Saturday, August 24, 2013

කතා තුනක්



1.පුහුණු වන වෛද්‍යවරයෙකු ලෙස මා පේරාදෙණිය රෝහලේ 8 වාට්ටුවේ ගතකල සතිය,
වේලාව සවස හතර හමාරට පමණ විය.උදෑසන තේ කෝප්පයට අමතරව තවමත් කිසිදු කෑමක් බීමක් නැතිව එක දිගටම වැඩ කරන්නට සිදුවී තිබුනි. බත් පාර්සලය රැගෙන කැන්ටිමට යාමට හැදුවා පමණි, අනේ සර් අපිට ගොඩක් දුර යන්න තියනවා, බස් දෙකක යන්න ඕනේ රෑ උනාම බස් නෑ,(හැබැයි ඒ ලෙඩාගෙ ටිකට් එකේ ඇඩ්‍රස් තිබ්බේ නුවර ) රිපෝට් බලලා හොඳ නම් ටිකට් කපනවා කිව්වා,අනේ ඉක්මනට බලලා යන්න හදලා දෙනවද? අනේ පින් සිද්ද වෙයි.කුමක් කරන්නද ඉතින්, යටි සිතින් බැන බැන බඩගින්නේම ලැබ් එකට ගිහින් රිපෝට් හොයාගෙන ඇවිත්, ඩිස්චාර්ජ් කාඩ් එකත් ලියලා දීලා,පින් ගොඩාක් අරගෙන, කැන්ටිමට ගිහින් පිළුණු වුන උදේ බත් එක විසි කරලා තේ එකක් බීලා ආයෙත් වාට්ටුවට ගියා.

දෙවෙනි කතාව

මෝටර් සයිකලයෙන් ගෙදර එන ගමන්, පේරාදෙණිය මහනුවර අළුත් පාරේ.බයික් එකේ ස්පාක් ප්ලග් එකේ කාබන් බැඳිලා තිබ්බේ, ඩෝං ඩෝං ගගා පුපුරණවා හිටපු ගමන්.ස්පාක් ප්ලග් එක ගලවන්න 14 යතුරක් නෑ බයික් එකේ. දෙයියන්නේවෙල හරියේදි බයික් එක නැවතුනා , ඉස්ටාට් වෙන්නේම නෑ.තල්ලු කරා ළඟ තිබ්බ ගැරජ් එකට. මෙන්න බොලේ අර බස් දෙකකින් යනවා, දුර ඉන්නවා කියපු ලෙඩා ගැරජ් එකේ වැඩ.මම ගිහින් කිව්වා මේකේ ස්පාක් ප්ලග් එක සුද්ද කරලා දෙන්න පුළුවන්ද කියලා. ගත් කටටම මේ යකා කියපි දැන් බෑ මහත්තයා මම වැඩක්, මේක ඉවර කරල කාල එන්න යනවා, පැය එක හමාරකින් එන්න.විනාඩි පහේ වැඩට මේ යකාගෙ ගනන් ඉස්සිල්ල.( මට ඒ වෙලාවෙ හිතුනු දේවල් මෙතන ලියන්න බෑ) මොනවා කරන්නද ඉතින්, බයික් එක නුවර ඉස්පිරිතාලෙ අපි බයික් දාන තැන දාල ගෙදර යනවා කියලා හිතාගෙන තල්ලු කරගෙන ආවා.

තුන්වෙනි කතාව.

ත්‍රීවීල් කාරයෙක් කියන නම් පටබැඳුනු, ත්‍රීවීල් පදවන මහත්මයෙක්, ඇයි මල්ලි මොකද බයික් එකට වෙලා තියෙන්නේ? මම ඉතින් ස්පාක් ප්ලග් අවුල ගැන කිව්වා.බලමු ඕක හදන්න පුළුවන්ද කියලා, යතුරු සෙට් එක තියනවාද ඇහුවා. නෑ කිව්වම ත්‍රීවීල් එකේ යතුරු සෙට් එක අරගෙන ප්ලග් එක ගලවලා සුද්ද කරන්න සෙට් උනා. මම සුද්ද කරන්නම් කිව්වාම පොර කිව්වා, මල්ලි මජං ගෑවෙයිනේ මම සුද්ද කරලා දෙන්නම්  කියලා සුද්ද කරලා දුන්නා. බයික් එක එක පාරෙන්ම ඉස්ටාට් උනා.මම ගොඩක් පින් කියලා එන්න ආවා. ඕක මොකද්ද , පොඩි වැඩක්නේ කියලා ත්‍රීවීල් කාරයා (ත්‍රීවිල් රියදුරු මහතා ) යන්න ගියා.

7 comments:

  1. සමහර මිනිස්සු ඉන්නවා උදව් කරාට කළගුණ දන්නේ නෑ...එහෙම වුනාම අපිට කලකිරෙනවා.. අහිංසක මිනිහෙක්ටවත් ආයේ උදව් කරන්න හිතෙන්නේ නෑ පස්සෙ..

    ReplyDelete
  2. ඔව්ව ඔහොම තමා බන්... අපරාදෙ ලේ

    ReplyDelete
  3. උකුස්සා කියපු එකම තමා මටත් කියන්න... ඕවා ඔහොම තමා...

    ReplyDelete
  4. ලෝකය විවධාකාරයි..මිනිස්සු ගෝලාකාරයි...ඕවට සැලෙන්ඩ එපා


    හිකිස්

    ReplyDelete
  5. කතාව ගොණු කරපු විදියයි ලස්සන. ඇත්තෙන්ම අර ලෙඩාට විමුක්තිව අඳුනන්න බැරිවුනාද නැතිනම් ඒකා උවමනාවෙන්ම මග ඇරියද?

    ReplyDelete