Thursday, October 1, 2015

වංසෙ කබල් ගෑම.



මේ කතාව හතරෙ වාට්ටුවේ ඇත්තම සිදුවිමක්.හතරේ වාට්ටුව කියන්නේ කාන්තා වාට්ටුව. එක දවසක රෑ අටට විතර, වයස අසූවක විතර ආච්චි කෙනෙක් වාට්ටුවට ගෙනාවා. හේතුව වමනය යන්න පටන් අරන් හවස ඉඳලා. කලින් ඉඳලා ප්‍රෙෂර් සහ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්. මේ ආච්චිව එක්කගෙන ආවේ ආච්චිගේ ලොකු දුව හා ලොකු දුවගේ මහත්තයා.ලොකු දුවට වයස හැටකට විතර කිට්ටු ඇති.

ආච්චිව බලලා බෙහෙත් එහෙම දීලා, ආච්චිට තනියම ඇවිදින්න එහෙම අමාරු නිසා ළඟ කාටහරි නවතින්න කියලා මම කිව්වා. කාටහරි කියන්නේ ඉතින් ආච්චිගේ ලොකු දුවට ආච්චි ළඟ නවතින්න කියලා තමයි කිව්වේ. දැන් තමයි හොඳම හරිය, සාමාන්‍යයෙන් බහුතරයක් ලංකාවේ මිනිස්සු ලෙඩාට අමාරුවක් තිබුනත් නැතත් බලෙන් ලෙඩා ගාව නතරවෙන්න අහනවා. ඒ මිනිස්සුන්ගේ හිත හොඳකම.
 ඒ වුනාට මේ ආච්චිගේ දුව එහෙම නෑ. මෙයා කැමති නෑ ආච්චි ළඟ නවතින්න. "අනේ ඩොක්ටර් මෙයාට තව දුවලා තුන් දෙනෙක් ඉන්නවා කවුරුවත් බලන්නේ නෑ මම විතරයි බලන්නේ, මමම ඉතින් නතර වෙන්න ඕනේද " " අම්මා කියන්න දොස්තර මහත්තයාට අම්මගේ අනික් දුවලගේ හැටි " කතා ගොඩායි. ඒ අස්සේ ඒ ආච්චි තනියම ඇඳෙන් බැහැලා වැසිකිළියට යන්න හදනකොට වැටෙන්න ගියා, අල්ලගත්තේ ඒ ළඟ හිටපු වෙන ලෙඩෙක්. දුව ඉන්න වෙලාවෙම ආච්චි ඔහොම නම් කවුරුවත් ළඟ නැති වෙලාවක ඇවිදින්න ගිහින් වැටිලා අනතුරක් කරගන්න ඉඩ තියනවා.
ඒකට ටිකක් සැරෙන් මම ආච්චිගේ දුවට කිව්වා "දැන්මම ආච්ච් වැටෙන්න යනවා, අනිවාර්යෙන් කවුරුහරි ළඟ නවතින්න ඕනේ කියලා "
දැන් මේ කතාබහ යන්නේ වාට්ටුව මැද, අනික් ලෙඩ්ඩු ඔක්කොමලා ඇස් කන් විතරක් නෙවෙයි රොයිටර් සී එන් එන් හිටන් ඔන් කරගෙන අහගෙන ඉන්නවා. අම්මයි දුවයි දැන් බැනගන්නවා. අම්මා කියනවා එකෙක්වත් ඕනේ නෑ මම තනියම ඉන්නම් කියලා, දුව කියනවා " තව දුවලා තුන් දෙනෙක් ඉන්නවා එයාලා කවුරුත් එන්නේවත් නෑ  මම ඔක්කොම කරන්න ඕනේ, බෙහෙත් ගෙනත් දෙන්නත් ඕනේ, ළඟ ඉන්නත් ඕනේ කියලා " තව තව කතා ගොඩයි, ඉඩ කඩම්වල මායිම් හිටං අනික් මිනිස්සු දැන ගන්න ඇති.මට නම් මේක හරිම අප්‍රසන්න කතාවක්. ලෙඩක් වුනාම මොන කතාවක්වත් වැඩක් නෑ, ඔය කතා නිදහසේ කවුරුවත් නැති තැනක කළ යුතු පෞද්ගලික කතාවල්. මුළු වාට්ටුවක්ම අහගෙන ඉන්නකොට ඒ අවුරුදු 80 අම්මගෙයි අවුරුදු 60 දුවගෙයි  බැනගැනීම ඉතාම අශෝබනයි.
කොහොමත් මගේ තීරණය අන්තිම තීරණය. ලෙඩා ලඟ කවුරුහරි නවත්තන්න ඕනේ.එච්චරයි. මම ඒ අප්‍රසන්න වාතාවරණයෙන් ඉවතට ගියා. ඇටෙන්ඩන් කෙනෙක් මේ දෙන්නටම "පිළිතුරු දිය යුතු භාෂාවෙන්" මම කිව්වානම් කවුරුහරි ළඟ තියන්න ඕනේ කියලා කියනවා  මට ඇහුනා.

