Monday, December 21, 2015

ඇත්ත කතාවක්



පරණ සිදුවීමක්,
දහයේ වාට්ටුවට තවත් එක් දවසක්. කළබලකාරී උදෑසනක්. සියදිවි නසාගන්න මොනවාදෝ බෙහෙත් පෙති ගොඩක් බීලා ලෙඩෙක් ඇතුළු කළා. අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. දින කීපයක් වාට්ටුවේ සිටියා, අන්තිමට මානසික සුවතා සායනයටත් යොමු කරවලා ගෙදර යැව්වා.

ඊට පස්සේ,
කාලය හෙමින් හෙමින් ගෙවිලා යනවා. මේ පුද්ගලයා රෝහලේ කැන්ටිමේදී නිතරම දකින්න ලැබෙනවා. හැමදාම උදේට ඉස්කෝලෙ එක වසරේ හරි දෙක වසරේ හරි ඉන්න බව පෙනෙන්න තියන දුව එක්ක ඇවිත් ඒ දුවට කන්න අරන් දීලා කෑම පෙට්ටියට රෝහල් කැන්ටිමෙන් ඉඳිආප්ප හරි බනිස් හරි මොනවා හරි අරන් දෙනවා මම බලාගෙන. මේ මනුස්සයා හැමදාම කැන්ටිමේ ජරාව අර ළමයාට කන්න දෙන්නේ ඇයි කියලා මට හිතුනා.

ඊටත් පස්සේ මෑතකදී,

මේ මනුස්සයා අහම්බෙන් කතාවකට අහු වුනා. නිකම් කතා කර කර ඉඳලා යන්න ගියා, ටිකක් හිතවත් වුනා. ළඟදී දවසක මම , හැමදාම දුවව එක්ක එනවා නේද, හැමදාම කැන්ටිමෙන් කෑම අරන් දෙනවා නේද කියලා නිකමට ඇහුවා.
මේ මනුස්සයා පුටුවකුත් ඇදලා අරගෙන වාඩි වෙලා බොහෝම දිග කතාවක් කියන්න පටන් ගත්තා.
මේ මනුස්සයා එච්චරම සල්ලි බාගේ තියන කෙනෙක් නෙවෙයි. දැනට ඔහු කරන රැකියාවට ආවට පස්සේ විවාහයක් කරගෙන තියනවා. ඒ කාන්තාව රැකියාවක් කරන්නේ නෑ, හැබැයි යහමින් ඉඩ කඩම් තියන පවුලක,තරමක් සල්ලි බාගේ තියන පිරිසක්. ඉතින් මේ කතා නායකයා තමන්ගේ බිරිඳගේ නමට තිබ්බ ඉඩමක ණයක් අරගෙන ගෙයක් හදන්න පටන්ගෙන තියනවා.
පළමුවෙන් ඒ දෙදෙනාට පුතෙක් ලැබිලා, ඒ දරුවා පාසල් යන්නත් පටන් ගත්තා, ඊට පස්සේ මේ ඉහත කිව්ව දුව ලැබිලා තියනවා.
වැඩිමහල් පුතා හොඳට ඉගෙනගෙන තියනවා, පහ වසරේ ශිෂ්‍යත්වයත් සමත්ලු. ඔහොම ඉන්නකොට පවුලේ නොහොඳ නෝක්කඩු මතු වෙලා තියනවා. ඒවා දුරදිග ගිහින්. ඒවාගේ අවසානය වෙලා තිබුනේ මේ පවුල සීසීකඩ වීම. මේ පුද්ගලයා කියන විදිහට අන්තිමට ඒ බිරිද හොරෙන්ම බාහෙට හදලා තිබ්බ ගෙදරයි ඉඩමයි විකුනලා වෙනත් කෙනෙක් එක්ක පැනලා ගිහින්. ගේදර මිලදී ගත්ත කෙනා දරු දෙන්නවයි මේ පුත්ගලයාවයි ගෙදරින් එළියට දාලා.

