Friday, December 6, 2013

අන්තිම බස් එක








කාලෙකට පස්සේ බස් එකක ආවා, ඒකත් අන්තිම බස් එක.රෑ 9.30 ට විතර මහනුවරින් පිටත් වෙලා වත්තේගම යන ලංගම බස් එකක්.මහනුවරින් බස් එකේ ආසන ගනනට හා තව කීප දෙනෙක් සිටගෙනත් සිටියා.බස් එක ලංගම බස් වලට නුහුරු හෙමින් හෙමින් පිටත් වෙලා වත්තේගමට එන්න පිටත් වුනා.මේ අන්තිම බස් එකත් අපේ ජීවිතය වගේ කියලා මට වෙලාවකට හිතුනා.අපේ ජීවිතයත් එක තැන නොරැඳෙන හෙමින් හෙමින් කළුවරේම ඉදිරියට ඇදෙන්නක්, ඒ වගේම විවිධ පුද්ගලයන් අපේ ජිවිතයට විවිධ අවස්ථාවල ඇතුළු වෙනවා, ඒත් හැමෝම ගමනාන්තයටම එන්නේ නෑ, ගොඩක් දෙනා අතරමගින් බැහැලා යනවා.ගමනාන්තය කිට්ටුවටම ආවත් ආගන්තුකයෝ විදිහට නිහඬවම පිටවෙනවා .
බස් එකේ ගොඩක් හිටියේ පොඩි පොඩි රැකියා කරන පීඩිත පන්තියේ ජනතාව, ඒ අතර ධනවාදී පන්තියට අයත් අතලොස්සකුත් සමඟම ලෝකෙට පෙනෙන්න ආටෝපයට පොහොසත් බව පෙන්වන කීප දෙනෙකුත් සිටියා.බහුතරයක් දවසේ විඩාව මහන්සිය නිර්ධන පීඩනය ඇල්කොහොල් වල දිය කරලා, කඳුළු වලින් ගත්තු මොන මොනවාහරි ටිකක් සිලි සිලි මල්ලක දාගෙන දරුමල්ලන්ට ගෙන යන උදවිය.
ඇපල් දුරකථනයකින් කන් යොමුවක් කනේ ගහගෙන මොනවාදෝ අහගෙන යන එක තරුණයෙක් සහ ලාබ නොකියා දුරකථන වලින් රේඩියෝ අහමින් යන බහුතරයක් බස් එකේ හිටියා.
ලංගම බස් එකත් පරණ එකක් 62- නොම්මරයක් තිබුනේ, හෙඩ් ලයිට් එකත් කණාමැදිරි එළියක් වගේ, මීදුම නිසා අඩි දහයක්වත් ඉස්සරහ පෙනෙන්නෙත් නෑ.ඒ නිසාද කොහෙදෝ බොහොම හෙමින් තමා ගමන.හරියට විඩාපත් අපේ ජීවිතය වගේ.හරියට කරදර බාධක එනකොට අපේ ජිවන ගමනත් බොහෝම කල්පනාවෙන් ඉදිරියට ගෙනියනවා වගේ .
දවල්ට මහපාරේ පරාණ භුක්තිය අයිති කරගත් පොද්ගලික බස් පාර අයිනේ සනීපෙට නිදි.පොද්ගලික බස් වල වගේ ටීවී රේඩියෝ ලස්සන ඉස්ටිකර් නැති, තහඩු දෙදරණ පරණ ලංගම බස් එක හරියටම අපේ ජීවිතය වගේමයි, ඒ මොකද කියනවානම් පුහු ආටෝප , පිටත ඔපය බොරු පොශ් කම කොච්චර තිබුනත් අන්තිමට අපි ඇතුලේ ඉන්න සැබෑ අපි තමා අසරණ වුන වෙලාවට ඉන්නේ, හරියට තනියම මහ රෑ ඇදෙන අන්තිම බස් එක වගේ.
දවල්ට හෝල්ට් එකක් නැතිව නවත්තන්නේ නැති ලංගම බස් එක රෑට මිනිස්සු කියන කියන තැන නවත්තනවා ඒ මදිවට බැහැල අයින් වෙනකම් ටිකක් වෙලා නවත්තගෙනත් ඉන්නවා, ඒකත් හරියට අපි අසරණ වුන කෙනෙකුට බොහෝම කරුණාවෙන් ඉඳලා හිටලා හරි සලකනවා වගේ.
හැබැයි දවල්ට වගේ නෙවේ ගොඩාක් දෙනෙකුට හරියට බහින තැන හොයාගන්න බෑ, බීපු අයට කොහොමත් අමාරුයි, පුරුද්දට වගේ සමහරු බහින තැන කියලා බෙල් එක ගැහුවම එක්කෝ කලින් නැතිනම් බහින තැන පහු කරලා.අපිත් දුක් කරදර, වේදනාව විරහව වගේ බාධක ආවම අපේ ජීවිතයේ නැවතුම් පොලවල් පහු කරනවා දන්නේම නැතිව, නැත්නම් වැරදි තැන් වලින් නවතිනවා.ඒ සියළුම කරදර මැද වුනත් ඉලක්කයටම ඇදෙන අයත් නැතුවාම නොවේ, හරියට කළුවරේ උනත් හරි තැනින් බහින අය වගේ.
බස් එකේ එක පොඩි එකෙක්වත් නෑ, අපේ ළමා කාලයේදී නොදැකපු,ගැඹුරක් වැඩිහිටියෝ උනාම මේ බස් එක ඇතුලෙන්ම පෙනෙනවා කියලා හිතුනා.මේ කිසිවක් නොදැකපු අපි පුංචි කාලේ ඉක්මනට ලොකු වෙනවානම් කියලා හිතුවා, හැබැයි දැන් හිතෙනවා ඒ ළමා කාලෙ කොච්චර සුන්දරද කියලා, ඒ කාලේ අන්තිම බස් එක යන වෙලාවට අපි හොඳට දොයි.
කොහොම කොහොමින් හරි ගමනාන්තයටත් ආවා, මහනුවරින් ආව ගොඩක් දෙනෙක් මගදි බැහැලා ගිහින්, මමත් ඇතුළුව පස්දෙනෙක් විතරයි බස් එකටම. අපි වටේ කොච්චර පිරිසක් හිටියත් අන්තිමට අපේ ගමනාන්තයට යන්න වෙන්නේ තනියම.ජීවිතයට එන යන බොහෝ දෙනෙක් අතරින් ගමනාන්තයටම අපිත් එක්ක එන්නේ කී දෙනාද? ඇරඹුමෙන් ගොඩ වුන අය නොහිතන තැන් වලින් බැස යනවා,අතරමගින් ගොඩ වෙලා අතරමගින්ම බැහැලා යන අයත් ඉන්නවා,ඒ අතරම  අතරමගින් ගොඩ වෙලා ගමනාන්තයටම එන අයත් ඉන්නවා. ඒ කොහොම උනත් කවුරු නැතත් මීදුම, කළුවර, පොද වැස්ස මැදින් අන්තිමට දුරුතු සීතලේ ගල් වෙන්න කලින් තනියම ගමනාන්තයට ලඟා වුනාම, අන්තිම බස් එක කොච්චර අපේ ජිවිතයට සමීපද කියලා මට ආයෙමත් හිතුනා...

