Sunday, May 25, 2014

කතා දෙකක්


මේ කතා දෙකත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ න්‍යශ්ටික වෛද්‍ය අංශයේ අන්තරාසර්ග රෝග සායනයේ හමුවුන රෝගීන් පිළිබඳවයි.

පළමු කතාව

මේ කතාව අවුරුදු හතලිස් අටක කාන්තාවකගේ ජීවිත කතාව. තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධව ලේ පරීක්ෂා කරන්න ඇය පැමින තිබුනාය. රෝග සම්බන්ධ සායනික ඉතිහාසය විමසනවිට මිනිසුන්ගේ ජීවිතවල අපි නොදකින පැති හරි අපූරුවට විවර වෙනවා. මේවා අකුරු කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්නවත්, කිසිම කෙනෙකුට හිනා වෙන්නවත් අඬන්නවත් නෙවෙයි ,හුදෙක්ම ජීවිතය කියන දේ හරි පුදුමයි සහ අපි නොහිතන තරම් ගැඹුරු පරක් තෙරක් නොපෙනෙන සාගරයක් බව යාන්තම් පෙන්වන්න.

ආයෙත් කතාවට බහිමු. මේ කාන්තාව ගුරුවරියක් විදිහට සේවය කරලා තිබුනා, නමුති වයස අවුරුදු 50 වෙන්නත් කලින්ම ගුරු වෘත්තියෙන් සමුගෙන. ඒකට හේතුව තමා අධික මහන්සිය , කම්මැලිකම, නිදිමත, අමතකවෙන ගතිය, ඇඟට පතට දැනෙන අපහසුතාවය ආදී  රෝග ලක්ෂණ.වෛද්‍ය සිසුවෙක්ට නම් දැන් තේරෙනවා මේ කාන්තාවගේ මේ තත්වයට හේතු දෙක තුනක්වත්. ඒ කාන්තාව මන්ද තයිරොයිඩතාවයෙන් පෙලෙමින් තිබුනා. කතාව ඒක නෙවෙයි.

මේ කාන්තාව විවාහකයි, ඊලඟ ප්‍රශ්නයත් ඇහුවා."බබාලා කී දෙනෙක් ඉන්නවද, එයාලගේ වයස් කොහොමද ?" ඔන්න කතාව පටන් ගන්න තැන. "බබාලා නෑ ඩොක්ටර්, දැන් මහත්තයයි මයි වෙන් වෙලා ඉන්නේ. අපි බැඳලා අවුරුදු 15ක් විතර එකට හිටියට ළමයි නෑ, අපි අතර එහෙම සබඳතාවක් තිබුනේ නෑ". මේ කාන්තාව දිගටම කතාව කියාගෙන යනවා." මහත්තයත් ඉහල  රැකියාවක් කලේ, අපි බොහොම සතුටින් හිටියා, මහත්තයාට අන්තිමට මහන වෙන්න ඕනේ වුනා. ඉතින් අපි දෙන්නා වෙන් වුනා.
මගෙන් ප්‍රශ්නයක්."ඉතින් මහත්තයා මහන වුනාද"
"ඔව් එයා මහන වුනා, මහන වෙලා අවුරුද්දක් විතර සිවුරේ හිටියා, ඊට පස්සේ සිවුරු හැරියා, එයාගේ හැටි ඔහොම තමයි.කිසි දෙයක් එක දිගට කරන්න බෑ, ඇය සිනාසෙමින් කියන්නට විය."මම ඕක කලින්ම දැනගෙන හිටියා.මහන වුනාට කවදාහරි සිවුරු අරිනවා කියලා, දැනුත් ඉඳලා හිටලා මතක් වුනොත් ඇවිත් බලලා යනවා"
"මට මේ කම්මැලි නිදිමත අමාරු ගතිය හින්දා රස්සාව කරන්න අමාරුයි ,ඒනිසා කලින්ම අයින් වුනා, මේක සංසාරේ ලබා උපන් හැටි වෙන්න ඇති"
[ඔන්න ඕකට නම් මට එකඟ වෙන්න බැරි වුනා.මොකද මන්ද තයිරොයිඩතාවය කියන්නේ සංසාරෙන් ගෙනෙන දෙයක් නොවන නිසා සහ තයිරොක්සින් පෙති උදේ පාන්දර හිස් බඩට බීමෙන් සනීප කරගන්න පුළුවන් රෝගයක් නිසා. ]

දැන් ඉතින් මේ කාන්තාව ඇගේ අම්මා එක්ක ජීවත් වෙනවා. මේ කාන්තාව ඇගේ සැමියා (හිටපු සැමියා) පිළිබඳ බොහොම මැදහත් සිතකින් දැන් ජීවත් වෙනවා. ඔහුගේ වරැද්දක් කියන්නෙත් නෑ, ඔහුට බනින්නෙත් නෑ.ජීවිතය ගැන ලොකු බලාපොරොත්තුවකුත් නෑ වගේ මට පෙනුනේ.

