Friday, June 3, 2016

ජයසූරිය



අපි නොහිතුවාට සමහර මිනිස්සු අපිට හරි කැමති. සමහර විට අපි මොකුත් ලොකු දෙයක් ඒ අයට කරලාදීලා නැතුව ඇති, සමහර විට ඒක හිනා වෙලා කතා කරන එක විතරක් වෙන්න ඇති.   මේ කතාව අපේ හයේ වාට්ටුවේ සිදුවීමක්. මම මේ කියන පුද්ගලයා ගැන අපේ වාට්ටුවේ වැඩ කළ හෝ ඇවිත් ගිය අය නම් දන්නවා.
ජයසූරිය කියන්නේ පැන්ෂන් යන්න කිට්ටු සාත්තු සේවිකාවක්, ඒ කියන්නේ ඇටෙන්ඩන් කෙනෙක්. අඩි පහක්වත් උස නෑ.හැබැයි වැඩයි කටයි ඊට වඩා සෑහෙන්න උසයි. පට පට ගාලා වැඩ, හැබැයි කවුරු හරි සැරෙන් කතා කරලා මොකක් හරි කරන්න කිව්වොත් මනුස්සයා නෙවෙයි තුට්ටුවකට ගනන් ගන්නේ.
බුලත් විටක් කාලා කට රතු කරගෙන කියව කියව වාට්ටුවේ ඔක්කොම වැඩ කරනවා. මේ මනුස්සයා මොකුත් හිතේ තියන් ඉන්නේ නෑ, කාට වුනත් කියන්න තියන දේ මූනටම කියලා දානවා.

වල් පල් ඇති, කතාව දැන්. කතාවක් කිව්වට මහා ලොකු දෙයක් නෑ. අපේ වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරු පිරිස සීමාවාසික පුහුණුව අවසන් කරලා යන දවස. ඉතින් මේ නංගිලා මල්ලිලා වාට්ටුවේ හැමෝටම තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා. විශේෂඥ වෛද්‍යවරු අනෙක් වෛද්‍යවරු හෙදියන් සාත්තු සේවිකාවන් ආදී හැමෝම මේ සාදයට ආවා. එදා ජයසූරිය නයිට් ඩියුටි, ඒ කියන්නේ දවල් වැඩට ඇවිත් නෑ.තේ පැන් සංග්‍රහයට ජයසූරිය ආවේ නෑ. මම ඒත් ඇහුවා ජයසූරිය කෝ කියලා. කලින් කියන්න අමතක වුනා, ජයසූරියට හොඳට කවි කියන්න පුළුවන්. අපි සීමාවාසික පුහුණුව අවසන් කරලා යන දවසේ ජයසූරිය අපි ගැන (ගුණ වයලා )
කවි පන්තියක් ගොතලා ගායනා කළා මට මතකයි.

ඉතින් සාදය ඉවර වෙලා එදා දවසත් ගෙවුනා. මමත් ගෙදර ගියා. හවස හයට විතර නොදන්න අංකයකින් දුරකතන ඇමතුමක් ආවා. මම කතා කළා
"සර් මම ජයසූරිය කතා කරන්නේ, අනේ සර්ලා අද වාට්ටුවෙන් යනවද? අනේ මට කතා කරන්න එන්නවත් බැරි වුනානේ, අනේ සර්ලා යනවද? "
මට ඒක අහලා හරිම සතුටක් ආවා, අපි නොහිතුවට ජයසූරිය හදවතින්මයි මේ අහන්නේ, ජයසූරියට විශේෂ උදව්වක් අපි කරලා නෑ, හොඳට කතා බහ කරන එක විතරයි කලේ. මේ මනුස්සයා කොච්චර අව්‍යාජ හොඳ මනුස්සයෙක්ද කියලා මට හිතුනා.

"නෑ ජයසූරිය මම යන්නේ නෑ, ඉන්ටර්න් ඩොක්ටර්ස්ලා ටික තමා ගියේ"
"අනේ ඇත්තද? බුදු සරණයි සර්", එහෙනම් මම තියන්නම්" ජයසූරිය කිව්වා.

පහු වෙනිදා වාට්ටුවේ නර්ස් නෝනා කෙනෙක් කිව්වා, ජයසූරිය මගේ ටෙලිපෝන් නොම්මරය වාට්ටුවේ තියනවද කියලා හොයලා අන්තිමට එක්ස්චේන්ජ් එකට කතා කරලා හොයාගෙන තියෙන්නේ කියලා.

මට අපේ විශේෂඥ වෛද්‍යතුමා නිතරම කියන කතාවක් මතක් වුනා, ධනවත්භාවය කියන්නේ වැඩිපුරම යහපත් මානව සබඳතාවන් තිබීම ( සිංහලෙන් කිව්වොත් සල්ලි  නෙවේ මහත්තයෝ මිනිස්සු තමයි වැදගත් )

3 comments:

  1. මනුස්සයෙක්ව ස්පර්ශ කිරීම, අවධානය දක්වන බව දැනෙන්න සැලැස්වීම වගේ දේවල් මහා ජයග්‍රහන වන මිනිසුන් අප අතරම ඉන්නවා.ඔවුන් ජීවත් වන බව පෙනෙන්නෙ 'මිනිහෙක්' උනොත් විතරයි. ජයසූරිය ඔබව 'මිනිහෙක්' විදිහට අඳුන ගන්න ඇත්තෙ ඔබ මිනිසෙක් නිසාම වෙන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
  2. හැගීම්පර වුනා මාව

    ReplyDelete