අන්තිමට කුලී නිවසක ඉඳගෙන අර කළින් ගත්ත ණය ගෙවමින් ජීවත් වෙලා තියනවා. කොහොම හරි අර වැඩිමහල් පුතාගේ පාසල් වැඩ ටික ටික දුර්වල වෙන්න පටන් ගෙන.මේ පියා ඒ දරුවාගේ පන්ති බාර ටීචර්ට විස්තරය කියලා තිබුනා, සමහර විට දරුවාට වැඩි අවදානයක් දෙන්න කියලා ඉල්ලන්නත් ඇති . ඉස්කෝලෙ ළමයි එක්ක  එන අම්මන්ඩිලාටත් කාගේ හරි ඕපාදූපයක් නම් වෙන මොකුත් ඕනේ නෑ.ඉස්කෝලේ ඉවර වෙනකම් ගේට්ටුව ළඟ රස කර කර මේ සිදුවීම කියන්න ඇති. ඉතින් මේ සිදුවීම කොහොම කොහොම හරි ඒ දරුවා ඉගෙන ගන්න පන්තියේ ළමයිනුත් දැනගෙන. ඒ කොල්ලෙක් මේ දරුවාට ඔය සිදුවීම කියලා විහිළු කරලා. මේ දරුවා ඒ විහිළු කළ කොල්ලාට හොඳටම ගහලා. ඕක පන්තියේ ටීචර්ටත් ගිහින්. (කොහොමත් බහුතරයක් සියල්ල දත්  ටීචර්ලා ළමා මනෝ විද්‍යාව එහෙම බොහොම කෙළ පැමිණි අයලු නේ  )
ටීචර් ඒ දරුවාට නොසෑහෙන්න තලලා. හත වසරේ ඉගෙනුම ලබපු ඒ දරුවා තමන්ට තේරුන හොඳම දේ කරලා, ඉස්කෝලෙන් පැනලා ගිහින්, ගෙදර යන්නේ නැතිව හිස හැරුනු අතේ ගිහින්.
බොහොම අමාරුවෙන් ඒ දරුවාගේ පියා මේ දරුවා හොයාගෙන ඇවිත්.
මේ දරුවා ඊට පස්සේ පාසල් යන්න බෑම කියලා. ඔහොම මාස කීපයක් ගෙදර ඉඳලා මහණ වෙන්න ඕනේ කියලා. මොනවා කිව්වත් බෑ කියලා. අන්තිමට ළඟදි මහණ කරලා.

මගේ ප්‍රශ්නය, ඉතින් දුව අම්මා ගැන අහන්නේ නැද්ද? මොන පිස්සුද මහත්තයාඅ, දුව අම්මා ගැන නිකමටවත් අහන්නේ නෑ.
තවත් ප්‍රශ්නයක්, ඩ්‍රින්ක්ස් එහෙම ගන්නවද?  අපෝ නෑ මහත්තයා. දැන් මට එක දෙයයි ඕනේ, කොහොම හරි මේ දරුවාට හොඳට උගන්න ගත්තොත් මට ඇති.
මැරෙන්න කියලා වස බීපු එක කොච්චර මෝඩ කමක්ද කියලා දැන් හිතෙනවා මහත්තයා.

කතා පොත්වල, චිත්‍රපටි වල තියන කතා අපි වටේට සැබෑවටම තියනවා, ගොඩක් ඒ කතා අපිට ඇහෙන්නේ නෑ,ඒ ඒවා හරිම හෙමින් කොඳුරන නිසාත් , අපි ඇහුන්කම් නොදෙන නිසාත් කියලා මට හිතුනා.

4 comments:

  1. ඩොක්... ඒ කතා කරපු ටිකම ඇතිවෙයි ඒ මනුස්සයාට ලොකු ගැම්මක් ගන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්. මනුස්සයා ඊට පස්සෙත් දැක්කා,දුවට අළුත් අවුරුද්දට ඉස්කෝලෙ යන්න පොත් අරන් එනවා දැක්කා

      Delete
  2. අර උන්දැ නං හිටෝල පස් ගහන්න ඕන ඔව් පව් අර හිච්චි උං දෙන්න.. ඒ වගේම එක පාරක් මැරෙන්න හැදුවත් ජීවිතේ දිනන්න හදන තාත්තෙක්
    විමුක්ති ගෙ කතා වක් කියන්නෙ හිත හොල්ලන සටහනක්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මිත්‍රයා. මේවා ඉතින් මගේ කතා කියන්නත් බෑ. ඇත්තටම අවට වෙන දේවල්. ඒවා අකුරු කරන එක විතරයි මම කරන්නේ

      Delete