දෙවැනි කතාව
 මේ කතාවේ කතා නායිකාව දෙමළ කාන්තාවක් ව්යස තිස් ගනන්වල අග, ගෙවල් යාපනයේ. මහනුවර ප්‍රදේශයේ උසස් වැදගත් රැකියාවක් කරනවා. තවදුරටත් උසස් අධ්‍යාපනයේ යෙදෙමින් සිටිනවා. ඇගේ රෝගී තත්වය අදාල නෑ මේ කතාවට. ඇය විවාහකයි.ඇගේ සැමියාගේ ගමත් යාපනය, ඔහුත් ඉහළ රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වෙලා තිබුනේ සරසවි ප්‍රේමයේ ප්‍රතිපලයක් විදිහට.
මේ කාන්තාව මහනුවර රැකියාව කලාට ඇගේ සැමියා රැකියාව කරන්නේ යාපනයේ.සැමියා යාපනයේ රැඳී සිටීමට හේතු කීපයක් තිබුනා.ප්‍රධානම හේතුව වෙලා තිබුනේ පවුලේ එකම දරුවා නිසා ඔහුට තම වයස්ගත දෙමාපියන් රැකබලා ගන්න සිදුවී තිබුනා.මේ කාන්තාව කියූ පරිදි, ඇගේ සැමියාගේ දෙමාපියන් යාපනයේ ඉහල කුළයකට අයත්ලු. ඔවුන් ජීවිතේට යාපනය නගරයෙන් පිට ගිහින් තිබුනේ නැතිලු මේ "කුල අභිමානය" නිසා.
නමුත් කතානායිකාවගේ සැමියා ඇයට හරි ආදරෙයිලු. ඔහු කිසිම විටක ඇයට ඇගේ රැකියාව හෝ උසස් අධ්‍යාපනය අත හැරලා යාපනයට එන්න කියලා බල කරන්නේ නැතිලු. ඒ වෙනුවට මහනුවරින් නිවසක් මිලදීගෙන දෙමාපියන්ව යාපනයේ ඉඳලා මහනුවරට ගෙනෙ එන්නට කීප විටක් උත්සාහ කරලා තිබුනා. ඒ වුනත් ඒ වයසක යුවල නෙවෙයි යාපනයෙන් අඩියක් එලියට තියන්නේ.
මේ කියන කාන්තාව දැන් වයස අවුරුදු හතලිහ වෙන්නත් කිට්ටුයි.විවාහ වෙලා අවුරුදු දහයක් විතර වුනත් තාම දරුවෙක් නැහැ. ඒ ගැන ඇගේ හිතේ ලොකු කනස්සල්ලක්  තිබුනා. නමුත් ඇය කීප විටක්ම රැකියාව අධ්‍යාපනය අතහැරලා යාපනයට යන්න උත්සහ කළත් ඇගේ සැමියා හැම වෙලාවෙම ඇයව වලක්වලා තිබුනා. යාපනය මහනුවර පැය අටක විතර දුරක්  (කිලෝමීටර් 326ක්ද කොහෙදෝ ) ඔවුන් දෙපලගේ විවාහ දිවිය අතරමැද තිබුනා.
කොහොම වුනත් මට තේරුන කරුණු කීපයක් තිබුනා. මේ කාන්තාව කීප විටක් උත්සාහ කළත් රැකියාව හා උසස් අධ්‍යාපනය අත හැරලා යාපනයට යන්න සැබෑ උනන්දුවක්නම් මට පෙනුනේ නෑ. ඇය ඇගේ සැමියා ළග නැති එක ගැන ගොඩක් දුක් උනා.දරුවෙක් නැති එක ගැනත් ගොඩක් දුක් උනා. කිසිම විටක සැමියා යාපනයේ හිඳිමින් වයසක දෙමාපියන් බලාගැනීම ගැන වැරැද්දක් කීවේවත් හෝ තරහක් තිබුනේවත් නෑ. සැමියාගේ වයසක දෙමාපියන් මහනුවරට එන්න අකමැති වීම ගැන අමනාපයක් තිබුනෙත් නෑ.

