Wednesday, October 21, 2015

අමාරුම කාර්යය


වාට්ටුවට අවුරුදු හැට ගනනක රෝගියෙක් ඇතුලත් කළා.හුස්ම ගන්න අමාරුයිලු.පෙනහළු වල සද්දය වෙනස් (හාර්ට් ෆේලියර් Heart Failure හෙවත් හදවත නිසි පරිදි වැඩ නොකිරීම ) ඊසීජී එකක් ගත්තම පපුවේ අමාරුවක ලකුණු තියනවා, ට්‍රොපොනින් කියන රුධිර පරීක්ෂණයත් කළා හර්දයාබාධයක් කියලා තහවුරු වුනා. ඒ සඳහා නියමිත ප්‍රතිකාර නොපමාව පටන් ගත්තා. මේ රෝගියාට වකුගඩු අමාරුවක් තියනවා, දියවැඩියාව හා අධික රුධිර පීඩනයත් (ප්‍රෙෂර් ) තියනවා. කොහොමහරි හෘදයාබාධයට ප්‍රතිකාර හැටියට හෙපරින් කියන බෙහෙත පටන් ගත්තා.

ලෙඩා පොඩ්ඩක් අමාරුවෙන් හිටියේ, විශේෂඥ වෛද්‍යතුමාත් බලලා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. හවස වෝඩ් රවුන්ඩ් එකේදිත් මේ ලෙඩා එච්චරම හොඳ තත්වයක හිටියේ නෑ. රුධිර පීඩනය හෘද ස්ඵන්දන වේගය ඔක්සිජන් සංතෘප්ත(O2 Saturation ) වීම එහෙම ඔක්කොම හොඳයි. අවශ්‍ය බෙහෙත් වැඩි කිරීම සිදු කළා. ලෙඩාගේ පුතා ලෙඩා ලඟ හිටියා. පුතා එක්ක මම කතා කළා. රෝගියාගේ තත්වය පැහැදිළි කරන්න ප්‍රවේශයක් ගන්න ඒක හොඳ මගක්. මේ රෝගියා පෞද්ගලික අංශයේ පොඩි රැකියාවක් කරලා තියෙන්නේ. එකම දරුවයි ඉන්නේ, ඒ මේ ලෙඩා ලඟ ඉන්න පුතා. මේ පුතාත් සාමාන්‍යපෙළ කරල  ඊට පස්සේ පෞද්ගලික අංශයේ පොඩි රැකියාවකට ගිහින්. ආර්ථික ප්‍රශ්නත් තියනවා. කොහොමහරි මේ පුතා මගේ වයසේමයි. රෝගියාගේ තත්වය ගොඩක් අමාරු බව මම පැහැදිළි කරලා දුන්නා. රෝහලේ නැති බෙහෙතක් ගෙනත් දෙන්න කියලා තුන්ඩුවක් ලියලා මේ පුතා අතට දුන්න. දැන්මම මේ බෙහෙත ගෙනත්  දුන්නා නම් ඉක්මනට ලෙඩාට දෙන්න පුළුවන් කියලා කිව්වා. හොඳයි කියලා මේ පුතා පිටත් වුනා.

මට නිකම් මහා අමුත්තක් දැනුනා, මේ පුතා  දැන් බෙහෙත ගෙනෙන්න ගිය ටිකට ලෙඩාට අමාරු වෙලා මොකක් හරි වුනොත් ??? එහෙම වෙයිද දන්නෙත් නෑ කියලා හිතලා මම වාට්ටුවේ වැඩ කරගෙන ගියා.

විනාඩි දහයක් ගියේ නෑ, හෙද නිළධාරියෙක්  කතා කළා  H.D.U එකේ ලෙඩෙක් ඇරෙස්ට් වෙලා කියලා.මේ ලෙඩා , හෘදවස්තුව නතර වෙලා, හෘද තෙරපුම් හා ඇම්බු බෑග් එක මගින් කෘතිම ස්වසනය  (CPR & Ambu ventilation)දෙන්න පටන් ගත්තා, අදාල හදිසි වෙලාවට දෙන බෙහෙත් දුන්නා.පැය බාගයක් විතර ආපහු පන ගන්න මහන්සි වුනා.නමුත් වැඩක් වුනේ නෑ. ඒ වෙනකොටත් ඒ ලෙඩා අවසන් ගමන් ගිහින්.

