දෙදහස් නවයෙ අද වැනි වූ බක් මසක
නව වසරකට එළඹෙන්නට පෙර දිනක
අත්තම්මාද අප එන තුරු සිටි කළෙක
දුටු ඒ කමත දුටුවෙමි නෙත් බර විටෙක
රූසිරු නැතත් ගැමි අඟනෝ පෙලට සිට
දෑකැති හැඩට ලෙළවා රන් කරල් වෙත
එය ගොඩ ගසා කමතේ මැද සීරුවට
කොළ බිම හමා ආ කවි තව ඇසේ මට
අම්බරුවන් යුවලක් බැඳ බැත පෑගූ
කමතේ සිරිය දුටුවෙමි එදවස් මහඟු
තේජස් ලෙසින් ගොවි රජ එහි උන් අයුරූ
කැමරා නෙතේ සටහන් විය මා සතු වූ
කාලය සෙමින් අප අතරින් ඉගිලීලා
පා සටහන් යුගලක් ඇත අද මැකිලා
කමතේ නොමැත බැත අද එය ගොඩ වීලා
අතතම්මාද නොදැකම නෙතු පිය වීලා
කමතේ එදා රන් වන් බැත වී කරවූ
බිම අද තිබේ පොඩි කඩයක් ගොඩ නැංවූ
රීලෝඩයන් ඇති බව එහි ඇත පුවරූ
බතකින් පිරෙන කුස ඉන් පිරවිය හැකි කවුරූ
කමතක් වසා ඉදිවූ කඩ පිල පස්සෙන්
වල් වී වැවී වියළුනු නියරේ පැත්තෙන්
හංකඩ ගැසුනු මී ගවයන් දුටු මත්තෙන්
රිදුමක් දැනේ වම් ඉල ඇට පෙල අස්සෙන්
No comments:
Post a Comment