සත්‍ය කතා දෙකක් .මේ  දෙන්නාගේ විස්තරය අකුරු කරන්නට හිත හිතා ඉන්න ගමන් අහම්බෙන් වගේ ෆේස්බුක් එකේ කව්දෝ සුනිල් එදිරිසිංහ සංගීතවේදියානන් ගයන කුඩා ගමේ මද්දහනේ කියන ගීය ශෙයා කරලා තියනවා දැක්කා.මේ කතාව අවසන් කරන්න ඒ ගීතයේ අවසන් පදය සුදුසුයි කියලා හිතුනා. ඒ මොකද කියනවානම් හැමදාම පුවත්පත්වල, රූපවාහිනීවල ,චිත්‍රපටිවල, කෙටිකතා, නවකතාවල දකින පොඩි දේටත් අඹු සැමි ආරවුල් ඇති වෙන මිනී මරාගන්න ගුටි බැට දෙන රටේ, මෙහෙම පුදුම ඉවසීමකින් ජීවත් වන මිනිස්සුත් ජීවත්වෙනවා කියන එක දැක්කම "ආල වඩන යන තේරුම බෝසත්කම සකි " කියන ගී පදය බොරුවක් නෙවේ කියලා හිතුන නිසා.



(අකුරු හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් පෙන්වා දෙන්න )












4 comments:

  1. මෙතැනදි ටිකක් ඉක්මන් වෙලා තියෙනව කියල හිතෙනවා දෙවැනි කතාවේ සැමියාගේ කැප කිරීම ටිකක් යටපත් කරන්න....බිරිඳ තමන්ගේ දෙමව්පියන් බලා ගෙන ඉන්න වහලියක් කර ගන්නේ නැතුව ඇයගේ අරමුණ වෙනුවෙන් තමන්ගේ උපරිම සහයෝගය දෙන්න ඕන නිසා ඔහුම බල කරන්න ඇති ඇයට නුවර රැඳෙන්න කියලා.......මොකද අම්මට ආදරේ කරන පිරිමියෙක් තමයි කවදා හරි ගෑණිටත් පණ වගේ ආදරේ කරන්නේ කියලා බාලිකා පාසලේ ඉගැන්නුවා අද වගේ මතකයි.

    පෙම්වතිය තරහා වුනාම කවියක් සින්දුවක් ලියා ගෙන හිටපු අහිංසක කොල්ලො හිටපු මේ රටේ අද පිහියෙන් ඇන්න සිද්ධි 3ක් සතියක් ඇතුලත වාර්තා වුණා. ඒ වගේ පටු චින්තකයන් නම් හිතාවි ඔවුන්ගේ දෙමව්පියන්ට සැලකීමේ වගකීම් සියල්ල බිරිඳ පිට පටවලා ඒ පිනෙන් දෙව් ලොව යන්න.....

    අන්තිමට කියන්න තියෙන්නේ
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත....
    ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති ඔබේ වටිනා අදහස් කීපයට.
      දෙවැනි කතාවේ සැමියාගේ කැප කිරීම ටිකක් යටපත් වෙලා ගිහින් තියෙන්නේ ඔහු ගැන මගේ අදහස කියන්න ගිහින්දෝ කියලා හිතෙනවා.කොහොම වුනත් මට කියන්න ඕන වුනේ ඉවසීම කියන දේ ජීවිතයට කොච්චර වටිනවද කියලා. අපි අතර සිටින මෙවැනි මිනිසුන් අපේ ජීවිත වලට වටිනා පාඩම් කියලා දෙනවා නේද කියලාත් හිතුනා.