එකම පුතා තමන්ගේ තාත්තා ඇස් ඉදිරිපිටම අවසන් ගමන් යන දිහා බලාගෙන හිටියා. ඒ පුතාගේ මුහුන බලන්න බෑ ඒ වෙලාවේ, පැයකට විතර කළින් ලෙඩාට අමාරුයි කියලා මම කිව්වා තමයි නමුත් මෙච්චර ඉක්මනට ගෙනා ආයුෂ ඉවර වෙයි කියලා මම හිතුවේ නෑ.
අන්තිමට අමාරුම කාරිය, අපිට ලෙඩා බේරගන්න බැරිවුනා කියලා මගේ වයසේම කෙනෙකුට, මියගිය කෙනාගේ එකම පුතාට කියන එක. බොහොම අමාරුවෙන් වචන ගලපාගෙන ඒ පුතාට පැහැදිළි කරලා දුන්නා. ඒක අහලා ඒ පුතා කෑ ගහලා අඬලා එතන දෙවනත් කළා නම් දුකක් නෑ. ඒ වෙනුවට මේ පුතා ඒ තාත්තාගේ අත අල්ලගෙන අනික් අතින් ඔලුව අතගාන්න පටන් ගත්තා. ඒ පුතාගේ කටින් එක වචනයක්වත් පිට වුනේ නෑ, කටින් කියන්න ඕනේ ඔක්කොම දේවල් ඇස් දෙක දෙපැත්තෙන් ගලාගෙන එන ජල ධාරාවන් දෙකක් මහා හයියෙන් කෑගහල කියනවා කියලා මට දැනුනා. බලා සිටිය නොහැකි හෙයින් එතනින් ඉවත් වුනා.
වෛද්‍යවරු කියන්නේ දෙවියන් නෙවෙයි, එහෙම වුනා නම් මේ රෝගියාට පණ ආපහු දෙන්න දෙපාරක් හිතන්නේ නෑ.

11 comments:

  1. ඉතාම සංවේදී කතාවක් ඩොක්ටර්. මට මතක් වුනේ ඔය කතාවෙ අනිත් පැත්ත. අපේ අයියා ලඟ හිටපු තාත්තට ඒ වෙලාවෙ දැනුනු දේ කොහොමද කියල හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒ දැනෙන දේ කෙනෙකුට දරාගන්න බොහොම අමාරුයි කියලා තමයි මට හිතෙන්නේ

      Delete
  2. කෑගහල කියල අඩන ෙකෙනග්ට වැඩිය අෙර්ම ෙකෙනක්ෙග දුක නැති ෙවන්නත් කාලයක් යනව.. ඒ්ව පැහැදිලි කරන්න අපි දන්ෙන නෑ.. ෙනහ්

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්. කෑ ගහලා අඬලා දෙවනත් කරන අයගේ දුක කනගාටුව ඉක්මනට මැකිලා යනවා ඇති. නිශ්ශබ්දව ඉන්න මිනිස්සුන් ඊට වඩා ගොඩාක් විඳවනවා ඇති

      Delete
  3. ඇත්තටම සංවේදි කතාවක්.......... ලස්සනට ලියලා තියෙනවා...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතීයි. (සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට )

      Delete
  4. ඇත්තටම කියනව තියා මට OSPE එකකදි වත් තාම බෑඩ් නිව්ස් බ්‍රේකිං බැරිය...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් බ්‍රෙකින් බෑඩ් නිව්ස් කියන තරම් ලේසි නෑ (සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට )

      Delete
  5. හ්ම්..... ජීවිතේ මහ දුකක් ඩොක්ටර් ....

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් .වාට්ටුවට එන හැමෝම අඩු වැඩි වශයෙන් ජීවිතේ කියන මහා දුක ,නිරෝගී අයට වඩා කර ගහගෙන එනවා

      Delete