05.12.2013 (PEMSAA ලෙක්චර් එකක් ඉවරවෙලා ගෙදර යන ගමන්)




 

14 comments:

  1. අපූරුයි !!

    ReplyDelete
  2. අපූරු අදහස් ගොන්නක්, ජීවිතය දකින මේ විදිහට මනාපයි මං බොහොම.
    ඉදිරියටත් ලියන්නට පතන්නම් දිරිය.
    ජය වේවා....!!!

    ReplyDelete
  3. හැමෝටම ගොඩක් ස්තූතීයි !!!

    ReplyDelete
  4. //අපි වටේ කොච්චර පිරිසක් හිටියත් අන්තිමට අපේ ගමනාන්තයට යන්න වෙන්නේ තනියම.// සහතික ඇත්ත... ලස්සන අදහස් කිපයක්. ලස්සන විතරක් නෙවි, ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අගය කිරීම පිළිබඳව බොහොම ස්තූති බුද්ධි !!!

      Delete
  5. නියම අදහස් වැළක් :) මම ත් ගෙදර යන දවසට ඔය බස් එකේ යනව..ඒත් ඔය මොනවත් මට හිතුණෙ නෑ..ගෙදර යන්න තියෙන හදිස්සිය ඇරුණම..
    නිර්මාණාත්මකයි, ලස්සනයි..
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ලැම්බෝ. අපිට හදිසි උනාට බස් එකට හදිසියක් නෑ නේ.ගාට ගාට යනකොට ඩ්‍රයිවර්ට බැන බැන ලේ පුච්චගත්ත කාලයක් මටත් තිබුනා.ඒ උනාට ඒ ගාටන කාලය රසවත් ටිකක් වෙනස් විදිහට ඒ දිහා බැලුවම.

      ප.ලි
      මූඪ ලම්බඪිට කතා වස්තුව ලිව්වේ මේ ලැම්බා ද? (ඒක තමා මම මෙතෙක් කල් රසවිඳපු හොඳම බ්ලොග් කතාව.තෙලස්ට්‍රෝව අලුත් උනාට පස්සේ ඒ පරණ කතා ටික නැතිවෙලා නේද? සන්තෝෂයි හඳුනාගන්න ලැබීම)

      Delete
  6. අපූරුයි. ජීවිතය රසවත්ව දකින්න නම් වේගය අඩු කරන්න ඕනේ නේද

    ReplyDelete
  7. ජීවිතේ පුංචි පුංචි දේවල් වුනත් ලොකු පාඩම් කියලා දෙනවා විමසිල්ලෙන් බැලුවොත්....

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ වේගයත් එක්ක නොදැනීම ගොඩක් දේවල් අපිට මගහැරෙනවා. දුවලා දුවලා දිනුම් කනුව ලඟට ඇවිත් හැරිලා බැලුවම අන්තිමට දිනලා තියෙන්නේ රේස් එකේ අන්තිමයා. බොහොම ස්තූතියි

      Delete