      "අම්මට ආදරේ කරන පිරිමියෙක් තමයි කවදා හරි ගෑණිටත් පණ වගේ ආදරේ කරන්නේ කියලා බාලිකා පාසලේ ඉගැන්නුවා අද වගේ මතකයි" [මම හිතන්නේ ඔබ කාන්තාවක් විය යුතුයි] මේ අදහස ඉතාම වටිනවා කියා මට හිතෙනවා, ඔබට බොහොමත්ම ස්තූති.ඔබේ අදහස් කිහිපය ඉතාම අගයකොට සලකනවා

      Delete
  2. මල්ලි...
    දොස්තර කෙනෙක් ළඟට එන ලෙඩෙක් කියන්නෙ විශ්ව දැනුමක් කියල අදහන එක ම අපිට ටිකක් නුහුරු මහා වටිනා සංකල්පයක්... ඒකට පළමුවෙන් ස්තූතියි...
    .
    අනික මේ කියන සිදුවීම් අපිත් එක්ක බෙදා හදාගන්න බ්ලොග් එකක් ලියන එකත් අපිට මෙදා ලැබිච්චි හොඳ ම තෑග්ගක්... ඒකට දෙවනු ව තුති...
    .
    .
    මේ කියන සිදුවීම් දෙක ම සමස්ත සන්දර්භයේ අංශුමාත්‍ර දෙකක් විතරයි කියලයි මට නම් හැඟෙන්නේ... ඒ හේතු දෙකක් නිසා... එකක් තමයි අපිට කවදාවත් සිද්ධීන් දෙකක් සංසන්දනාත්මක ව විග්‍රහ කරනවා විනා මේක මෙහෙමනං ඇයි ඒක එහෙම කියල හිතන්න බෑ.. එකිනෙකට සාපේක්ෂ පරිසරයන් දෙකක් තුළ සිද්ධි දෙකක් හැසිරෙන විදිය එකිනෙකට අනිවා වෙනස් වෙනවා... නමුත් අපිට යම් ගැළපීමක් හොයාගන්න පුලුවන් මේවා ආසියානු පරිසරයක් තුළ සිදුවෙන සිද්ධීන් කියලා පූර්ව නිගමනයක් එක්ක ගියා ම... මම කියන අනිත් හේතුව තමයි මේ සිද්ධි දෙකේ ම අත්‍යවශ්‍ය කොටස් ග්‍රහණය කරගන්න අපිට අමාරුයි... මං හිතන්නෙ මල්ලිටත් ඒ වගේ ම පූර්ණ කියැවීමකට යන්න බැරි වෙන්න ඇති... ඒ හින්දා මේ සිද්ධී දෙක ම මතුපිට කියැවීමක් ඔස්සේ හිත මෙහෙයවලා පරිපූර්ණ අර්ථ විවරණයකට යන එක සාධාරණ නෑ සිද්ධීන්ට අදාළ ව...
    .
    අපි තව කියවමු...
    නුඹත් මමත් මේ සිදුවීම්
    නොකියවනා තාක්
    අපි දෙදෙනාට අත්වැල් අල්ලාගෙන
    සුසුම්ලනවා විනා
    අබමල් රේණුවක තරම් කිසිදු කිසි දෙයක්
    කිරීමට නොහැකි ය...

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම බොහොම ස්තූතියි අගය කිරීම පිළිබඳව.ඒ ආඩම්බර වෙන්න නෙවේ, තවත් මොකක් හරි කුරුටු ගාන්න ඒ වචන ටික ලොකු හයියක්.

      අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහින් ඊට පස්සේ අවුරුදු පහක් වෛද්‍ය පීඨයේ පොත් පත් හා ඊට පිටින් ලැබූ දැනුම අත්දැකීම් වලට වඩා මේ ටික කාලයට ජිවිතයට වැදගත් පාඩම් ගොඩාක් රෝගීන් ඇසුරෙන් ඉගෙන ගත්තා.

      කතාව ඇත්ත, සිදුවීම් දෙකක් සන්සන්දනය කරන එක අසාධාරණයි.

      දෙනෙත් හැර ඇදෙමු අපි
      වට පිටේ ඇති තරම්
      නෙත් පියා ගනඳුරේ
      දිවි ගෙවයි බෝ දනා
      නෙත් විවර කර බලන්
      ඔවුන්ගේ ගනඳුරම
      පහන් එළියක් ලෙසින්
      පෙන්වාවි මග හසර

      [විකියා අයියා බොහොම සතුටුයි හඳුනා ගන්න ලැබීම. ඊටත් වඩා සතුටුයි ෆේස් බුක් එකේ තිබුන නිර්මාණ ටික දැක්කම. අපූරුයි.ජය වේවා. දිගටම ලියන්න]


      Delete