකුත් නෙවෙයි. එකම ප්‍රශ්නෙ එයාට දියවැඩියාව තියෙනවා, ටික කාලයක් තියනවා. මේ මනුස්සයා ටිකක් පණ්ඩිතයෙක්, හරියට ක්ලිනික් එන්නේ නෑ දියවැඩියාවට හරියට පිළිවෙලට බෙහෙත් ටික ගන්නේ නෑ. ඔහොම කාලයක් ගියාට පස්සේ මේ දියවැඩියාව රෝගියාට දියවැඩියාව නිසා ඇතිවන ස්නායු දුර්වල වීම පටන්ගෙන. ( දියවැඩියාව නිඩා ගොඩාක් ස්නායු දුර්වල වෙන්න පුළුවන්.Diabetic Neuropathy  සමහර දුර්වලතා ආපසු මුල් තත්වය්ට හොඳ කරන්න බෑ. දියවැඩියාවේ ස්නායු දුර්වල වීම දියවැඩියාව තිබුනු කාලය, රුධිරයේ සීනි පාලනය අධිරුධිර පිඩනය ඉහල කොලෙස්ටරෝල් වගේ කරුණු මතත් රඳාපවතිනවා )  දියවැඩියාව නිසා එන ස්නායු දුබල වීමේ එක් දුබලතාවක් වන ස්වයංසාධක ස්නායු දුර්වල (Autonomic neuropathy)වීම මේ කාන්තාවගේ ස්වාමියාට ඇවිත්. ප්‍රතිඵලය තමයි ලිංගික බෙලහීනතාව (erectile dysfunction ) එතනින් එහාට කතාව ලියන්න ඕනේ නැතිවත් මොකද වෙලා තියෙන්නේ කියලා ඔබට තේරෙනවා ඇති.
කවුරුද හරි කවුරුද වැරදි කියලා කියන එක මගේ රාජකාරිය නෙවෙයි.මේ සිදුවීම අහපු පළමු අවස්තාවේත් මට හරි වැරදි කවුද කියලා හිතුනේ නෑ. දියවැඩියාවට හරියට බෙහෙත් බීලා ක්ලිනික් එකට හරියට ඇවිත් පාලනය වුනා නම් මේ වගේ අවාසනාවන්ත සිදුවිමක් නොදකින්න තිබුනා. ඊට පස්සේ උපදේශනයට මේ කාන්තාව යොමු කළා. ඇගේ ස්වාමි පුරුෂයා දියවැඩියාව පාලනයට වැඩිදුර පරීක්ෂණ සඳහා  යොමු කළා. එතනින් එහාට මොකද වුනේ කියලා මමත් දන්නේ නෑ

කොහොම වුනත් නොවැම්බර් මාසයේ මට කියන්න තියෙන්නේ 14 වෙනිදා විතරක් නෙවෙයි හැම මාසෙම, හැම අවුරුද්දකම දියවැඩියාව කියන මාරයා  පරාජය කරන්න හැමෝම සිහියට ගන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් දියවැඩියාව නොදැනීම හොරෙන්ම ඔබව පරාජය කරනවා. සමහර විට ඒ පරාජය ආපසු හරවන්න අමාරු වෙන්න පුළුවන්.

3 comments:

  1. දියවැඩියාවට සම්බන්ධ නොවුණත් මේ කියල තියෙන කතාවටළගින් යන කතාවක් මං කවියෙන් ලීව ටික දොහකට කලිං
    http://awanhala.blogspot.com/2015/10/blog-post_29.html
    වෙලාවක් තිබ්බොත් බලන්ටකො.. එහෙමයි කියල අපිට හොදට ලියන්ට නං බෑ හොදේ....

    මේකයි අර පිරිමි කෙනා ගැන බැලුවොත් ඒ මනුස්සය වැරදී කියල මට හිතෙන්නෙ.. පළවෙනි එක කිසියම්ම හේතුවක් නිසා තමන්ට නියමිත ප්‍රතිකාර අරගෙන නෑ.. ඒක 100% වැරදී.. මොකද ඒ හේතුව නිසා ලෙඩේ උග්‍ර වීම විතරක් නෙවී අනික් අයට කොයි තරං කරදරද.. රජයෙන් වුණත් මොන මුදල් නාස්තියක් කරනවද.. අර වගේ සිදුවීමක් වෙන්නත් ඒ ඔළ මොට්ටල වැඩේ හේතුවුණා නෙව.. නෙහ්. ඉතිං සාධාරණීකරණය කරන්න විදියක් මට නං පේන්නෙ නෑ.. ( මගේ අදහස)
    ගෑණූ කෙනා තමන්නෙ පිරිමිය ඉද්දි පිට යනව නං ඇත්තටම ඒක වැරැද්ද ඒ කෙනාටම දානව නං ඒකත් වැරීද මට හිතෙන විදියට.. අර මනුස්සය හැබෑම විදියට හිතල ක්‍රියා කරා නං ඒ වගේ තත්වයක් ඇති නොවෙන්න තිබ්බ.. ඉටත් අපි හැමෝම පෘතග්ජන සත්ත්වයො විදියට පිරිමින්ට සේම ගැහැණුන්ටත් ආසාවන් අපේක්ෂාවන් තියෙනව කියල තේරුංගන්න ඕන.. එහෙම නැත්තං අපිත් අර ගෝත්‍රික තත්වයටම යනව විනා වෙන සෙතක් නං නෑ... ඒ ගෑණු කෙනා හරි කියනව නෙවී.. තමන්නෙ මිනිහ බේත් ගන්න අකමැතී නං ඒකට මොකක්ම හරි විසදුමක් දෙන්න තිබ්බ අනික අර ළමයි ගැනවත් හිතන්න තිබ්බ
    ඔව් ටිකක් කම්ප්ලිකේට් සිටුවේසන් එකක් හැක්...

    මෙන්න මෙහෙම කතාවක් කියල තියෙයි අපේ ගස් ලබ්බ.. වෙලාව තියේ නං ගොහිං බැලුව නං
    http://gaslabba.blogspot.com/2015/11/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. ෆට්ට කොම්ප්ලිකේට් සිටුවේසන් එකක්. කවුරු හරිද කවුරු වැරදිද කියලා කියන්න අමාරුයි. (link eke කයිය බැළුවා , මරු පංකාදුයි )

      Delete
  2. අසමජ්ජාති වැඩ කියල අපි හංවඩු ගහන ගොඩක් දේවල් ඇතුලේ මේ වගේ අතුරු කතාත් හැංගිලා තියනවා...

    ReplyDelete