කොහොමහරි බෙහෙත් වලට වමනය යන එක අඩු වුනා.
පහුවෙනිදා උදා වුනා. එදා රෑ අර දුව ආච්චි ළඟ ඉඳලා නෑ. ආච්චිව බලාගෙන තියෙන්නේ වෙන ලෙඩෙක් ළඟ හිටපු කෙනෙක් සහ අපේ වාට්ටුවේ ඇටෙන්ඩන්ලා ටික. පහුවෙනිදා මේ දුව උදේම ඇවිත් තිබුනා. මටති කියලා බලෙන් ටිකට් කපාගෙන ආච්චිව ගෙදර එක්කගෙන ගියා.

යුතුකම් කියලා දෙන්නේ නැතිව හරියට දරුවො හදන්නේ නැති අම්මලාත්, යුතුකම් ඉගෙනගන්නේ නැතිව අම්මලාට නොසලකන දුවලාත් දෙගොල්ලෝම සමාජය ඉදිරියේ අපහාසයට ලක් වීම වලක්වන්න බෑ.

6 comments:

  1. ඔව් විමුක්ති ඔය වගේ ඒවා අද්දකින්න පුලුවන් වෙන්නේ වැඩිපුරම ඔයාලට තමයි. අපිට හැම විදිහකම මිනිස්සු හැම වයසකම මිනිස්සු, හැම තරාතිරමකම මිනිසසු හම්බෙන්නෙ නෑනෙ. ඒ නිසා මේ එක් එක් මිනිසුන්ගේ විවිද චර්යාවන්, වෙනස්කම් ඔයාලට හොඳට පේනවා. ඒ ගැන සමහරවිට මීටත්වඩා අද්දැකීම් ඇති. නමුත් ඒ හැම දෙයක්ම මේ බ්ලොග් අවකාෂෙට මුදාහරින්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ දුවලා ඉපදෙන්නේ අම්මාකෙනෙකුගේ අවාසනාවට කියලයි මට මේ කතාව කියවනකොට හිතුනේ.

      Delete
  2. ගහක් හරියට හදන්න නං ඒ ගහ පොඩි කාලෙ හිටවන තැන ඉදන්ම කිසි නොසැලකිල්ලක් නැතිව හදන්න ඕන.. නැත්තං ඒ ගහ වල් වැදෙනව.. වැඩක් නැති වෙනව.. මේ අම්මගෙයි දුවගෙයි විතරක් නෙවෙයි. හරියට මා පිය දූ දරු සබදතා සහ යුතුකම් හදුන නොගන්නා සමාජයේ බහුතරයකගෙ ප්‍රශ්නයක්. මහා ලොකුවට අපි බෞද්ධයෝ කියල කියනව ඒත් සිගාලෝවාද සූත්‍රය වගේ එකක් ඉස්කෝල පොත් වලට දාල තිබිලත් ඉගෙන ගන්නෙෑ. ඉගෙන ගත්තත් එක්සෑම් එකෙන් පස්සෙ අමතක කරනව

    ReplyDelete
  3. තමං වපුරපු දේවල්ම තමා ඒ අම්මට ලැබෙන්න ඇත්තෙ..... අනාගතේ දුවටත් ඉතිං ඔය ටික තමයි ගොඩක් දුරට.............

    ReplyDelete
  4. බොහොම ස්තූතියි වටිනා අදහස් වලට

    ReplyDelete
  5. සුලබව අහන්න ලැබෙන ඒත් මේ ධර්මද්වීපයේ මේවත් ඇහෙනවා ද කියල හිතෙන කතාවක්...

    ReplyDelete